චීන කොමියුනිස්ට් පක්ෂයට වසර 100 ක්: මේ දක්වා රට පාලනය කළ හැටි දැනගමු

This picture taken on April 21, 2016 in Shaoshan shows Chinese tourists posing in front a flag of the Communist Party of China

ඡායාරූප මූලාශ්‍රය, AFP

1949 ඔක්තෝම්බර් 01 වෙනිදා සිට චීනය පාලනය කරනු ලබන්නේ තනි පක්ෂයක් විසිනි. එනම් චීන කොමියුනිස්ට් පක්ෂය විසිනි.

මාඕ සේතුං යුගයේ සිට අද මහා ආර්ථික බලවතෙකු වීම දක්වා ගමනට පක්ෂය නායකත්වය දී තිබේ. ඒ අතර විපක්ෂයකට සහ වෙනස් මතයන්ට ඉඩක් නොතැබීමට ද වග බලා ගැනිණි.

චීන කොමියුනිස්ට් පක්ෂය බිහි වී සිය වසක් සම්පූර්ණ වන අද දින (ජුලි 01) පක්ෂයේ භූමිකාව සහ ඒ විසින් චීනය පාලනය කරනු ලබන ආකාරය පිළිබඳ BBC සිංහල සේවය කළ කෙටි විමසුමකි මේ.

ඔබට කල්වේලා අඩු නම් මේ ලිපිය වචන 100න් කියවිය හැක. ඔබට කල්වේලා ඇත්නම් වචන 600න් කියවීමට ද හැකිය.

story in 100 words

ආණ්ඩු බලයේ සිට පොලිසිය සහ හමුදාව දක්වා රටේ පූර්ණ පාලනය පවතින්නේ චීන කොමියුනිස්ට් පක්ෂය යටතේය.

ලක්ෂ 900 ක තරම් පිරිසක් පක්ෂ සාමාජිකත්වය දරති. මූලික ප්‍රතිපත්ති සකසන දේශපාලන මණ්ඩලයේ පටන්, ඉහළින්ම පසු වෙන ජනාධිපති ෂී ජින්පින් ඇතුළු පක්ෂ ධුරාවලිය සැකසී ඇත්තේ පිරමීඩාකාරවය.

පාර්ලිමේන්තුව හඳුන්වනු ලබන්නේ ජාතික ජනතා කොංග්‍රසය ලෙසය. හුදෙක් ඉන් සිදු වන්නේ පක්ෂ නායකත්වය විසින් ගනු ලබන තීන්දුවලට මුද්‍රාව තැබීමය.

වෙනස් මත නිහඬ කිරීම සඳහා මාධ්‍ය සහ අන්තර්ජාලය ද පක්ෂයේ දැඩි ග්‍රහණයට නතුව පවතී.

චීනය වෙනුවෙන් පවතින ගෞරවාදරය පක්ෂයට දක්වන ගෞරවාදරයට සමානය. මේ අතර ජාතික සහජීවනයේ සහ ආර්ථික වර්ධනයේ නාමයෙන් වඩාත් බහුත්වවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘති සහිත ආණ්ඩු ක්‍රම ප්‍රතික්ෂේප වේ.

story in 600 words

චීනය සම්පූර්ණයෙන්ම පාහේ තනි පක්ෂ ආණ්ඩුවකි.

කොමියුනිස්ට් පක්ෂයේ නායකත්ව භූමිකාව ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර තිබේ.

තවත් සුළු පක්ෂ කිහිපයක් පැවතිය ද ඒවා කොමියුනිස්ට්වාදීන්ට සහාය දීමට බැඳී සිටිති.

පක්ෂ නිර්මාතෘ මාඕ සේතුං යටතේ පක්ෂය දැඩි ඒකාධිකාරී සමාජවාදී මාවතකට පිවිසිණි.

එහෙත් ආර්ථික සහ සමාජීය වෙනස්කම්වල අසාර්ථකත්වය සහ සාගතය හමුවේ රට පුරා දස ලක්ෂ ගණනක් මරණයට පත් විය.

China's Forbidden City

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1949 සිට චීනය කොමියුනිස්ට් පක්ෂ පාලනයේ පවතී

1976 මාඕ සේතුංගේ අභාවයෙන් පසු, ඩෙං ෂියාඕපිං හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ යටතේ එක තැන නැවතී තිබුණු රට සෙමෙන් ඉහළට මතු විය.

වත්මන් ජනපති ෂී ජින්පින් බලයට පත් වූයේ 2012 වසරේදීය.

ලොව සුපිරි බලවතෙකු ලෙස චීනයේ මතුවීම සහ එහි පැවැත්ම ඔහුගේ දැඩි අධීක්ෂණය යටතේ පවතී.

ඉහළින් පාලනය වන පිරමීඩයක්

චීනයේ ජනගහනයෙන් 7% ක් පමණ කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝ වෙති.

දේශපාලන, ව්‍යාපාර හෝ විනෝදාස්වාද ක්ෂේත්‍රයේ පවා යමෙකුට ඉහළට යෑමට අවශ්‍ය නම් පක්ෂපාතී සාමාජිකත්වය අනිවාර්ය වේ.

අන්තර්ජාල වෙළඳාමේ පතාකයෙකු වන 'අලිබබා' සමාගමේ නිර්මාතෘ ජැක් මා, 'හුවාවි' ජංගම දුරකතන සමාගමේ නිර්මාතෘ රෙන් ෂෙන්ග්ෆෙයි හෝ නිළි ෆැන් බින්ග්බින්ග් වැනි තරුවලට ද එය පොදු තත්ත්වයකි.

බිම් මට්ටමෙන් ආරම්භ වී නායකත්වය දක්වා තෝරා පත්කර ගැනීම් සිදු කරනු ලබන්නේ පක්ෂය විසින්ය.

ඡන්ද පැවතියත් සාමාන්‍යයෙන් ඒවාට කල් තියා තීන්දු කර අනුමැතිය ලැබේ. සැබෑ බලය ඇත්තේ දේශපාලන මණ්ඩලය සතුවය.

Xi Jinping

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති ෂී ජින්පින්

2017 වසරේදී, ජීවිත කාලයටම ජනාධිපති ධුරයේ සිටීමට පක්ෂය ෂී ජින්පින්ට මග හෙළි කළේය.

පක්ෂ නිර්මාතෘ මාඕ සේතුං හා සම මට්ටමට ඔසවා තබමින් ජනාධිපති ෂී ජින්පින්ගේ නම සහ ඔහුගේ දෘෂ්ටිවාදය ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කිරීමට ද පක්ෂය ඡන්දය දුනි.

දේශපාලන මණ්ඩලය

ආණ්ඩුවේ පටන් හමුදාවේ සිට පොලිසිය දක්වා රටේ සියල්ලම පාලනය කරනු ලබන්නේ කොමියුනිස්ට් පක්ෂය විසිනි.

පක්ෂයේ පෙළ ගැස්ම නිසි ලෙස තහවුරුව තිබේදැයි යන්න සහතික කිරීම සහ තවත් වැදගත් මණ්ඩල තුනක පාලනය දේශපාලන මණ්ඩලය යටතේ පවතී. එම මණ්ඩල ත්‍රිත්වය:

  • රාජ්‍ය සභාව
  • මධ්‍යම හමුදා කොමිසම
  • ජාතික ජනතා කොංග්‍රසය (පාර්ලිමේන්තුව)

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය සභාව ක්‍රියාත්මක වේ.

රට පුරා පක්ෂ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම එහි කාර්යභාරය වේ.

හමුදාවේ සහ පක්ෂය අතර සම්බන්ධය දෙවෙනි ලෝක යුද්ධය සහ ඉන්පසු හටගත් සිවිල් යුද්ධය දක්වා දිව යයි.

මධ්‍යම හමුදා කොමිසම විසින් එම සමීප සබඳතා ආයතනගත කරනු ලැබ ඇත.

රටේ න්‍යෂ්ටික අවි ගබඩාව සහ ලොව විශාලතම හමුදාව වන, 20 ලක්ෂකට අධික හමුදා භටයන්ගේ පාලනය ඒ යටතේ පවතී.

මහජන මතය දැඩි ග්‍රහණයක

A schoolgirl makes a flag of the Communist Party of China

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චීන කොමියුනිස්ට් පක්ෂ ධජයක් සකසන පාසල් සිසුවියක්

කොමියුනිස්ට් පක්ෂය වෙනස් මත නොඉවසයි. සැබෑ විපක්ෂ දේශපාලන පක්ෂවලට ඉඩක් නොමැත.

ආණ්ඩුව විවේචනය කරන්නන් හිංසාවට ලක්වීමේ අනතුරක් පවතී.

බලධාරීන්ට එරෙහි වන්නන් මර්දනය කිරීමේ අඩුවක් දක්නට නොමැත.

ජනාධිපති ෂී යටතේ, මානව හිමිකම්වලට වැට බැඳීම ඉහළ ගොස් ඇත.

පක්ෂයේ ඉහළ නිලයන් දරන පුද්ගලයන් ද මර්දනයෙන් මිදී නොමැත. 2013 වසරේදී, කලක් පක්ෂයේ ප්‍රබලයෙකුව සිටි බෝ ෂිලායි දූෂණ සහ බලය අයුතු ලෙස යොදා ගත් බවට වරදකරු කෙරිණි. නඩු විභාගය සාධාරණව සිදු නොවුණු බවට චෝදනා එල්ල වූ අතර ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි.

මානව හිමිකම් තහවුරු කරන බව චීනය අවධාරණයෙන් කියා සිටී.

දස ලක්ෂ සංඛ්‍යාත ජනතාව දුගී බවෙන් ඉහළට ඔසවා තැබීමේදී තනි පුද්ගල නිදහස යටපත් වන බව කියමින් චීනය සිය දැඩි ප්‍රතිපත්ති සාධාරණීකරණය කරයි.

වීඩියෝ ශීර්ෂ වැකිය, චීන කොමියුනිස්ට් පක්ෂ සියවස් සැමරුම: දශක ගණනාවක සමාජීය පරිවර්තනය කැමරා ඇසින්

මාධ්‍ය සහ සමාජ ජාල ඇතුළු අන්තර්ජාලය දැඩි පාලනයක් යටතේ පවතී. ගූගල්, ෆේස්බුක්, යුටියුබ් සහ ට්විටර් මෙන්ම බොහෝ බටහිර වෙබ් අඩවිවලට ඇති පිවිසුම් වාරණය කර ඇත.

එදිනෙදා ජීවිතයේ බොහෝ දේ ඩිජිටල්කරණය කර ඇති බැවින් ජනතාව පිළිබඳ දැඩි නිරීක්ෂණයෙන් පසු වීමට පක්ෂයට ඉඩ ලැබී තිබේ.

මේ ආකාරයට මාධ්‍ය මුළුමනින්ම පාහේ තමා යටතේ තබා ගැනීම, මහජන මතය පාලනය කිරීමේදී පක්ෂයට උපකාරී වී ඇත.

මේ ගැනත් කියවන්න: