මොකක්ද මේ කළු දිලීර ආසාදනය?හැදෙන්නේ කොහොමද?ශ්‍රී ලංකාවට අනතුරක් තිබේද?

කොවිඩ්-19 වසංගතයට මැදිව සිටින ඉන්දියාව තවත් රෝග ව්‍යසනයකට ගොදුරුවෙමින් ඇති බවට වාර්තා ලැබෙයි.එම රෝගය හඳුන්වනු ලබන්නේ කළු දිලීර("black fungus") ආසාදනය යනුවෙනි.එම ව්‍යසනයට ගොදුරු වූ රෝගීන් නව දහසකට ආසන්න සංඛ්‍යාවක් මේවනවිට වාර්තාවී ඇත.

මෙය සාමාන්‍යයෙන් ඉතා දුර්ලභ ඝනයේ ආසාදනය වීමකි. එය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වනු ලබන්නේ 'මියුකොමයිකොසිස්' (mucormycosis)යනුවෙනි. දිලීර (පුස්) වර්ගයක් හේතුවෙන් හටගනු ලබන එම රෝගයට ගොදුරුවූ පුද්ගලයන්ගෙන් 50%ක් පමණ මරණයට පත්විය හැකි බව ඇස්තමේන්තු කොට ඇති අතර රෝගියකු බේරා ගැනීමට හැකිවන්නේ ඔහුගේ හෝ ඇයගේ ඇසක් ඉවත්කරනු ලැබීම මගින් පමණක් බවද පැවසෙයි.

එය දුර්ලභ ව්‍යාධියක් වන නමුත් මෑත මාසවල ඉන්දියාවේ කොවිඩ්-19 වෛරසයට ගොදුරුවී සුවය ලද සහ සුවපත්වෙමින් සිටින රෝගීන් අතර එම කළු දිලීර ආසාදනයට ගොදුරුවූවන් දහස් ගණනක් පිළිබඳ තොරතුරු ලැබුණි.

වෛද්‍යවරුන්ට අනුව කොවිඩ් වෛරසය මැඩලීමට ශාරීරික උත්තේජක ඖෂධ දෙනු ලැබීම සහ දියවැඩියාව සහිත රෝගීන් ඉහත කී කළු දිලීරය ආසාදනය වීම අතර සම්බන්ධයක් දක්නට ලැබෙයි.

එම වෛද්‍යවරුන් වැඩිදුරටත් අදහස් දක්වමින් බීබීසියට සඳහන් කළ පරිදි '' කොවිඩ් වෛරසය ආසාදිතව ඉන් සුවය ලැබීමෙන් දවස් දොළහත්-දහ අටත් අතර කාල සීමාවක් තුළ පුද්ගලයකුට එම කළු දිලීරය අසාදනය වීම සිදුවිය හැකි බවක් දක්නට ලැබෙයි.

ඉන්දියාවේ මෙතෙක් වාර්තා වී ඇති 'කළු දිලීර' ආසාදිතයන්ගෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ බටහිර ඉන්දියාවේ ගුජරාට් සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත දෙකෙනි. ඒ හැරුණුවිට තවත් ආසාදිතයන් අටත් -නවසීයත් අතර සංඛ්‍යාවක් වෙනත් ප්‍රාන්ත පහළොවකින් වාර්තා විය. එපරිද්දෙන් රෝගීන් වාර්තාවීමත් සමඟ එම රෝගය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස ඉන්දීය ප්‍රාන්ත විසිනවයට දැනටමත් පවසා ඇත.

එම දිලීරයට ගොදුරුවෙන රෝගීන් වෙනුවෙන් වෙන්කරන ලද රෝහල් වාට්ටු ඉතා ඉක්මණින් පිරීයමින් ඇතැයි වෛද්‍යවරු පවසති.

මධ්‍යම ඉන්දීය නගරයක් වන 'ඉන්ඩෝ' (Indore) හි ඇඳන් 1,100ක් සහිත රජයට අයත් 'මහාරාජා යෂ්වන්ත්‍රාවෝ' ආරෝග්‍ය ශාලාවේ සතියකට පෙර දිලීරය ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව පස්දෙනකු වූ නමුත් එය පසුගිය සෙනසුරාදා (ජූනි 22) වනවිට 185ක් තෙක් ඉහළගොස් තිබුණි.

එම රෝගීන්ගෙන් 80%කට අධික සංඛ්‍යාවක් වහාම සැත්කම් සඳහා යොමුකිරීමට සිදුවූ බව එම රෝහලේ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී වෛද්‍ය වී.පී. පාන්ඩේ බීබීසියට පැවසීය.

කළු දිලීරය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර සඳහා සිය රෝහලේ වාට්ටු එකොළහක ඇඳන් 200ක් සූදානම් කර ඇතැයි වෛද්‍ය පාන්ඩේ පවසයි.

''මේ රෝගයට ගොදුරු වූ සංඛ්‍යාව අනපේක්‍ෂිත මට්ටමින් ඉහළයමින් පවතිනවා'' වෛද්‍යවරයා සඳහන් කළේය.

'ඉන්ඩෝ' (Indore) රෝහලේ පමණක් කළු දිලීර ආසාදිත රෝගීන් 400ක් වත් හඳුනාගනු ලැබ ඇතැයි වෛද්‍ය පාන්ඩේ සඳහන් කළේය.

"කළු දිලීර ආසාදනය දැන් කොවිඩ් -19 ට වඩා දැඩි අභියෝගාත්මක වී තියෙනව. රෝගීන්ට නිසි වේලාවට විධිමත්ව ප්‍රතිකාර කළේ නැත්නම් මරණ අනුපාතය 94% දක්වා ඉහළ යන්න පුළුවන්. ප්‍රතිකාරවලට යන වියදමත් අධිකයි. ඖෂධ සැපයුමකුත් සිදුවන්නේ `නැහැ''වෛද්‍ය පාණ්ඩේ වැඩිදුරටත් පැවසීය.

"මීට පෙර අවුරුද්දකට අපට වාර්තාවුනේ කළු දිලීර රෝගීන් එක්කෙනෙක් දෙන්නෙක් විතරයි''

''කළු දිලීර ආසාදිතව ඇතැයි රෝග විනිශ්චය කෙරුණ පුද්ගලයන්ට සති අටක පමණ කාලයක් දිනපතාම ''ඇම්ෆොටෙරිසින්'' බී (amphotericin B) හෝ "ඇම්ෆෝ-බී"("ampho-B") නියම කරනවා. එම ව්‍යාධිය සඳහා ඖෂධ වර්ග දෙකක් ඇත. එනම්,ප්‍රමිතිගත 'ඇම්ෆොටෙරිසින් බී ඩියෝක්සිකෝලේට්''(amphotericin B deoxycholate) සහ ''ලිපොසෝමල් ඇම්ෆොටෙරිසින්''(liposomal amphotericin) යන ඖෂධ දෙවර්ගයයි.

තම නගරයේ රෝහල් හතරක රෝගීන් 201ක් දෙනකුට අදාළ තොරතුරු තමා සතුව ඇතැයි වෛද්‍ය පාන්ඩේ පවසයි.

එම රෝගීන්ගෙන් වැඩිදෙනා කොවිඩ්-19 වෛරසය ආසදිතව සුවය ලද්දෝ වෙති. එසේම වැඩිදෙනා පිරිමින් වීමත් විශේෂත්වයකි. ඔවුන්ට කොවිඩ් ආසාදිත සමයේ ශාරීරික උත්තේජන ඖෂධ දී ඇති අතර දියවැඩියාවෙන් පෙළෙන්නන් ලෙස ද හඳුනාගනු ලැබ ඇත.

මීට අදාළ තවත් සමීක්‍ෂණයක් සිදුකරනු ලැබ ඇත. ඉන්දීය වෛද්‍යවරුන් හතරදෙනකු විසින් සිදුකරන ලද එම අධ්‍යයනයේ දී කොවිඩ්-19 ආසාදිතව පසුව 'මියුකොමයිකොසිස්'(mucormycosis) ආසාදනය වූ සියයකට අධික පිරිසක් විමර්ශනය කරනු ලැබ ඇති අතර ඔවුන්ගෙන් හැත්තෑ නවදෙනෙක්ම (79) පුරුෂයෝ වූහ. එම රෝගීන් අතර අසූතුන් දෙනෙක්ම දියවැඩියාවෙන් පෙළෙන බව ද අනාවරණය විය.

'මුම්බායි'නගරයේ රෝහල් දෙකක කළු දිලීර ආසාදිත රෝගීන් හතළිස් පස්දෙනකු (45) යොදාගනිමින් සිදුකරන ලද තවත් අධ්‍යයනයකින් ඔවුන් සියලු දෙනාම දියවැඩියා රෝගීන් හෝ දියවැඩියාව වැළඳීමට ආසන්න තත්ත්වයක සිටින බව අනාවරණය විය. ඔවුන් සැම කෙනෙකුගේම රුධිරයේ සීනි ඉතා ඉහළ මට්ටමක විය.

"මියුකොමයිකොසිස්'(mucormycosis) ආසාදනය වූ රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය මට්ටමක නැහැ " අක්ෂි ශල්‍ය වෛද්‍ය අක්ෂේ නායර් බීබීසීයට පැවසීය.

'මියුකොමයිකොසිස්' කියන්නේ කුමක්ද?

'මියුකොමයිකොසිස්' (Mucormycosis) යනු ඉතා දුර්ලභ ආසාදනයකි. පස්,ශාක වර්ග,පොහොර සහ නරක් වූ පලතුරු හා එළවළු ආදියේ එම දිලීරය බහුලව දක්නට ලැබෙයි.

''මේ දිලීරය හැම තැනකම පවතින්න පුළුවන් දෙයක්. එය පසෙහි සහ වාතයේ මෙන්ම නිරෝගී මිනිසකුගේ නාසයේ හෝ සෙම සොටු ආදියෙහි පවා තියෙන්න පුළුවන්'' මුම්බායි නගරයේ අක්ෂි ශල්‍ය වෛද්‍ය ආක්ෂේ නායර් පවසයි.

එම දිලීරය 'සෛනස්' (sinuses) තත්ත්වයන්ට,මොළයේ සහ පෙනහළුවල ආසාදනයවීම් කෙරෙහි හේතුවිය හැකිය. එපමණක් නොව, දියවැඩියා හෝ පිළිකා රෝගීන්ට සහ HIV ඒඩ්ස් රෝගය නිසා ශාරීරික ප්‍රතිශක්තිය හීනවූ තත්ත්වයක සිටින පුද්ගලයන්ට මෙම දිලීරය ආසාදනය වීම මාරන්තික අනතුරකි.

ශ්‍රී ලංකාවේත් 'කළු දිලීරය' තිබෙනවාද?

කොවිඩ්-19 වසංගතය පැතිරයමින් පවතින අතරවාරයේ අම්පාර ප්‍රදේශයෙන් කළු දිලීරය ආසාදිත රෝගියකු හමුවූ බවක් ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරයවීමත් සමඟ ශ්‍රී ලංකාව තුළත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමුවෙමින් පවතී.

මේ අතර කොළඹ පැවැත්වුණු මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී, දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර ''කළු දිලීරය ලංකාවට අලුත් දෙයක් නොවන'' බව පෙන්වා දුන්නාය. එහෙත් ලංකාවේ කොවිඩ් ආසාදනය වූ කිසිවකුට 'කළු දිලීරය' ආසාදනය වීමක් වාර්තා වී නැති බවත් විශේෂඥ වෛද්‍යවරිය පවසයි.

"මියුකොමයිකොසිස්' (mucormycosis) යනුවෙන් හඳුන්වනු ලබන කළු දිලීරය ලංකාවට අලුත් දෙයක් නොවෙයි. උදාහරණයක් විදිහට 1919 වර්ෂයේ දී අපට කළු දිලීර ආසාදනය වීම් 42ක් වාර්තා වී තිබෙනවා. 2020 වසරේ දී 24 දෙනකුත් මේ වර්ෂයේ දී මේ දක්වා 24 දෙනකුත් වාර්තා වී තිබෙනවා. එහෙත් ඒ කිසිම රෝගියකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නැහැ. අදාළ පරීක්‍ෂණ සිදුකෙරෙන්නේ වෛද්‍ය පර්යේෂණායතනය මගින් වීම නිසා අපට නිසැකවම කියන්න පුළුවන් කොවිඩ් ආසාදිතයන්ට "මියුකොමයිකොසිස්'(mucormycosis) කියන රෝග තත්ත්වයක් ඇති වී නැති බව''

ශ්‍රී ලංකාව නිරක්ෂය ආසන්නයේ පිහිටි රටක් නිසා ඒ දිලීරය ලැබීමට අවශ්‍ය සියලු පරිසර සාධක ලංකාවේ ඇති බව පවසන වෛද්‍යවරිය එම දිලීරය රටේ පස්වල පවතින බවත් සඳහන් කළාය.

තවදුරටත් කරුණු පැහැදිළි කළ වෛද්‍ය පර්යේෂණායතනයේ දිලීර දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී, දිලීරවේදී විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර ''මේ දිලීරය අසාදනය වන්නේ ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයන්ට'' බවත් පැවසුවාය.

ශ්‍රී ලංකාවෙන් 'කළු දිලීර' රෝගීන් හමුවූ බවට ලැබෙන වාර්තා ශ්‍රී ලංකා රජය මගින් බැහැර කරනු ලැබ ඇත.

''අම්පාර ප්‍රදේශයේ කොරෝනා ආසාදිත රෝගියාට කළු දිලීරය ආසාදිත බවට පැතිරෙන තොරතුරු අසත්‍යයක්'' බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා,වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු භාර රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍යසුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

තවත් තොරතුරු;