මේගන් සහ හැරී: යුවළ සම්මුඛ සාකච්ඡාවේදී මතු කළ කරුණු 12ක්

ඔප්රා වින්ෆ්‍රී සමඟ සසෙක්ස් හි ආදිපාදවරිය සහ ආදිපාදවරයා කළ සම්මුඛ සාකච්ඡාව එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ විකාශය කර ඇත - මෙම යුවළ රාජකීය පවුලේ ජීවිතය පිළිබඳ කතාවේ තමන්ගේ පැත්ත එම සාකච්ඡාවේදී බෙදා හදා ගත්හ.

මෙම යුවළ වෙනත් රාජකීයයන් සමඟ ඔවුන්ගේ ඇති සබඳතා, වර්ගවාදය සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට බලපෑ ආකාරය ගැන කතා කළහ.

හැරී කුමරු සමඟ සම්බන්ධ වීමට පෙර සම්මුඛ සාකච්ඡාවේ බොහෝ වෙලාවක් ඔප්රා සමඟ කතා කළේ මේගන්ය.

1. 'මේගන්ගේ දරුවා කෙතරම් තද පැහැ විය හැකිද යන්න පිළිබඳ සාකච්ඡා'

සම්මුඛ සාකච්ඡාවෙන් මතුවූ විශාලම චෝදනාව නම් මේගන් සහ හැරීගේ දරුවා ගේ සමේ වර්ණය කෙතරම් තද පැහැ ගැන්විය විය හැකිද යන්න සම්බන්ධයෙන් රාජකීය පවුල තුළ "සංවාද කිහිපයක්" ඇති වූ බවය.

"මම ගර්භණීව සිටි එම මාසවලදී, බබා ඉපදුණු විට ඔහුගේ සම කෙතරම් තද පැහැ ගැන්විය හැකිද යන්න ගැන සැලකිලිමත්බව සහ සංවාද තිබුණා," මේගන් පැවසීය.

ඇය කියා සිටියේ මෙම සංවාද හැරී සමඟ ඇති වූ ඒවා වන අතර හැරී එය තමන්ට පැවසූ බවය. එහෙත් කුමන රාජකීය සාමාජිකයා එය කීවාදැයි පැවසීම ඇය සහ හැරී යන දෙදෙනාම ප්‍රතික්ෂේප කළහ.

"එම සංවාදය, මම කිසි විටෙකත් බෙදා ගැනීමට යන්නේ නැත," හැරී පැවසීය. "ඒ වෙලාවේ එය අවලක්ෂණයි, මම ටිකක් කම්පනයට පත්වුණා."

ප්‍රවෘත්ති සිරස්තල සහ ලිපිවල "යටත් විජිත බව දැනවෙන හීන් ස්වරයක්" පළවීම ගැන ඔහුගේ පවුලේ අය කිසි විටෙකත් කතා නොකිරීම ගැන තමාගේ හිත රිදුම් දුන් බව හැරී පැවසීය.

2. කේට් 'මේගන් ඬෙව්වා' - අනෙක් පැත්ත නොවේ

මීට වසර කිහිපයකට පෙර පුවත්පත්වල සංසරණය වූ එක් කතාවක් නම්, මංගල උත්සවය සඳහා මල් කුමරියන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් මේගන් සමග ඇතිවූ අරවුලක් කේම්බ්‍රිජ් ආදිපාදවරියගේ ඇසට කඳුළු ගෙනා බවය.

නමුත් මේගන් ඔප්රාට පැවසුවේ, සත්‍යය නම්, සිදුවූයේ එහි අනෙක් පැත්ත බවය.

"විවාහයට දින කිහිපයකට පෙර මල් කුමරියන්ගේ ඇඳුම් ගැන කේට් නොසතුටු වූ අතර එහින් මා හඬා වැටුණා" මේගන් පැවසීය. කේට් පසුව සමාව අයැද, වෙනසක් ඇති කිරීම සඳහා මල් සමග සටහනක් ගෙන ආ බව ඇය පැවසුවාය.

"මම කේට් ගැන එම කොටස බෙදා නොගන්නේ ඇය නිගාවට පත් නොකරන්නයි," මේගන් පැවසීය. කේට් "හොඳ කෙනෙක්" යැයි පැවසූ ඇය අසත්‍ය කථා නිවැරදි කිරීමට ඇයට අවශ්‍ය වනු ඇතැයි තමා බලාපොරොත්තු වූ බව කීවාය.

3. මේගන් කියා සිටියේ ඇය සියදිවි නසාගැනීමේ අද්දර සිටි නමුත් තමන්ට උදව් දීම ප්‍රතික්ෂේප කළ බවයි

රාජකීය පවුලට සම්බන්ධ වීමෙන් පසු ඇයට කෙතරම් තනිකමක් දැනුණාද යන්න සහ ඇගේ නිදහස අහිමි වීම ගැන මේගන් කතා කළේය. "මම එම පවුලට සම්බන්ධ වූ දා සිට අප මෙහි පැමිණෙන තෙක්, මගේ විදේශ ගමන් බලපත්‍රය, මගේ රියදුරු බලපත්‍රය, මගේ යතුරු, සියල්ල මගහැරී ගිය අයුරු මම දුටුවා."

සිය මානසික සෞඛ්‍යය කෙතරම් නරක අතට හැරුනේද යත් "තවදුරටත් ජීවතුන් අතර සිටීමට අවශ්‍ය වුණේ නැහැ" යනුවෙන් ඇය පැවසුවාය.

"මම ඔවුන් වෙත ගියා. මට උදව් ලබා ගැනීමට කොහේ හෝ යා යුතු බව මා කීවා. මට මීට පෙර කවදාවත් එවැන්නක් දැනී නැති බවත් කොහේ හෝ යා යුතු බවත් පැවසුවා. මට එය කළ නොහැකි බවත් එය ඔවුන්ට හොඳ දෙයක් නොවන බවත් මට පැවසුවා."

ඇය කියා සිටියේ "ජ්‍යෙෂ්ඨතම පුද්ගලයකු" වෙත ගිය අතර පසුව මාළිගාවේ මානව සම්පත් අංශයට ද ගිය බවය. "ඒත් කිසි විටෙකත් කිසිවක් සිදු වුණේ නැහැ," ඇය තවදුරටත් පැවසුවාය.

4. මේගන් ඩයනාගේ මිතුරෙකු අමතයි

සම්මුඛ සාකච්ඡාව පුරාම ඩයනා කුමරියගේ නම බොහෝ වාරයක් මතු විය - රාජකීය පවුල තුළ ඔවුන්ගේ අත්දැකීම් අතර සමානකම් මතු කෙරිණි.

"මම කා වෙත යා යුතුදැයි දැන සිටියේ නැහැ," මේගන් පැවසුවේ ඇය පොරබදමින් සිටි කාලය ගැන ය. "මම කතා කළේ දිගටම මිතුරෙකු හා විශ්වාසවන්තයෙකු ලෙස සැලකු අයගෙන් කෙනෙකු වන මගේ සැමියාගේ මවගේ හොඳම මිතුරෙකුටයි.

"මොකද ඇතුළේ ඇත්තටම මොන වගේද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන කාටද?"

5. චාල්ස් තමාව 'අතහැර දැමීයැයි' හැරී ට දැනෙයි

ඔප්රා, හැරීගෙන් ඔහුගේ පවුලේ අය, විශේෂයෙන් ඔහුගේ පියා වේල්ස්හි කුමරු සහ සහෝදරයා කේම්බ්‍රිජ් ආදිපාදවරයා සමඟ ඇති සබඳතා ගැන විමසීම් කළාය.

ජ්‍යෙෂ්ඨ රාජකීයකු ලෙස කටයුතු කිරීමෙන් ඉවත්වීමෙන් පසු එක් අවස්ථාවක චාල්ස් "මගේ ඇමතුම් වලට පිළිතුරු දීම නැවැත්වූවා" යැයි හැරී පැවසීය.

"මට ඇත්තටම මාව අතහැර දැමූ බවක් දැනෙන්නේ, ඒ මොකද කීවොත් ඔහුත් ඒ හා සමාන දෙයකට මුහුණ දී ඇති නිසයි. ඒ වේදනාව මොන වගේදැයි ඔහු දන්නවා. ආචී ඔහුගේ මුණුපුරා."

"නමුත් ඒ වගේම මම සැමවිටම ඔහුට ආදරය කරනවා. නමුත් ඒක ලොකු සිත් තැවුලක් . එය දැන් සිදුවී හමාරයි. මම සැමවිටම එම සම්බන්ධතාව සුව කිරීම තවදුරටත් මගේ ප්‍රමුඛතාවන්ගෙන් එකක් බවට පත් කරනවා."

විලියම් ගැන හැරී පැවසුවේ තමා ඔහුට ආදරය කරන බවත් ඔවුන් දෙදෙනා බොහෝ කරදරවලට මුහුණ දී ඇති බවත්ය. "නමුත් අපි ගියේ වෙනත් මාර්ගවල."

6. නමුත් යුවළ රැජින සමඟ ඇත්තේ හොඳසබඳතාවක්

හැරී පැවසුවේ තම මිත්තණිය සමඟ තමාට ඇත්තේ "ඉතා හොඳ" සම්බන්ධතාවක් වන අතර, වසර ගණනාවක් ඇය සමග කතා කළාට වඩා වැඩි වාර ගණනක් පසුගිය වසරේදී කතා කළ බවය. එම සාකච්ඡාවලට, ආචී සමඟ කළ වීඩියෝ ඇමතුම් ද ඇතුළත් වූ බව ඔහු කීය.

"ඇය මගේ කණ්ඩායමේ ප්‍රධානීයා එහෙම නේද? ඇය සැමවිටම එහෙමයි."

මේගන් රැජිනට ප්‍රශංසා කළ අතර, යුවළගේ විවාහ ගිවිසගැනීම සඳහා ඇය ලස්සන ආභරණ කිහිපයක් ලබා දුන් බවත්, එකට ගමන් කරන විට උණුසුම්ව සිටීම සඳහා ඇය සමඟ බ්ලැන්කට්ටුවක් බෙදා ගත් බවත් පැවසුවාය.

7. හැරීව 'මූල්‍යමය වශයෙන් කපා දමයි'

2020 පළමු කාර්තුවේදී හැරී පැවසුවේ ඔහුගේ පවුලේ අය "මාව මූල්‍යමය වශයෙන් මුළුමනින්ම කපා දමා" ඇති බවය.

ඔහු කියා සිටියේ තමා සහ මේගන් නෙට්ෆ්ලික්ස් (Netflix ) සහ ස්පොටිෆයි (Spotify) හි නාට්‍ය වලට හෝ පොඩ්කාස්ට් වැඩසටන් සදහා ගනුදෙනු ඇති කරගැනීම කිසි විටෙකත් සැලැස්මේ කොටසක් නොවන නමුත් "අපට අපගේ රැකවරණ සපයා ගත යුතු" බවය.

"නමුත් මගේ අම්මා මට ඉතිරි කර ගිය දේ තිබෙනවා. එසේ නොමැතිනම් අපට කිසිවක් කරගත හැකිවන්නේ නැහැ."

රජ පවුලෙන් ඉවත්කිරීමෙන් පසු ඇමරිකානු ප්‍රකෝටිපතියෙකු සහ මාධ්‍ය අධිපතියකු වන ටයිලර් පෙරී, කැනඩාවේ සිට දකුණු කැලිෆෝනියාවට ගිය හැරී සහ මේගන් හට නිවසක් සහ ආරක්ෂාව ලබා දුන් බව යුවළ හෙළි කළහ.

8. ඡායාරූපයක් පිටුපස ඇති සත්‍යය

තමාට සියදිවි නසා ගන්නට සිතෙනා බව හැරීට පැවසූ දවසේ එදිනම සවස් වරුවේ ඔවුන්ට රාජකීය ඇල්බට් ශාලාවේ පැවති නිල උත්සවයකට සහභාගී වීමට සිදු වූ බව මේගන් පැවසීය.

මේගන් මෙම ඡායාරුපය ගැන කතා කළේ එය ඇයට ඇගේ සිතේ හොල්මන් කළ දේ නැවත සිහි ගැන්වූ නිසාවෙනි.

යුවළ කෙතරම් ආකර්ශණීයද කියා මිතුරියක අදහස් දක්වා ඇති නමුත් ඇය මෙසේ පැවසුවාය: "එම පින්තූරය, ඔබ විශාල කළහොත්, මා දකින දෙය නම් කොතරම් තදින් ඔහු මා අල්ලාගෙන ඇත්ද යන්නයි. හැගීම්බරව මේගන් ඔප්රා හට කීවාය.

"අපි සිනාසෙමින් අපේ රාජකාරිය කරනවා. නමුත් අපි දෙදෙනාම එම අවස්ථාව දරාගන්නට දැඩි උත්සාහයක් ගත්තා. එම රාජකීය නැරඹුම් කුටියේ විදුලි පහන් නිවීයන සෑම අවස්ථාවකම මම හිටියේ වැලපෙමින්.

9. මේගන් රාජකීය පවුල පිළිබඳ 'කිසිදු පුර්ව පර්යේෂණයක් කළේ නැත'

තමා රැජිනව මුණගැසුණු පළමු අවස්ථාව ගැන කතා කරමින් මේගන් පැවසුවේ ඇයට ගෞරව සහිතව අචාරකළ යුතු බව දැනගත් විට තමා පුදුමයට පත් වූ බවය.

ඇය කියා සිටියේ එය "පිටස්තර පුද්ගලයන් අතර කෙරෙන කොටසක්" වන අතර එය රාජකීය පවුල තුළ සිදු නොවන බව ඇය සිතා සිටි බවකි.

රැජින සමඟ දිවා ආහාරය ගැනීමට පෙර සිටගෙන ගෞරව සහිත අචාර කිරීම පිළිබඳව ඇය විස්තර කළාය. "මම කිව්වා: 'මේ ඔයාගේ ආච්චි,' මේගන් පැවසීය. "ඔහු කිව්වා: 'මේ රැජින.'"

සම්බන්ධ වීමට පෙර තමන් පවුල පිළිබඳ කිසිදු අධ්‍යයනයක් නොකළ බව මේගන් තවදුරටත් පැවසුවාය.ඇය අවධාරණයෙන් කියා සිටියේ ඔවුන් දෙදෙනා පෙම් සබඳතාවක් පවත්වන අතරතුර ඇය කිසි විටෙකත් අන්තර්ජාලය හරහා ඔහු ගැන සොයා බැලුවේ වත් නැති බවය.

10. විවාහයට දින තුනකට පෙර පොරොන්දු හුවමාරු කරගැනීම

2018 දී වින්ඩ්සර් මාළිගාවේදී හැරී සහ මේගන් අතිනත ගන්නා ආකාරය මිලියන සංඛ්‍යාත ජනතාවක් බලා සිටියහ. එම උත්සවය ඔවුන් නීත්‍යානුකූලව විවාහ වූ අවස්ථාවකි - නමුත් මෙම යුවළ හෙළි කළේ දින තුනකට පෙර කැන්ටබරි අගරදගුරු ඉදිරියේ විවාහ පොරොන්දු ලබාදුන් බවය.

මේගන් පැවසුවේ: "අපි අගරදගුරු තුමාට කතා කළා, අපි කිව්වා, 'බලන්න, මේ දර්ශනය, මේ දර්ශනය ලෝකයටයි, නමුත් අපට අවශ්‍ය වන්නේ අප අතර අපගේ එකතුවිමයි... අපේ ගෙමිදුලේ සිටින අප දෙදෙනා පමණයි."

11. ආචීගේ ප්‍රියතම වාක්‍ය ඛණ්ඩය 'ඩ්‍රයිව් සේෆ්' ය

හැරී ආචී ගැන කීවේය, පාපැදි ධාවනය සඳහා ඔහු බැහැරට ගෙන යාමෙන් ලැබෙන ප්‍රීතිය පැවසීය. කුඩා දැරුවා සිය දෙමව්පියන් සමඟ වෙරළේ සෙල්ලම් කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනයක් ද සම්මුඛ සාකච්ඡාවට ඇතුළත් විය.

පසුගිය සති කිහිපය තුළ ආචී ගේ ප්‍රියතම වචනය "හයිඩ්‍රේට්" (සජල කිරීම) යැයි පවසමින් යුවළ විහිළු කළ අතර හැරී පැවසුවේ යමෙකු නිවසින් පිටවන සෑම අවස්ථාවකම ආචී ඔවුන්ට පවසන්නේ "ඩ්‍රයිව් සේෆ්" (ආරක්ෂිතව රිය පදවන්න) කියායි.

12. ආ ... ඒ කෙල්ලෙක්

ගිම්හානයේදී ගැහැණු ළමයෙකු අපේක්ෂා කරන බව යුවළ සනාථ කළහ.

"හරි අපූරුයි" යැයි පැවසූ හැරී "ඔබට තවත් ඉල්ලන්න පුළුවන් මොනවාද?" යැයි පැවසීය. නමුත් ඔහු පැවසුවේ ඔවුන් දෙවෙනි දරුවාගේ පැමිණිමෙන් පසු සෑහීමට පත්වන බවය.

සම්මුඛ සාකච්ඡාව අවසානයේදී ඔප්රා ඇසුවේ හැරී කුමරු සමඟ මේගන් සතුටුදායක අවසානයක් ලබා ඇත්ද යන්නයි. "ඔබ මෙතෙක් කියවා ඇති ඕනෑම සුරංගනා කතාවකට වඩා විශිෂ්ටයි" ඇය කීවාය.