ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අයේෂා ඛාන්: සංගීතය වෙනුවෙන් නිවස සහ ඇෆ්ගනිස්ථානය හැර ගිය 'ඇෆ්ගන් තරුව'
අයේෂා ඛාන් දුඹුරු පලසක් මත හිඳගෙන සර්පිනාව තාලයට වයමින් ගායනා කරන්නීය. නමුත් ඇය හදිසියේම කඳුළු සලන්නට පටන් ගත්තාය. නමුත් ඇයව සනසන්නට මට වචන නොමැත.
සති ගණනාවක් පුරා අයේෂා දිවි ගෙවන්නේ ඇෆ්ගනිස්ථානයෙන් පිටත විදෙස් රටක මහල් නිවාසයක කුඩා නිදන කාමරය පමණක් ඇති නිවසකය.
තාලිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු ඇයට කාබුල්හි පිහිටි තම නිවස හැර යාමට සිදු විය. සිය මව් රට හැර පලා යන්නට සිදු වූ නමුත් ඒ සියල්ලට වඩා ඇය තුළ ඇති කණගාටුව නම් සිය ඉටු නොවූ සිහින අතහැර දමා යන්නට සිදු වීමය.
"මම හිජාබය පැලඳ නොසිටින හෝ සම්පූර්ණයෙන්ම ශරීරය ආවරණය නොකරන මුස්ලිම් ජාතික තරුණියක් නිසා යන හේතු මත මම මව්බිම හැර ගියේ නැහැ," ඇය බීබීසි සේවයට පැවසීය.
"මම කාන්තාවක් මෙන්ම ගායිකාවක් නිසා මට රට හැර යාමට සිදු වුණා."
ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් තාලිබාන් සංවිධානයේ පවතින දැඩි අවබෝධය හේතුවෙන් ආගම සම්බන්ධ දේ හැර සජීවී සංගීතය ඇතුළු බොහෝ කලාත්මක ප්‍රකාශන තහනම් කර තිබේ.
නමුත් අයේෂාගේ සිද්ධියේදී තර්ජනය තවත් වැඩි වූයේ ඇෆ්ගන් සමාජය තුළ කාන්තාවන්ට හිමි තැන සම්බන්ධයෙන් තාලිබාන් කණ්ඩායම තුළ ඇති දැඩි ආකල්පත් සමගය.
"තාලිබාන් සංවිධානය අපට අපේ වෘත්තියෙන් ඉවත් වීමට බල කළා. මේ දිනවල ඇෆ්ගන් කාන්තාවක් වීම දුෂ්කර නමුත් තාලිබාන්වරුන්ට ගායිකාවක් නම් දරාගන්නම බැහැ," අයේෂා පැවසුවාය.
'ඇෆ්ගන් තරුව'
'ඇෆ්ගන් ස්ටාර්' නම් 2018 දී ඉතා ජනප්‍රිය රූපවාහිනී වැඩසටහනට සහභාගී වීමෙන් පසු අයේෂා විශාල ලෙස ජනප්‍රියත්වයට පත් වූවාය.
ඇය පසුගිය වසර දෙකක කාලය තුළ කාබුල්හි සංගීතය හදාරමින් සිටි අතර සජීවී ප්‍රසංගවල ඉදිරිපත් කිරීම් සඳහා ඇයට විශේෂ දක්ෂතාවක් ඇත.
අයේෂා පවසන්නේ තමාට කිසි විටෙකත් සංගීතය අත්හැරිය නොහැකි බවය.
"මම සංගීතයට ප්‍රිය කරන නිසා දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී වැඩ කළා. මට එය අතහැර දමන්න බැහැ" ඇය පැවසුවාය.
"මට නම් සංගීතය කියන්නේ ඔබ කවුද, ඔබේ සංස්කෘතිය වගේ දේ ප්‍රකාශ කළ හැකි ක්‍රමයක්. කාන්තාවක් ලෙස අපට හැඟෙන ආකාරය ගැන කථා කිරීම ඇත්තෙන්ම අමාරුයි, නමුත් සෑම කෙනෙකුම සංගීතයට කැමති නිසා අපට එය සංගීතය තුළින් කළ හැකියි."
ඇෆ්ගනිස්ථානය හැර යාමට ඇය ගත් තීරණය එතරම් පහසු නොවීය. දේශසීමා දක්වා ඇති බාධක සහිත ගමනකට මුහුණ දීමට අයේෂා සිය නිවස අතහැර ගොස් ඇත්තේ ඇඳුම් පැළඳුම් පමණක් මල්ලක රැගෙනය.
සංගීතඥයෙකු වීමේ ඇයගේ සිහිනය ඒ වන විටත් ඇයගේ පවුල සමඟ තිබූ සම්බන්ධතාවයට බාධාවක් වී තිබිණි.
"මම නීති ශිෂ්‍යයාවක්ව සිටියා. මගේ පියා අපව හොඳ පාසල් හා විද්‍යාලවලට ඇතුළත් කළා. නමුත් ඔහුට අවශ්‍ය වුණේ මාව නීතිඥවරියක් කරන්න. ඒත් ඒ ගැන මගේ උනන්දුවක් තිබුණේ නැහැ" ඇය පැවසීය.
පවුලේ බිඳවැටීම් පිළිබඳ විස්තර කතා කිරීමට අයේෂා අකමැත්ත පළ කළාය.
නමුත් ඇය පවසන්නේ "සංගීතය වෘත්තියක් ලෙස තෝරා ගැනීමේදී තමා බොහෝ දුෂ්කරතාවන්ට සහ අභියෝගවලට මුහුණ දුන්" බවය.
මේ තොරතුරු ද කියවන්න:
මුහම්මද් නබිතුමාට ප්‍රශංසා කරන 'නාත්' භක්ති ගීත ගායනා කර කුසලතාවයන් පෙන්වීමෙන් පාසැලේදී ඇය කැපී පෙනුණි.
ගුරුවරු ඇයගේ දක්ෂතාව ගැන උනන්දුවෙන් කටයුතු කළ නමුත් නිවසේදී ඒවා ඇගයීමට ලක් නොවීය.
"මම සංගීතයට උනන්දුවක් නැති ගතානුගතික ආගමික පවුලක කෙනෙක්."
මීට වසර කීපයකට පෙර ඇෆ්ගන් ස්ටාර් තරගයේ තරඟකාරියක් වීමට ඇය සුදුසුකම් ලැබූ විට අයේෂා සිය නිවස හැර දමා නේවාසිකාගාරයක පදිංචියට ගියාය.
ප්‍රසංගයට සහභාගී වීම ඇගේ පවුලේ අය අනුමත නොකරන බව ඇය දැන සිටියාය.
"ඇෆ්ගන් ස්ටාර් තරගය රට තුළ ඉතා ජනප්‍රියයි. මම දැනගෙන හිටියා මම අවසරය ඉල්ලුවොත් මගේ පවුලේ අය කවදාවත් ඒකට ඉඩ දෙන්නේ නැහැ කියලා," ඇය පැවසුවාය.
තාලිබාන් සංවිධානය බලය අල්ලා ගැනීමෙන් පසු තත්වය වඩාත් නරක අතට හැරුණු බැවින් අයේෂා පවසන්නේ තමාට නිදා ගැනීමට පවා අපහසු වූ බවය. කණ්ඩායමේ මිතුරන් "බොහෝ දුෂ්කරතාවන්ට සහ තර්ජනයන්ට" මුහුණ දෙන අතර ඇය ඔවුන් ගැන කනස්සල්ලට පත්ව සිටින බවයි.
"ඔවුන්ට කොහේවත් යන්න බැහැ, අඩුම තරමේ ඔවුන්ගේ පාරෙවත් යන්න බැහැ. ඔවුන්ගේ හදවත් බිඳිලා ඉතාම දුකෙන් ඉන්නේ," ඇය පවසයි.
"පවතින වාතාවරණය තුළ සම්මුඛ සාකච්ඡා ලබා දීම පහසු දෙයක් නොවෙයි. නමුත් ඇෆ්ගනිස්ථානයේ තර්ජනයට ලක්ව සිටින මගේ සියලුම මිතුරන් සහ අනෙකුත් කලාකරුවන් වෙනුවෙන් කතා කිරීමට මට අවශ්‍යයි," ඇය තවදුරටත් පැවසුවාය.
ඇෆ්ගනිස්ථානය "සියලුම ඇෆ්ගන් ජාතිකයින්ට අයත්" යැයි තාලිබාන් සංවිධානයට පණිවිඩයක් යැවීමට ඇයට අවශ්‍යය.
"ඇෆ්ගනිස්ථානය තාලිබාන් සංවිධානයට පමණක් අයිති නැහැ. කාන්තාවන්ට ගෞරවයෙන්, ආදරයෙන් හා මූලික අයිතිවාසිකම් සහිතව ජීවත් වීමට තාලිබාන් සංවිධානය ඉඩ දිය යුතුයි."
අයේෂාට ලෝකයට දීමට පණිවිඩයක් ද තිබේ.
"මගේ කාලයේ මිනිසුන්ට අනාරක්ෂිත බවක් දැනෙනවා. අපට නිදහස ලබා ගැනීමට උදව් කරන ලෙස මම නිහතමානීව ලෝකයෙන් ඉල්ලා සිටිනවා."
අපගේ සම්මුඛ පරීක්ෂණය අවසන් වන විට අයේෂා යළිත් කඳුළු සලන්නට පටන් ගත්තාය. මඳ වෙලාවකට පසු ඇය උර්දු භාෂාවෙන් ගායනය කිරීමට පටන් ගත්තාය.
එයට සවන් දෙන අතර මා සිතුවේ, තවත් අඳුරු යුගයක් පිළිගැනීම ප්‍රතික්ෂේප කරන දක්ෂ ඇෆ්ගන් ජාතිකයින්ගේ පරම්පරාවක් වෙනුවෙන් කතා කරන අයේෂාගේ දැඩි අධිෂ්ඨානය ගැනය.
බීබීසී උර්දු සේවයේ හුමාරියා කන්වල් සිදුකළ සාකච්ඡාවකි.