ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වැව් වනසන යෝධ ගෝල්ඩ්ෆිෂ්: සුරතල් මසුන් ඇතිකරන්නන්ට අනතුරු ඇඟවීමක්
එක්සත් ජනපදයේ මිනසෝටා ප්‍රාන්තයේ නගරයක පිහිටි වැවකින් සුවිශාල 'ගෝල්ඩ්ෆිෂ්' හමුවීමත් සමග අනවශ්‍ය සුරතල් මසුන් ස්වභාවික පරිසරයට මුදා නොහරින ලෙස බලධාරීහු ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක් කළහ.
මෙම පොදු ගෘහස්ථ සුරතල් සතුන් ස්වභාවික පරිසරයේ දී වඩා විශාල ලෙස වැඩිය හැකි අතර එය ස්වභාවික පරිසර පද්ධතියට දැඩිව අහිතකර විය හැකිය.
'කෙලර්' නම් වැවේ සිදු කළ සමීක්ෂණයකදී අල්ලා ගත් යෝධ ගෝල්ඩ්ෆිෂ් කීපදෙනෙක් සිටින ඡායාරූප සහිත දැන්වීමක් බර්න්ස්විල් නගරය පුරා බෙදා හැර ඇත.
රොන් මඩ ඇවිස්සීමෙන් හා ජලජ ශාක මුලිනුපුටා දැමීමෙන් ගෝල්ඩ්ෆිෂ් ජලයේ ගුණාත්මක භාවයට හානිකර විය හැකි බව එහි සඳහන්ය.
"කරුණාකර ඔබේ සුරතල් ගෝල්ඩ්ෆිෂ් පොකුණු හා වැව්වලට මුදා හරින්න එපා!" නගර පාලනය නිකුත් කළ ට්වීටර් පණිවිඩයක සඳහන් විය.
මිනසෝටාහි ගෝල්ඩ්ෆිෂ් යනු ආක්‍රමණික මත්ස්‍ය විශේෂයක් ලෙස නියාමනය කර ඇති අතර ඔවුන් පොදු ජලයට මුදා හැරීම නීති විරෝධී බව එහි අදහසයි.
නිවසක මාළු ටැංකියක ඇති කරන ගෝල්ඩ්ෆිෂ් සාමාන්‍යයෙන් දිග අඟල් 2 (සෙන්ටිමීටර 5.1) දක්වා වර්ධනය වේ.
එහෙත් පොදු ජලයට ඔවුන් අත්හැර දැමු පසු ගෝල්ඩ්ෆිෂ් වඩා විශාල ලෙස වර්ධනය විය හැකි අතර, සීඝ්‍රයෙන් බෝවී එම පරිසරයේ සිටින අනෙක් සතුන් අභිබවා යෑම නිසා ඉවත් කිරීම ද අපහසු විය හැකි බව වනජීවී නිලධාරීහු පවසති.
"කරුණාකර ඔවුන්ට නව නිවසක් සොයා ගැනීම සඳහා වෙනත් විකල්ප සලකා බලන්න" යැයි බර්න්ස්විල් නගරයේ බෙදා හැරි අනතුරු ඇඟවීම් සටහනෙන් සුරතල් මත්ස්‍ය හිමියන්ට උපදෙස් ලබා දී තිබේ.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී කාවර් ප්‍රාන්තයේ වනජීවී නිලධාරීන් ද මෙවැනිම ගැටලුවකට මුහුණ දී තිබෙන අතර එහි ජලාශවලින් ගෝල්ඩ්ෆිෂ් 50,000ක් ඉවත් කර තිබේ.
එක්සත් ජනපදය පුරා ගැටළු ඇති කළ මෙම විශේෂයන් අධ්‍යයනය කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා වූ තුන් අවුරුදු සැලැස්මේ කොටසක් ලෙස මෙම මසුන් ඉවත් කිරීම සිදු කර ඇත.
නමුත් ගෝල්ඩ්ෆිෂ් ගැටළුවෙන් පීඩා විඳින එකම රට එක්සත් ජනපදය නොවේ.
2017 දී ජර්මනියේ මියුනික් නගර සභාව කියා සිටියේ එම ප්‍රදේශයේ පොකුණු හා වැව්වල ගෝල්ඩ්ෆිෂ් විශාල ගණනක් සිටින අතර ඒවායේ සිටින අනෙක් සතුන් කුසගින්නෙන් පෙළෙන බවය. පසුව ගැටළුව කෙතරම් නරක තත්වයට පත්වීද යත්, සුරතල් සතුන් පොදු ජලයට මුදා හරින ඕනෑම කෙනෙකුට දඩ නියම කරන බව නගර සභාව දැන්වීය.
එක්සත් රාජධානියේ ස්වභාවික ජලාශවලින් ද විශාල ගෝල්ඩ්ෆිෂ් සොයාගෙන ඇත. 2010 දී බ්‍රිතාන්‍ය තරුණයෙකුට ඩෝසෙට් ප්‍රදේශයේ විලකින් කිලෝග්‍රෑම් 2.2ක් බරැති අඟල් 16 ක් දිගැති ගෝල්ඩ්ෆිෂ් කෙනෙකු හමු වී තිබිණි.