ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අම්මාගේ දේහය පිටුපස ගමන් ගැනීම අද සතුටක් -හැරී කුමරු
සිය මව වූ ඩයනා කුමරියගේ දේහය රැගත් අවමඟුල් පෙරහැර පෙරට යද්දී එම දේහය පිටුපසින් ගමන් කිරීමට අවස්ථාවක් ලැබීම "සතුටක්" බව හැරී කුමරු පවසයි.
මෙයින් පෙර ITV බ්‍රිතාන්‍ය රූපවාහිනිය සමඟ පැවැත්වූ ලොවපුරා අවධානය යොමු වූ සාකච්ඡාවේ දී අදහස් දැක්වූ හැරී කුමරු "එය ළමයකු විසින් මුහුණ නොදිය යුතු" අවස්ථාවක් යයි කියා තිබුණි.
එම ITV සාකච්ඡාවෙන් පසුව ප්‍රකාශයක් කළ ඩයනා කුමරියගේ සහෝදර අර්ල් ස්පෙන්සර් ආදිපාදවරයා " අවමඟුල් පෙරහරේ ගමන් කිරීමට අවස්ථාව දෙන මෙන් විලියම් සහ හැරී කුමාරවරුන් ඉල්ලා සිටින බව පවසමින් නිලධාරීන් විසින් තමා නොමඟ යවන ලදැයි" කියා සිටියේය.
එහෙත් බීබීසිය සමඟ පැවැත්වූ අලුත්ම සාකච්ඡාවේදී අදහස් දක්වන හැරී කුමරු "එම අවමඟුල් පෙරහැරේ ගමන් ගැනීම හරිද? වැරදිද? කියල මට තෝරා ගැනීමක් තිබුණේ නැහැ. නමුත් ආපසු හැරිලා බැලුවම,එදා එම අවස්ථාවට සහභාගී වීමට ලැබීම මට සතුටක්" යයි සඳහන් කළේය.
ඩයනා කුමරිය අහිමිව වසර විස්සක් පිරෙන මේ සතියේ "ඩයනා,දින හතක්"( Diana, 7 Days ) නම් එම විශේෂ රූපවාහිනී වැඩ සටහන ලබන ඉරිදා (අගෝස්තු 27) බීබීසිය මගින් විකාශනය වීමට නියමිතය.
ඩයනා කුමරිය පැරිස් නගරයේ සිදු වූ රිය අනතුරින් ලොවෙන් සමු ගත්තේ 1997 අගෝස්තු 31 වෙනි දිනයි.
ඇය මියයන විට වයස අවුරුදු 36 ක් විය.
"ඩයනා,දින හතක්"( Diana, 7 Days ) බීබීසී රූපවාහිනී සාකච්ඡාවේ දී දීර්ඝ වශයෙන් කරුණු දක්වන හැරී කුමරු රිය අනතුරකින් සිය මව අහිමි වූ මොහොතේ තමා සහ තම සහෝදරයා වන විලියම් කුමරු රැක බලා ගත් ආකාරය සම්බන්ධයෙන් සිය පියා චාර්ල්ස් කුමරුන්ට උපහාරය පුදයි.
"දෙමව්පියන් දෙන්නාගෙන් එක් අයකුට මුහුණ දෙන්න සිදු වෙන දුෂ්කරම අවස්ථාව තමයි, ඔවුන්ගෙන් එක්කෙනෙක් නැති වූ බව දරුවන්ට දැනුම් දීම. ඒක කොහොම කරන්නද කියල මටනම් තේරෙන්නේ නැහැ. මගේ පියා ඒ මොහොතේ අපිත් එක්ක හිටිය" හැරී කුමරු පවසයි.
පැරිස් අගනුවර උමං මාවතක් ඔස්සේ ධාවනය වෙමින් තිබුණ සිය මව රැගත් මෝටර් රථය ලුහු බඳින ලද 'පැපරාසි' කැමරාකරුවන් රිය අනතුරින් පසු එහි පිටුපස අසුනේ මියැදෙමින් සිටි සිය මව රූපගත කරනු ලැබීම දරාගත නොහැකි දෙයක් බවත් හැරී කුමරු බීබීසී සාකච්ඡාවේ දී සඳහන් කළේය.
පැපරාසීන් කටයතු කළ ආකාරය හැරීගේ සොහොයුරු විලියම් කුමරා ද අනුමත නොකරයි.
"කැමාරාකාරයන් 'රංචුවක්' හැදිලා මගේ මව ලුහු බඳිමින් හිටිය. ඇය එමගින් බලවත් චිත්ත පීඩාවකට පත් වෙලයි සිටියේ. අම්මා ගේ හැම ඉරියව්වක් දෙස 'ඒ රංචුව' ඇහැ ගහගෙන හිටිය. ඒක 'රංචුවක්' .බලු රංචුවක් වගෙයි. ඇය පිටුපස ලුහු බැන්දා. ඇයට හිරිහැර කළා. නම් පට බැන්දා. ඇයට කෙල ගැහුවා" විලියම් කුමරු සිය මව සම්බන්ධයෙන් පැපරාසීන් ගේ හැසිරීම පිළිකුල් කරයි.
"ඩයනා,දින හතක්"( Diana, 7 Days ) රූපවාහිනී විශේෂාංගයට අදහස් දැක්වූ විලියම් කුමරු මවගේ දේශය පිටුපසින් ගමන් ගැනීමට සිදුවීම තමා මුහුණ දුන් දුෂ්කරම සිදුවීම හැටියට විග්‍රහ කළේය.
සිය මව අහිමි වෙන විට විලියම් කුමරු පහළොස් හැවිරිදි විය.
"මම බිම බලා ගෙන ගමන් ගත්තොත්, ඒ වගේම මගේ හිසකෙස් මුහුණට වැටුනම කාටවත් මාව දකින්න බැරි වේවි කියල මම හිතුව"විලියම් කුමරු පවසයි.
ඩයනා කුමරියගේ දේහය රැගත් අවමඟුල් පෙරහැර ලන්ඩන් නගරයේ වීදි ඔස්සේ ගමන් ගනිද්දී ඇයගේ හිටපු සැමියා චාර්ල්ස් කුමරු, විලියම් සහ හැරී පුත් කුමාරවරුන් ,ඇයගේ මයිලනුවන් වූ එඩින්බ්‍රාහි පිලිප් ආදිපාදවරයා සහ සොහොයුරු අර්ල් ස්පෙන්සර් එම දේහය පිටුපස ගමන් ගත්හ.
සිය මව අහිමිව වසර විස්සක් පිරීම නිමිත්තෙන් විකාශනය කෙරෙන වැඩ සටහන්වල දී හැරී සහ විලියම් සිය පියා,චාර්ල්ස් කුමරු පිළිබඳව වැඩිමනත් සඳහන් කර නැතත්, හැරී කුමරු මෙවර සිය පියාගේ භූමිකාව වෙනුවෙන් යුක්තිය ඉටු කරයි.
"අපේ පියා (චාර්ල්ස් කුමරු) අපිත් එක්කම හිටිය. අප වෙනුවෙන් ඔහුට කළ හැකි උපරිමය ඉටු කරන්න ඔහු උත්සාහ කළා"
"ඩයනා,දින හතක්" ( Diana, 7 Days)රූපවාහිනී විශේෂාංගයට ඩයනා කුමරියගේ සොහොයුරියක වන සාරා සහ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් ද එක්වෙති.
රාත්‍රියේ තමා නිදා සිටි සයනය අසලට පැමිණි පොලිස් භටයෙක් තමා අවදි කොට ඩයනා අහිමි වීමේ ලොවක් කම්පනය කළ ශෝකජනක පුවත තමාට දැනුම් දුන් ආකාරය හිටපු අගමැතිවරයා සිහිපත් කරයි.
"ලෝකයේ වැඩිම ජනාදරය සහිත කාන්තව මිය යාමේ පුවත මට දැන ගන්නට ලැබුණේ ඒ විධියටයි" හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් පවසයි.
" මම රැජිනට කතා කළා. ඇය පැහැදිලිවම ශෝකයට පත් වුනා. ඒ සමඟම ඩයනා අහිමි වීමෙන් ජනිත මහජන කනගාටුව අනතුරුව කෝපයක් බවට පෙරළී එය රාජ්‍යත්වයට එරෙහිව යොමු වනු ඇතැයි රැජින තේරුම් ගත්තා" ඔහු මතකය යළි කැඳවයි.
"රැජින රාජ්‍යත්වය පිළිබඳව කනස්සල්ලට පත්ව සිටියා. මොකද? මහජන මතය සහ එය වැඩ කරන ආකාරය පිළිබඳව ඇයට ඉතාම ප්‍රබල ඉවක් තියෙනව." හිටපු අගමැතිවරයා කියා සිටියේය.