ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනාවෛරසය: ලොව පුරා මහ නගර මුහුණ දෙන්නේ කෙසේද?
දක්ෂිණ ධ‍්‍රැවයට හැරෙන්නට සෑම මහද්වීපයකටම කොරෝනාවෛරසය ව්‍යාප්ත වී හමාරය. වෛරසය ආරම්භ වූයේ චීනයෙනි. නමුත් චීනය තුළ ව්‍යාප්ත වූවාට වඩා වැඩි වේගයකින් මෙම වෛරසය චීනයෙන් පිටත ව්‍යාප්ත වෙමින් පවතී. එවැනි තත්වයක් අත්දකින්නේ ප්‍රථම වතාවටය.
මෙම වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව, මිනිසුන් බොහෝ ප්‍රමාණයක් සමීපව වාසය කරන සහ රැකියාවන් හි යෙදෙන මහ නගරවල ජනතාවගේ බරපතළ අවධානයට යොමු වී තිබේ.
මහ නගරවලට මෙය විශාල අභියෝගයකි. ලොව පුරා මහ නගර මීට මුහුණ දෙන්නේ කෙසේද?
පොදු ප්‍රවාහනය
වෛරස පැතිර යාම සඳහා හොඳම පරිසරයක් නිර්මාණය වන්නේ පොදු ප්‍රවාහන සේවා ආශ්‍රිතවය.
කැස්සකින් හෝ කිවිසුමකින් පිටවන බිඳිති බොහෝ දෙනෙකු ස්පර්ශ කරන තැනක පතිත වූ විට එම බිඳිති සමඟ වෛරසයක් පවතින්නේ නම් එකවර විශාල පිරිසක් කරා එය සංක්‍රමණය වනු ඇත.
ඉන්ෆ්ලුවෙන්සාවක් පැතිර යන සමයක පොදු ප්‍රවාහන සේවා භාවිත කරන උදවියට එය වැළඳීමේ අවදානම හය ගුණයකින් වැඩි බව විමර්ශනවලින් හෙළි වී තිබේ.
සියලුම බස් සහ දුම්රිය තුළ මෙන්ම නැවතුම්පළ තුළ ද මහා පරිමාණයෙන් විෂබීජහරණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට දකුණු කොරියාවේ, ඉතාලියේ සහ ඉරානයේ බලධාරීන් පියවර ගෙන ඇත්තේ එබැවිනි.
ජන ඒකරාශී වීම්
විශාල පිරිසක් ආකර්ෂණය කෙරෙන ක්‍රීඩාංගන වැනි ස්ථාන මෙවැනි වෛරස ඉක්මනින් පැතිරවීමට තුඩු දෙන අතර කොරෝනාවෛරසය නිසා ඇතැම් ක්‍රීඩා තරග දැනටමත් අවලංගු වී ඇත.
චීනයේ ෂැන්හයි නුවර පැවැත්වීමට නියමිතව තිබූ 'ෆෝමියුලා වන්' මෝටර් රථ ධාවන තරඟය කල් දැමීමට සිදු විය.
'සික්ස් ඒෂියන්' ලීග් ශුරතා තරගාවලිය ප්‍රමාද කිරීමට ඉරානය පියවර ගත්තේය.
ඉතාලි කණ්ඩායම් සහභාගී වීමට නියමිතව තිබූ පාපන්දු සහ රග්බි ක්‍රීඩා තරග අත්හිටුවීමට යුරෝපයේ රටවල් කිහිපයක්ම තීරණය කර තිබේ.
නමුත්, කොරෝනාවෛරසය නිසා පීඩාවට ලක්වන විශාලතම ක්‍රීඩා උළෙල ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල විය හැකිය. එය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ එළඹෙන ජූලි මස 24 වැනිදා ය.
කොරෝනාවෛරසය බලපෑම් කළේ ක්‍රීඩා තරඟවලට පමණක් නොවේ. ආගමික උත්සව සහ වන්දනාවලට ද එය අභියෝගයක් විය.
විදේශ රටවලින් පැමිණෙන වන්දනාකරුවන්ට මක්කම තහනම් කිරීමට ද සෞදි අරාබිය තීරණය කළේය.
පාඨශාලා
කොරෝනාවෛරසයට මුහුණ දීම සඳහා විශේෂ සැලසුම් දියත් කිරීමට බොහෝ පාසල් ක්‍රියාත්මක වෙමින් පවතී.
ජපානය, ඉරානය, තායිලන්තය, ඉරාකය වැනි රටවල පාසල් සහ විශ්ව විද්‍යාල වසා දමා තිබේ.
එක්සත් රාජධානිය සහ ඇමරිකාව පාසල් වසා දැමීමට තීරණය කර නොමැත. නමුත් එංගලන්තයේ පාසල් හතරක් තාවකාලිකව වසා දමා පූර්ණ විෂබීජහරණයක් දියත් කළේය. එම පියවර ගත්තේ, ඉතාලියේ සංචාරය කළ ළමුන් එම පාසල්වල සිටි බැවිනි.
කොරෝනාවෛරසය දරුණු ලෙස ව්‍යාප්ත වී ඇති රටවල මෑතකදී සංචාරය කර ඇත්නම් නිවාසවල රැඳී සිටින ලෙසත් එම පවුල්වල දරුවන් පාසල් එවීමෙන් වලකින ලෙසත් දෙමාපියන්ට දන්වා තිබේ.
කාර්යාල
ලොවපුරා වෙළඳ ව්‍යාපාර සහ වැදගත් තාක්ෂණික මධ්‍යස්ථාන කිහිපයකට ද කොරෝනාවෛරසය දැඩි බලපෑමක් එල්ල කර ඇත.
සැන් දියාගෝ සහ සැන් ෆ්‍රැන්සිස්කෝ දෙනුවර දැනටමත් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. තම සමාගම් වෙත පැමිණෙන අමුත්තන් පිළිගැනීම සඳහා අතට අත දීමෙන් වළකින ලෙස සේවකයන්ට උපදෙස් ලැබී ඇත.
ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික වෙළඳ සම්මන්ත්‍රණය අවලංගු කිරීමට ෆේස්බුක් ආයතනය පියවර ගත්තේය.
සැන් දියාගෝ නගරයේ පැවැත්වීමට නියමිත, ලොව විශාලතම සයිබර් ආරක්ෂණ සම්මන්ත්‍රණයකින් ඉවත් වීමට ලොව ප්‍රධාන පෙළේ අනුග්‍රාහකයන් සහ ප්‍රදර්ශකයන් කිහිප දෙනෙකුම තීරණය කර තිබේ.
ශරීර උෂ්ණත්වය ඉහළ ගොස් ඇත්නම් හෝ ශ්වසන ආබාධයකට ලක් වී ඇත්නම් නිවසේ සිට තම රැකියාව කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා ගැනීම සුදුසු බව එක්සත් ජනපදයේ බෝවන රෝග පාලන මධ්‍යස්ථානය දැනුම් දුන්නේය.
මහජනතාව දැනුවත් කිරීම
හොඳින් දෑත සෝදා පිරිසිදු කරගැනීම, කොරෝනාවෛරසය පැතිරීම වලක්වා ගැනීම සඳහා ගත හැකි ප්‍රධානතම පියවර බවට ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත් යැයි ඇමරිකානු සෞඛ්‍ය බලධාරීහු පවසති.
කොරෝනාවෛරසය ව්‍යාප්තවීම වලක්වා ගැනීම සඳහා සියළු දෙනාම පහත සඳහන් පියවර අනුගමනය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී ඇත.
- නිතර දෙවේලේ දෑත සේදීම
- කැස්ස හෝ කිවිසුම ඇතිවන විට මුව සහ නාසය ආවරණය කර ගැනීම.
- ශ්වසන ආබාධ ඇති උදවිය ස්පර්ශ කිරීමෙන් වැළකීම
- වන සතුන් සහ ඇතිකරන සතුන් අනාරක්ෂිත ලෙස ස්පර්ශ නොකිරීම
රෝහල්
නව කොරෝනාවෛරසයට එරෙහිව තවමත් ඖෂධයක් සොයාගෙන නොමැති බැවින් රෝහලක දී සිදු කෙරෙන්නේ මතුවන රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීම පමණි.
රෝගීන් හුදෙකලා කොට ප්‍රතිකාර කිරීමට සහ එවැනි රෝගීන් සමඟ කටයුතු කරන රෝහල් සේවකයන් ආරක්‍ෂිත ඇඳුම් ඇඟලාගෙන සිටිය යුතු බවට උපදෙස් ලබා දී තිබේ.
වෛරසය දරුණු ලෙස ව්‍යාප්ත වී ඇති රටක සිට පැමිණෙන උදවියගෙන් එක්සත් රාජධානියේ බලධරයන් ඉල්ලා සිටින්නේ හුදෙකලා වී සිටින ලෙසට ය.
කොරෝනාවෛරසය ආරම්භ වූ වූහාන් නගරය හුදෙකලා කළ ආකාරයටම ඉතාලියේ නගර කිහිපයක් ද හුදෙකලා කොට තිබේ.
නමුත් විශේෂඥයන් පවසන්නේ මෙම වෛරසය ලෝකය පුරාම පැතිර ගියහොත් ඒ කිසිදු පියවරකින් වැඩි යහපතක් බලාපොරොත්තු විය නොහැකි බවය.