බ්‍රිතාන්‍ය සමාජයේ හතරදෙනකුගෙන් එක් තැනැත්තෙක් රජපවුල ප්‍රතික්‍ෂේප කරන්නේ කුමක් නිසාද?

    • Author, හැරියට් ඔරෙල්
    • Role, BBC ලෝක සේවය

ෆිලිප් කුමරාගේ අභාවය වාර්තාවීමත් සමඟ බ්‍රිතාන්‍ය රජ පවුලට සහයෝගය දක්වන අතරවාරයේ මියගිය කුමරාට උපහාරය පළකෙරෙමින් ලෝකය පුරා විවිධ රටවලින් පණිවුඩ ගලාඑමින් තිබුණි.

සිය පවුලේ සාමාජිකයාගේ අභාවය නිසා ශෝකවෙමින් සිටින රජ පවුල සම්බන්ධයෙන් බොහෝදෙනෙකුගේ අනුකම්පාව පළවෙමින් ඇතත් එක්සත් රාජධානියේ සෑම කෙනෙක්ම ආයතනයක් මට්ටමින් බ්‍රිතාන්‍ය රජ පවුලට අනුග්‍රහය දක්වන්නේ නැත.

මහජනයා අතරට ගොස් විමසුමක් කරනවිට බොහෝදෙනා පවසන්නේ රාජකීය පවුලක සංකේතවාදය සහ සම්ප්‍රදායයන්ට වටිනාකමක් ඇතැයි තමන් තවමත් සිතන අතර එය අහිමිව යාම කණගාටුවට හේතුවක් වන බවය. එහෙත් පවතින ක්‍රමයේ වෙනසක් ඇතිකරමින් මහජන ඡන්දයෙන් රාජ්‍ය නායකයා තෝරා පත්කරගනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සම්බන්ධයෙන් ද සැලකිය යුතු ප්‍රමාණයක මහජන මතයක් එක්සත් රාජධානියේ පවතී.

එක්සත් රාජධානියේ මැතිවරණ මත විමසුම් සිදුකරනු ලබන 'YouGov' ආයතනය විසින් පසුගිය මාසයේ පවත්වන ලද මහජන මත විමසුමක් අනුව බ්‍රිතාන්‍ය ජනයාගෙන් 63%ක් රාජ්‍යත්වය අනාගතයේ දිගටම පැවතිය යුතු යයි සඳහන් කළහ.

මේ අතරවාරයේ සෑම හතරදෙනකුගෙන් එක තැනැත්තෙක් කියා සිටින්නේ රාජ්‍ය නායකයා මහජන ඡන්දයෙන් තෝරා පත්කරගත යුතු බවය. දහදෙනෙකුගෙන් එක් තැනැත්තෙකුට ඒ සම්බන්ධයෙන් තවමත් මතයක් නැත.

ක්‍රිස්තු වර්ෂ 1600 අවධියේ ඉංග්‍රීසි සිවිල් යුද්ධය පැවති වසර පහක කෙටි කාල පරිච්ඡේදය හැරුණු විට දැනට 94 හැවිරිදි දෙවෙනි එලිසබත් රැජින විසින් නායකත්වය සපයනු ලබන බ්‍රිතාන්‍ය රාජ්‍යත්වය විසින් එංගලන්තය දිගටම පාලනය කරනු ලැබ ඇත.

පාර්ලිමේන්තුවේ සැසිවාර කැඳවීම සහ වාරාවසාන කිරීම,පනත් කෙටුම්පත්වලට අත්සන් තබමින් නීතිගත කිරීම සහ අගමැතිවරයකු පත්කරනු ලැබීම ඇතුළු බලතල ගණනාවක් බ්‍රිතාන්‍ය රාජ්‍යත්වය සතුවුවද, කාලයත් සමඟ ඊට අයත්ව තිබූ බොහෝ බලතල මේවනවිට අහිමි කරනු ලැබ ඇත.

දෙවෙනි එලිසබත් රැජින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ යටත්විජිත විජිත ලෙස පැවති රටවල් 54ක් ඇතුළත් පොදුරාජ්‍ය මණ්ඩලයේ නායිකාව ද වන්නීය.

''පෞද්ගලිකව ගත්තොත් මම හිතන්නේ අපට රජ පදවියක් අවශ්‍ය ආයතනයක් නොවන බවයි. රජ පවුල පවත්වා ගනු ලැබීමේ අරමුණ කුමක්ද කියල මට පැහැදිලි නැහැ. එය එදාට වඩා සහමුලින්ම වෙනස් කාලයක පවත්වාගෙන යන යටත්විජිතවාදී නෂ්ටාවශේෂයක්'' ඩාර්බි (Derby) හි ජීවත්වන වෘත්තියෙන් සරසවි පරිපාලන නිලධාරිනියක වන කර්ස්ටන් ජොන්සන් (Kirsten Johnson) පවසයි.

''එලිසබත් රැජින රාජ්‍යත්වයට පත්වූ කාලවකවානුව ගත්තොත් එය දෙවෙනි ලෝක මහා සංග්‍රාමය අවසන්වෙලා ලොකු කාලයක් නොවෙයි. එදා පොදුරාජ්‍ය මණ්ඩලය තුළ තිබුණේ වෙනස් තත්ත්වයක්. අදට වඩා එදා අධිරාජ්‍යය විශාල වශයෙන් වෙනස්''

''අපි දැන් අපේ ඡන්දයෙන් බලධාරීන් තෝරා පත්කර ගන්නවා. ඉතින් ඇත්තෙන්ම රජ පදවියක උවමනාවක් මට පෙනෙන්නේ නැහැ'' ඇය සඳහන් කළාය.

''න්‍යාය ධර්මයක මට්ටමින් රැජින සියල්ලට අත්සන් තැබිය යුතුව තියෙනවා. නමුත් මූලික වශයෙන් ගත්තොත් ඇය නමට නායිකාවක් පමණයි. නමුත් එම ආයතනය නඩත්තුවට විශාල වැයක් දරන්න සිදුවෙනවා''

රජ මාළිගය විසින් නිකුත්කරන ලද සංඛ්‍යාලේඛන අනුව රාජකීය පවුල නඩත්තුව සඳහා 2020 වසර ඇතුළත බ්‍රිතාන්‍ය බදුගෙවන්නන්ගේ මුදලින් ස්ටර්ලිං පවුම් දශලක්ෂ 69.4ක් වැයකරනු ලැබ ඇත. එය මෙතෙක් වාර්තා වී ඇති ඉහළම වැය ශීර්ෂයයි.

එම මුදල් බ්‍රිතාන්‍යයේ හඳුන්වනු ලබන්නේ ''රාජකීය ප්‍රදානය'' යන යෙදුම මගිනි. එය උත්කෘෂ්ට ප්‍රදානයකි (Sovereign Grant). එම මුදල් සම්භාරය මගින් සිදුකෙරෙන්නේ රැජිනගේ කාර්යභාරයන් ඉටුකිරීම, ඇයගේ මාළිගා නඩත්තුව රාජකීය සංචාර ආදිය සඳහා අවශ්‍ය වැයකිරීම් සිදුකරනු ලැබීමය. නිදසුනක් වශයෙන් රැජිනගේ නිල නිවහන වන බකිංහම් මාළිගය මෑතදී ප්‍රතිසංස්කරණය කෙරුණු අතර හැරී කුමරා සහ මේගන් ආර්යාව කලින් වාසය කළ 'ෆ්‍රොග්මෝර් මන්දිරය'ද (Frogmore Cottage) එවැනි අලුත්වැඩියා කිරීමකට ලක්කරනු ලැබුණි.

''බදුගෙවන ජනයාගේ මුදල් රජ පවුලේ දුරස්ථ නෑදෑයන් සඳහාත් යොදවනවා.එය සිදුකරනු ලබන්නේ ඔවුන් විසින් දරනු ලබන රාජකීය තානාන්තර අනුව යම්කිසි වගකීමක් පැවරී ඇති අතරම ඔවුන්ට රැකවරණ සැලසිය යුතුව ඇති හෙයිනුයි. එහෙත් ඔවුන් විසින් ඇත්තෙන්ම රට වෙනුවෙන් සිදුකරනු ලබන්නේ කවර මෙහෙයක්ද? මම කියන්නේ නැහැ ඔවුන් කිසිම දෙයක් කරන්නේ නැහැයි කියල. නමුත් ඔවුන් විසින් ඉටුකරනු ලබන සුවිශේෂී කාර්යභාරය කුමක්ද?'' කර්ස්ටන් ප්‍රශ්න කරන්නීය.

''එලිසබත් රැජින ඉතා දීර්ඝ කාලයක් රජකම් කරනවා. ඇය එය ගෞරවාන්විත මට්ටමින් සිදුකරමින් සිටිනවා. නමුත් සංචාරක කර්මාන්තය අතින් ඇති වැදගත්කමට වැඩි වටිනාකමක් මම රාජ්‍යත්වය තුළ දකින්නේ නැහැ, රජපවුලක් නැතත් මහජනයාට බකිංහැම් මාලිගය නරඹන්න පුළුවන් ''

රැජින සහ රජපවුලේ සමීපතම සාමාජිකයන් සැලකෙන්නේ ''වැඩකරන රාජකීයයන්'' ලෙසිනි.ඔවුහු එක වසරකට එක්සත් රාජධානිය තුළ සහ විදේශයන්හි විශේෂ කාර්යභාරයන් දෙදහසකට පමණ සහභාගී වෙති. එම කාර්යභාරයන්හි අරමුණ මහජන සහභාගිත්වය මගින් ජාතික ඒකීයභාවය ශක්තිමත් කරනු ලැබීම සහ ශුභසාධන සේවාවන් නංවාලීම යයි සැලකෙයි.

''මගේ දැක්ම අනුව රජ පවුල කියන්නේ උපතින්ම ලද වෙනස්කළ නොහැකි කාර්යභාරයක් උරුම කරගත් වරප්‍රසාදලාභී සිවිල් සේවකයන් පිරිසක්'' සැමී නයිට් (Sammy Knight) පවසයි.

කැනඩාවේ උපත ලද සැමී දැන් බ්‍රිතාන්‍ය පුරවැසියෙකි. රජපවුලට එක්සත් රාජධානියේ හෝ පොදුරාජ්‍ය මණ්ඩලය තුළ අනාගත පැවැත්මක් නැත යන්න සැමීගේ විශ්වාසයයි.

''මගේ දැක්ම අනුව රාජ්‍යත්වය වත්මන් රැජිනත් එක්කම ආයතනයක් විධියට අභාවයට පත්වෙනවා'' සැමී පවසන්නීය.

''මම කිරීටය (crown) ලොකුවට සලකන කෙනෙක් නොවෙයි. නමුත් පෞද්ගලික මට්ටමින් ගත්තම රැජින අසාමාන්‍ය කාන්තාවක්. ෆිලිප් කුමරා දිවියෙන් සමුගැනීම මට කනගාටුවක්. මොකද, එම මරණයත් සමඟ රැජින පත්වූ තත්ත්වය නිසා''

''මම රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයා විසින් ඉටුකරන ලද කාර්යභාරය අගය කරනවා. ඔවුන් ගතකළේ අතිවිශේෂ ජීවන රටාවක්. ඔවුන් දෙදෙනා තමන්ගේ වයසත් නොතකා ඇදහිය නොහැකි මට්ටමින් මහජන සේවය සඳහා කැපවුණා''

''නමුත් දැන් තරුණවියේ පසුවෙන රාජකීයයන්ට මම මනාප නැහැ.මම හිතනවා - බ්‍රිතාන්‍යයට මහජන ඡන්දයෙන් ඔවුන්ගේ රාජ්‍ය නායකයා තෝරා පත්කර ගැනීමට දැන් කාලය ඇවිත් කියල''

බ්‍රිතාන්‍යයේ ඡන්දදායක ලැයිස්තු අනුව වර්ගීකරණයක නිරතවෙන විට පරම්පරා අනුව විශාල සමාජ බෙදීමක් දක්නට ලැබෙයි. වයස අවුරුදු 18 සහ 24 අතර පරම්පරාවේ පසුවෙන්නන් ගත්විට බ්‍රිතාන්‍යයට රාජ්‍යත්වයක් අවශ්‍යයයි සිතන ප්‍රමාණය අල්පය. එහෙත් ඒ අතරම වයස අවුරුදු 65ට වැඩි ප්‍රජාව සහමුළින්ම මෙන් රජපවුලට සහයෝගය දක්වයි. .

මහා බ්‍රිතාන්‍යය පුරා විවිධ පළාත්වල ඡන්ද ප්‍රතිපල විමසනවිට ද අසමතුලිතභාවයක් දක්නට ලැබෙයි. ප්‍රාදේශීය මට්ටමින් ගත්විට එක්සත් රාජධානියේ කුඩාම ජනගහනය නියෝජනය කරන ස්කොට්ලන්තවාසීන්ගෙන් අඩකට ආසන්න පිරිසකගේ ආකල්පය රාජ්‍යත්වයේ අනාගත පැවැත්මට අනුග්‍රහය පළකෙරෙන්නකි.

''ස්කොට්ලන්ත ජාතිකයකු හැටියට මට රාජාණ්ඩුව අපෙන් දුරස්ථ වූ හෝ පිටස්තර සංස්ථාවක් කියල දැනෙන්නේ නැහැ'' මැතිව් බර්ටන්(Mathew Burton) පවසයි. මැතිව් ස්කොට්ලන්තයේ නැගෙනහිර වෙරළේ පිහිටි 'කිර්කල්ඩි' (Kirkaldy) නගරයේ නේවාසික ළමා මධ්‍යස්ථානයක සාත්තු සේවකයෙකි.

''බ්‍රිතාන්‍ය රජ පවුල ස්කොට්ලන්තයේ ස්ථානයන්හි අයිතිය ඔවුන් නමට තබා ගන්නවා. ඔවුන්ගේ පෞද්ගලික වතුයායවල නිවාඩු ගතකරනවා. නමුත් ඒ වෙනුවෙන් ඔවුන්ගෙන් යමක් නොලැබෙන හැඟීමකුයි පවතින්නේ. රජ පවුල තේරුමක් නැති සාම්ප්‍රදායික බ්‍රිතාන්‍ය ආයතනයක්. ඔවුන්ට මිසක් සෙසු ජනයාට පලක් නැති සංස්ථාවක්''

''ඇත්තෙන්ම මම ජ්‍යෙෂ්ඨ රාජකීයයන් විසින් අඛණ්ඩව ඉටු කරනු ලබන කාර්යභාරය සහ එම සම්ප්‍රදාය අගය කරන්නෙක්. නමුත් රජ පවුලේ කණිෂ්ඨ සාමාජිකයන් විසින් ඕනෑවට වඩා වරප්‍රසාද භුක්ති විඳිනවා'' ස්ටීවන් ඇලිසන් පෙන්වා දෙයි.

''අපට රැජින සහ වේල්ස් කුමාරයා අවශ්‍යයි. ඒවගේම විලියම් කුමාරයා සහ ඔහු පුත් ජෝර්ජ් කුමාරයාත් අවශ්‍යයි. ඔවුන් සියලු දෙනා කෙළින්ම රජපදවියට උරුමය සහිත පුද්ගලයන්. නමුත් ඊට අමතරව දුසිම් ගණනක් කුමාරවරුන් සහ කුමාරිකාවන් අපට අවශ්‍ය කරන්නේ නැහැ''

''ඉතින් ඒ අනුව මම හිතනවා සීමිත රජ පවුලකට මම මනාපයි. ඔක්කෝටම නොවෙයි''

බ්‍රිතාන්‍ය රාජ්‍යත්වය සහ එම ආයතනය පිළිබඳ මහජන අභිමතය කුමක්ද යන්න මෑත වසරවල බෙහෙවින් විවාදයට ගැනෙමින් පැවති මාතෘකාවකි.

කෙසේවුවද, බ්‍රිතාන්‍ය රජපවුල පවත්වා ගැනීමේ සම්ප්‍රදාය අහෝසිකරනු ලැබීමට අවශ්‍යකරන ජනසංඛ්‍යාව කුඩා සුළුතරයක් බවට පත්ව ඇත.

රජ පවුල ගැන තවත් තොරතුරු ;