කොවිඩ් නිසා ඇති වූ 'චිප්' හිඟය හේතුවෙන් මෝටර් රථ ඇතුළු තාක්ෂණ කර්මාන්තය පසුබෑමකට

Mercedes-Benz

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, මියුනික්හි පැවති ජාත්‍යන්තර සංචලන ප්‍රදර්ශනයේදී ඩේම්ලර් සමාගම විසින් මර්සිඩීස් බෙන්ස් සංකල්පිත මෝටර් රථයක් එළි දැක්වීය

ගෝලීය මෝටර් රථ නිෂ්පාදනයට බාධාවක් වී තිබෙන 'චිප්' හිඟය 2022 සිට 2023 වසර දක්වාත් පැවතිය හැකි බව ජර්මනියේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ කර්මාන්තකරුවෙක් පැවසීය.

මෝටර් රථ සැපයුම් දාමයන් හොඳින් සමාලෝචනය කළ යුතු කාලයක, කර්මාන්තයේ පීඩනය දරාගැනීමේ පරීක්ෂණයක් ලෙස කොවිඩ් වසංගතය පැමිණි බව ඩේම්ලර් සභාපති ඔලා කොලෙනියස් පැවසීය.

වසංගතය හේතුවෙන් නිෂ්පාදනයට ඇති වූ බලපෑම් නිසා විවිධ කර්මාන්තවල ඉල්ලුම සපුරාලීමට අර්ධ සන්නායක චිප්ස් සැපයීමට නොහැකි වී ඇත.

වසංගතයේ බලපෑමෙන් ඉක්මනින් මිඳුණු ගෝලීය කාර් නිෂ්පාදනයට ද මෙය ගැටළුවක් වී ඇත.

තාක්ෂණකර්මාන්තය පසුබෑමකට

වර්තමානයේ දී මිලියන ගණනක් වූ - මෝටර් රථ, රෙදි සෝදන යන්ත්‍ර, ස්මාර්ට්ෆෝන් සහ තවත් බොහෝ නිෂ්පාදන, පරිගණක චිප් මත රඳා පවතී. සිලිකන් සහ ලෝහ ආශ්‍රයෙන් නිපදවන මෙම පරිගණක චිපය ඒකාබද්ධ පරිපථයක් ලෙසද හැඳින්වේ.

Chips shortage

ඡායාරූප මූලාශ්‍රය, 1bitsquared and Piotresden-Tempski

ඡායාරූප ශීර්ෂ වැකිය, සමහර නිෂ්පාදන සඳහා අවශ්‍ය චිප්ස් ලබා ගැනීමට මාස දොළහකට වැඩි කාලයක් බලා සිටීමට සිදුව ඇත

මේ වන විට පවතින කර්මාන්ත ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණවත් චිප් නොමැත. එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ ජනප්‍රිය නිෂ්පාදන හිඟ වී ඇත.

'PS5 ගේම් කොන්සෝල්' එකක් මිලදී ගැනීම වැනි දෙයක් සිදු කළ නොහැකි දෙයක් බවට අද පත් වෙමින් තිබේ.

ටොයොටා, ෆෝඩ් සහ වොල්වෝ කර්මාන්තශාලාවලට සිය නිෂ්පාදනය මන්දගාමී කිරීමට හෝ තාවකාලිකව නැවැත්වීමට සිදු වී තිබේ.

ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයින්ද දැඩි අපහසුතාවට පත්ව ඇති අතර, අයිෆෝන් අලෙවියේ ද හිඟයක් ඇති විය හැකි බවට ඇපල් ආයතනය අනතුරු අඟවයි.

සමහර සාප්පු හිමියන්ට මෙම ගැටළුවට දැනටමත් මුහුණ දෙන්නට සිදුව ඇත. නිදසුනක් වශයෙන්, භාවිත කරන ලද මෝටර් රථ අලෙවිය ලොව පුරා රටවල ඉහළ යාමට හේතුවක් වී ඇත්තේ චිප් දහස් ගණනින් භාවිත නව වාහන නිෂ්පාදනය අවම වීමය.

Chips shortage

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මේ තොරතුරු ද කියවන්න:

වසංගතය හේතුවෙන් මැලේසියාවේ කර්මාන්ත ශාලා වසා දැමීම නිසා "නිෂ්පාදනය හා අලෙවිය කෙරෙහි සැලකිය යුතු ලෙස බලපෑම් එල්ල වී තිබෙනවා" යනුවෙන් මර්සිඩීස් බෙන්ස්හි ප්‍රධානී ඔලා කොලෙනියස් මියුනික්හි පැවති ජාත්‍යන්තර සංචලනය ප්‍රදර්ශනයේ දී බීබීසී සේවයට පැවසීය.

"චිප් නිෂ්පාදකයින් පවසන්නේ මෙය 2022 දක්වා පවතින අතර පසුව ක්‍රමයෙන් යහපත් වනු ඇති බවයි" ඔහු පැවසීය.

මෙයින් අදහස් වන්නේ වාහන හිඟය 2023 දක්වා පැවතිය හැකි නමුත් "පසුගිය මාස කීපය තුළ අපි අත්විඳ ඇති බරපතල මට්ටමටම නොවන බවට බලාපොරොත්තු වෙනවා" යැයි ඔහු පැවසීය.

Chips shortage

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චිප්ස් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක්

ඔලා කොලෙනියස් පැවසුවේ කොවිඩ් වසංගතය යනු මෝටර් රථ කර්මාන්තයට "ආතති පරීක්‍ෂණයක්" වගේම "තදබදයක්" ඇති කළ බවය. සියල්ල යථා තත්ත්වයට පත් වීමට තවත් කාලයක් ගත වනු ඇති බව ඔහු පැවසීය.

"නමුත් අපි මෙම ආතති පරීක්‍ෂණයෙන් ඉගෙන ගෙන, නිෂ්පාදන පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීම සඳහා සැපයුම් දාමයේ සෑම ස්ථරයක්ම ගැඹුරින් සොයා බලන්න ඕනේ," ඔහු පැවසීය.

ලොව විශාලතම අමතර කොටස් සහ පද්ධති සැපයුම්කරුවෙකු වන 'බොෂ්' සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හැරල්ඩ් ක්‍රොගර් ද මෙම ප්‍රදර්ශනයේ සිටියේය.

හැරල්ඩ් ක්‍රොගර් බීබීසි වෙත පැවසුවේ මෝටර් රථ වෙළඳපොලේ සැපයුමේ තදබදයක් ඇති වීමට ප්‍රධාන හේතුව ඉල්ලුම "විශ්මයජනක ලෙස" ඉහළ යෑම බවත් එය කර්මාන්තයට සුභ ආරංචියක් වන බවය.

"මීට වසරකට පෙර, අපි කොරෝනා අඳුරු යුගයක සිටියා. අලෙවිය පහත වැටී තිබුණා. නමුත් කාර් වෙළෙඳපොළ මෙතරම් ඉක්මනින් යථා තත්ත්වයට පත් වනු ඇතැයි කිසිවෙකු බලාපොරොත්තු වූයේ නැහැ," ඔහු පැවසීය.

"දැන් නිසැකවම අපි ඒ ඉල්ලීම ඉටු කරන්න උත්සාහ කරනවා."

තවත් තොරතුරු: