ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඊශ්‍රායල - ගාසා ගැටුම්: සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව සලසන්නැයි ජාත්‍යන්තරයෙන් ඉල්ලීම්
ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කරුවන් අතර දැඩි ප්‍රචණ්ඩ ක්‍රියාවලට මැදිව සිටින සාමාන්‍ය වැසියන්ගේ ආරක්ෂාව සලසන මෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඉල්ලා සිටිති.
ගාසා තීරයේ ගොඩනැගිලි සුන්බුන් අතරින් දරුවන් ඉවතට ගන්නා අයුරු සහ ඊශ්‍රායලයේ ජනයා ආරක්‍ෂිත ස්ථාන සොයා දිවයන අයුරු දැක්වෙන දර්ශන ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව තිබේ.
දෙපාර්ශවය අතර ගැටුම් දෙවෙනි සතියටත් ඇවිල යද්දී සටන් විරාමයක් පිළිබඳ ඇත්තේ කුඩා බලාපොරොත්තුවකි.
ගාසා තීරයේ දරුවන් 61 ක් ඇතුළු 212 දෙනෙකු මරණයට පත්ව ඇති අතර ඊශ්‍රායලයේ දරුවන් 2 ක් ඇතුළුව දස දෙනෙකු මරණයට පත්ව තිබේ.
ගාසා හි මරා දැමුණු වැඩි දෙනෙකු අතර සිටින්නේ සටන්කරුවන් බව පවසන ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ගේ මරණ සිතා මතා සිදු නොකළ ඒවා බව කියා සිටියි.
ගාසා තීරයේ පාලනය ගෙන යන හමාස් සන්නද්ධ කණ්ඩායම එය පිළිගන්නේ නොමැත.
රාත්‍රියේ රොකට් ප්‍රහාර
සඳුදා (මැයි 17) රාත්‍රියේ, ලෙබනන දේශසීමාවට ආසන්නයෙන්, උතුරු සහ දකුණු දෙසින් රොකට් ප්‍රහාර එල්ල වීමත් සමග යළි ඊශ්‍රායලය තුළ අනතුරු ඇඟවීමේ නලා හඬ ඇසුනි.
සිය ප්‍රහාර තවදුරටත් පවත්වාගෙන යන බව ඊශ්‍රායල නායකයෝ යළි සපත කර තිබේ.
ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් එල්ල වන අවධානය ඉහළ යමින් පවතී.
සාමාන්‍ය වැසියන් තුවාල වීම සහ මරණයට පත්වීම හෝ විනාශයන් නිසා ඔවුන්ගේ ජීවිත උඩු යටිකුරු වීම වළකාලනු වස් පියවර ගන්නා ලෙස ලෝක නායකයන් සහ මානුෂීය ආධාර ලබා දෙන සංවිධාන ඉල්ලා සිටිති.
'පාසල් 40 ක් රෝහල් 4 ක්...'
දවස් අටක් ඊශ්‍රායලය සහ පලස්තීන සටන්කාමීන් අතර ගාසා හි පැවති ගැටුම් හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සටන් විරාමයක් වෙනුවෙන් සහාය දෙන බව පවසයි.
ගැටුම් නතර කිරීම සම්බන්ධයෙන් ඇමරිකාව, ඊජිප්තුව සහ සෙසු රටවල් සමග එක්ව කටයුතු කරන බව ඔහු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු වෙත පවසා තිබේ.
එහෙත් ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගෙන ආ යෝජනාව ඇමරිකාව විසින් යළි වළකනු ලැබිණි.
සාමාන්‍ය වැසියන් මරණයට පත්වීම ඊශ්‍රායලය විසින් වළකා ගනු ලැබ යුතුව ඇතැයි එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ගේ ප්‍රකාශකයා කියා සිටියි.
එහෙත් "අනෙක් අතින් හමාස් සිය මෙහෙයුම්වලදී සාමාන්‍ය වැසියන්ගේ ගොඩනැගිලි සහ මිනිස්සු පලිහක් වශයෙන් යොදා ගන්නවා." යනුවෙන් එම ප්‍රකාශකයා අවධානයට ලක් කරයි.
විශේෂයෙන් දරුවන් ද ඇතුළුව සාමාන්‍ය වැසියන් ආරක්ෂා කරන ලෙස එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ඇන්ටනී බ්ලින්කන් දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටියේය. "ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස ඒ සඳහා ඊශ්‍රයලයට අතිරේක බරක්" ඇති බව ඔහු අවධාරණය කළේය.
දැනටමත් දුගීභාවයෙන් පීඩා විඳින, මිලියන දෙකක් වෙසෙන ගාසා තීරයේ ගොඩනැගිලි සහ යටිතල පහසුකම්වලට හානි සිදුවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ල පළ කරයි.
මෑත දිනවලදී පාසල් 40 ක් සහ රෝහල් 4 ක් "සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන්" විනාශ වී ඇති බව එම සංවිධානය පවසයි. මූලික සේවාවන්ට තර්ජනයක් වන පරිදි එහි ඉන්ධන සැපයුම අවසන් වෙමින් පැවතීම පිළිබඳව ද එම සංවිධානය අනතුරු ඇඟවීය.
සෞඛ්‍ය සේවා ගොඩනැගිලි වෙත එල්ල කෙරෙන් සියලුම ප්‍රහාර නවතා දැමිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කටයුතු පිළිබඳ ප්‍රධානී වෛද්‍ය මයික් රයන් පැවසීය.
මේ ගැනත් කියවන්න: