ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරසය: එංගලන්තයේ 'රට අගුලු දැමීමෙන්' දරුවන්ගේ කථනය සහ භාෂා දැනුමේ පහත වැටීමක්
කොවිඩ්-19 වසංගතය නිසා පසුගිය වසර පුරා රට අගුලු දැමීම (ලොක්ඩවුන්) හේතුවෙන් ළමා කථනය සහ භාෂා කුසලතාවන්ට බලවත් බලපෑමක් ඇතිකර තිබෙන බව අලුත්ම පර්යේෂණ වාර්තාවක් මගින් පෙන්වා දෙයි. එංගලන්තය පුරා කුඩා පාසල් දරුවන් 50,000කින් ලබාගත් තොරතුරුවලට අනුව භාෂාව සම්බන්ධයෙන් ආධාරය අවශ්‍යකරන වයස අවුරුදු හතර සහ පහ කාණ්ඩයට අයත්වන දරුවන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් පෙන්නුම් කරයි.
ලැබී ඇති සාක්ෂි මගින් පෙන්නුම් කෙරෙන්නේ දුර්වල කථන වර්ධනය ඉගෙනුම අතින් දිගුකාලීන බලපෑමක් ඇතිකළ හැකි බවය.
පාසල් අධ්‍යාපනයේ සමාරම්භක වර්ෂයේ සිටින දරුවන් ඇතුළුව පළමු වසරවල දී අවශ්‍ය අමතර උපකාර සඳහා ඩොලර් මිලියන දහඅටක් ආයෝජනය කරන බව බ්‍රිතාන්‍ය රජය පවසයි.
කොවිඩ්-19 වසංගතය සමඟ පොරබැදීම සඳහා ක්‍රියාත්මක කරන ලද විධිවිධාන හේතුවෙන් දරුවන්ගේ සමාජමය මුසුවීම ඔවුන්ට අහිමි වූ අතර, එම දරුවන් විසින් එකතු කරගනු ලබන වචන ප්‍රමාණය වැඩිකර ගනු ලැබීමත් ඒ සමඟ ඔවුන්ට අහිමි වූ බව ඉහත කී පර්යේෂණය කළ එංගලන්ත අධ්‍යාපන පහසුකම් සැපයීම පිළිබඳ අරමුදල (EEF)සඳහන් කරයි.
මුත්තනුවන් සහ මිත්තනියන් (grandparents) සමඟ සබඳතා අඩුවීම හෝ එම සබඳතා සහමුලින්ම ඇනහිටීම, සමාජ දුරස්ථභාවය, ක්‍රීඩා අවස්ථා අහිමිවීම සහ ප්‍රසිද්ධ ස්ථානවල මුඛආවරණ පැළඳ සිටීමට සිදුවීම ආදිය නිසා දරුවන් සංවාදයෙන් ඈත්වූ අතර එය ඔවුන් විසින් දිනපතා උකහාගනු ලබන අත්දැකීම් සම්භාරය අහිමිකරනු ලැබීමට හේතුවී ඇත.
ඉහත සඳහන් කරන ලද සමීක්ෂණයේ දී එංගලන්තයේ පාසල් 58ක් සහභාගී කරගනු ලැබ ඇත.
ඊට සහභාගී වූවන්ගෙන් 76%ක් කියාසිටියේ 2020 සැප්තැම්බර් මාසයේ ඇතුළත් කරගත් දරුවන්ට ඉන් පෙර වසරවල දරුවන්ට වඩා අදහස් හුවමාරු කරගැනීම සඳහා වැඩි ආධාරයක් අවශ්‍ය කළ බවය.
සිසුන්ගේ කථන සහ භාෂා සංවර්ධනය සම්බන්ධයෙන් කණස්සල්ල පළකරන ලද ප්‍රමාණය 96%කි.
ග්‍රීෂ්ම සහ වසන්ත කාලයෙහි 'ලොක්ඩවුන්' කරනු ලැබීමෙන් පසු සිය දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් දෙමව්පියන්ගෙන් 56%ක් දොම්නස් වූහ.
පාඩම් පටන්ගැනීම
වොල්සෝල් හි (Walsall) 'රයිඩර් හේස්' පාසලේ ළමුන් ඇතුළත් කිරීමේ වසරට අයත් 'නියාම්' (Niamh) වචන භාවිතය සම්බන්ධයෙන් සිය විශ්වාසය සෙමෙන් ගොඩනගා ගනිමින් සිටින කුඩා දැරියකි.
වෙනත් දරු දැරියන්ට මෙන් නියාම්ට ද පෙරටයාම අතින් වසංගතය නිසා සීමාවන්ට මුහුණදීමට සිදුවූවාය. ඇයගේ සමීපතම පවුලේ සබඳතා පවා හැකුළුනි. එම තත්ත්වය දැරියගේ පාසල් ගමන පමාවීම ඇයගේ මව වන ලීසාගේ බලවත් සංවේගයට හේතුවක් විය.
''මගේ දුව කණ්‌ඩායමේ බාලම දරුවන්ගෙන් කෙනෙක්.අනිත් ළමුන්ට ළදරු පාසල් හෝ පෙරපාසල් අත්දැකීම් තිබුණ නිසා මම මගේ දරුවා ගැන කණස්සලු වුනා'' ලීසා සඳහන් කළාය.
''අපි අපට පුළුවන් විධියට දරුවා සූදානම් කිරීමට උත්සාහ කළා. නමුත් දුව පන්තියේ කිසිම ළමයෙක් හඳුනන්නේ නැහැ. ඒ ගැන අපි ටිකක් දුක්වුණා''
''ග්‍රීෂ්ම කාලය පුරා රට ''ලොක්ඩවුන්' කරල තිබුණ නිසා දුවට ඇයගේ මිතුරු මිතුරියන් සමඟ සෙල්ලම් කිරීමට යාමට නොහැකි වුණා. ඉතින් අලුත් ළමුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් යුක්ත පන්ති කාමරයකදී ඇය කොයි විධියට ප්‍රතිචාර දක්වාවිද කියන කාරණය අපට ප්‍රශ්නයක් වුණා.''
මිතුරු සමාජයක් හදාගැනීම
'රයිඩර් හේස්' පාසලේ කුඩා සිසුවකුගේ මව වන 'එමා'(Emma) ඉහත කී සමීක්ෂණයට සහභාගීවෙමින් සඳහන් කළේ ''පාසල ආරම්භයේ දී සියපුතු 'හැරී' කෙසේ ඔහුගේ උවමනාවන් වචනයෙන් ඉදිරිපත් කරනු ලැබීමට සමත්වේදැයි ඇය කණගාටුවෙන් පසු වූ'' බවය.
''පුතා මිතුරන් ඇතිකර ගැනීමට අසමත්වේදැයි මම දුක් වුණා. යම්කිසි හේතුවක් නිසා පුතා දොම්නස්වුනොත් ඔහු කරන්නේ කොනකට ගිහින් වාඩිවී සිටීම. උදව්වක් ඉල්ලා සිටීමට නොහැකිවීම සහ වරද කුමක්ද යන්න පැවසීමට ඔහු අසමත්වීම මට දුකක්''
එමාගේ කණස්සල්ල එසේ වුවද, හැරී පාසලේ දී 'නෆීල්ඩ් භාෂා ප්‍රගුණ කිරීමේ (Nuffield Early Language Intervention) වැඩසටහනට සහභාගී කරනු ලැබීම මගින් මාස තුනක් ඇතුළත ප්‍රගතියක් පෙන්නුම් කළේය.
''එමගින් විශාල වෙනසක් පෙන්නුම් කළා'' එමා පවසන්නීය.
''හැරී කතාකරන්න පටන්ගත්තා.පුංචි 'චැටර් බොක්ස්' එකක් වගේ. දිගින් දිගටම ප්‍රශ්න අහනවා.කොණ්ඩේ වැවෙන්නේ කොහොමද වගේ ප්‍රශ්න. අදහස් හුවමාරුව දියුණුවෙමින් තියෙනවා''
නිවරැදි විසඳුම
රයිඩර් හේස් පාසලේ විදුහල්පතිවරිය වන සැලී මයිනර් (Saly Miner) අදහස් දක්වමින් කියාසිටියේ කුඩා දරුවන් සමඟ අදහස් හුවමාරු ගැටලු බෙහෙවින් අවම කෙරෙමින් පවතින බවය. විශේෂයෙන්ම ළමුන් ඔවුන්ගේ අදහස් ප්‍රකාශනයට අසමත් වේනම්, ඔවුන් සමවයසේ ළමුන් සමඟ මුසුකරමින් ඔවුනොවුන් තේරුම්ගැනීමට අවස්ථාව සලසන බවත් විදුහල්පතිවරිය සඳහන් කළාය.
''එය තමයි-ප්‍රශ්නය විසඳන සැබෑ යතුර. එය දරුවකුගේ ස්වයං-අභිමානය සහ විශ්වසනීයත්වයයි'' විදුහල්පතිවරිය පවසයි.
එංගලන්තයේ අධ්‍යාපන පහසුකම් සැපයීම පිළිබඳ අරමුදලේ (EEF) ප්‍රධාන විධායක නිලධාරිනී බෙකී ෆ්‍රාන්සිස් අදහස් දක්වමින් ''කොරෝනා වසංගතයේ බලපෑමෙන් අනතුරුව කුඩා දරුවන්ගේ කථන සහ භාෂා කුසලතා සම්බන්ධයෙන් පාසල්වලින් විශාල මැසිවිලි පළවූ බව සඳහන් කළාය.
''සමීක්ෂණ දත්ත තොරතුරු අනුව මෙන්ම අපගේ වෙනත් ජාල හරහාත් අපට නිවැරදිව දකින්න පුළුවන්''
ප්‍රාථමික පාසල්වල ප්‍රමිතීන් තක්සේරු කරනු ලබන 'ස්පීච් ලින්ක්' (Speech Link) සමාගමේ දත්ත තුළත් EEP සමීක්ෂණයේ සොයාගැනීම් පිළිබිඹු වෙයි.
පසුගිය සැප්තැම්බර් මාසයේ අධ්‍යාපනය ආරම්භකළ වයස අවුරුදු පහේ ළමුන් පනස් දහසක් අතරින් 20%-25% අතර සංඛ්‍යාවක් ඊට පෙර වසරවල ළමුන්ට සාපේක්ෂව භාෂා උපකාරය අවශ්‍ය කළ බව 'ස්පීච් ලින්ක්' (Speech Link) සමාගම පවසයි.
පෙර පාසල් දරුවන්ට ද වසංගතය බලපා ඇති ආකාරය සැලකිල්ලට ගැනෙමින් ඇත.
''ඉදිරිය තීරණාත්මකයි''
''බොහෝ පවුල්වලට මුහුණට මුහුණ ලා සිදුකෙරෙන හමුවීම් සහ තක්සේරු කිරීමේ අවස්ථා මගහැරුණ'' බව එංගලන්ත සෞඛ්‍ය විද්‍යායතනයේ (Institute of Health) විධායක අධ්‍යක්ෂ ඇලිසන් මෝර්ටන් (Alison Morton) පවසයි.
''හඳුනා නොගත් දුෂ්කරතා සහිත දරුවන් සිටින බව අපි හඳුනාගෙන තියෙනව" ඇලිසන් මෝර්ටන් පැවසුවාය
කියවන්න;