ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
හැරී සහ මේගන් විප්ලවීය වෙනසක් සිදු කරමින් සිය රාජකීය බිලිඳාට නම් තබයි
සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය සිය බිලිඳු පුතුට ආර්චී හැරිසන් මවුන්ට්බැට්න්-වින්ඩ්සර් (Archie Harrison Mountbatten-Windsor) යනුවෙන් නම් තබා තිබේ.
ආර්චී යනු අලුත උපන් බිලිඳාගේ නම සම්බන්ධයෙන් ඔට්ටු තැබූ පුද්ගලයින් කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ නමකි. බිලිඳාට යෝජනා කෙරුණු නම් අතර බෙහෙවින් ජනප්‍රිය වී පැවතියේ, ඇලෙක්සැන්ඩර්, ආතර් සහ ඇල්බර්ට් යන නම්ය.
"මේ වගේ නමක් ගැන කිසිම කෙනෙකුගේ අවධානයක් යොමු කරලා තිබුණේ නැහැ," මැජෙස්ටි රාජකීය සඟරාවේ කළමනාකරණ සංස්කාරක ජෝ ලිට්ල් පවසයි.
නමෙහි අර්ථය
ආර්චී යන නම බ්‍රිතාන්‍ය රාජකීය පවුලට සම්බන්ධ නමක් නොවන අතර, හැරිසන් යන නාමය ද රාජකීය පවුලට අලුතින් එක් වන නාමයකි.
ආර්චී යන්නෙහි අර්ථය "නියම" හෝ "නිර්භීත" වන අතර, එය බ්‍රිතාන්‍යය තුළ ජනප්‍රිය නමකි. එය ආර්චිබෝල්ට් (Archibald) යන වචනයේ කෙටි යෙදුමකි.
2017 වසරේදී එම නම එංගලන්තයේ සහ වේල්සයේ වඩාත් ජනප්‍රිය නම් අතර 18 වන ස්ථානය හිමි කර ගත්තේය. එම වසරේදී උපත ලැබූ බිලිඳුන් 2803 දෙනෙකු සඳහා එම නම යොදා තිබිණි. ඊට අමතරව 2003 වසරේ සිට එම නම ජනප්‍රිය ම නම් 50 අතර පසු වෙයි.
ඇමෙරිකාවේ ආර්චී යන නමට වඩා හැරිසන් යන නම මඳක් ජනප්‍රියය. කෙසේ වෙතත් හැරිසන් යන නම එක්සත් රාජධානියේ අතිශයින් ජනප්‍රිය එකක් වන අතර 2017 වසරේදී එය 34 වන ස්ථානය හිමි කර ගත්තේය.
එහි මූලික අර්ථය ලෙස සඳහන් වී ඇත්තේ, 'හැරීගේ පුත්‍රයා' (son of Harry) යන්නය.
මේ තොරතුරුද දැනගන්න:
වෙනසක්
"ඔවුන්ට වුවමනා වෙලා තිබුණා පොඩි වෙනසක් කරන්න. ඔවුන් ඒක කරලා තියෙනවා," රාජකීය සඟරාවේ සංස්කාරක ජෝ ලිට්ල් පැවසීය.
සම්ප්‍රදාය අනුව බිලිඳාගේ මුත්තණුවන්ගේ නමක් (ෆිලිප් හෝ චාර්ල්ස්) මැද නම ලෙස භාවිත නොකර තිබීම පිළිබඳව ද ඇතැම් අදහස් පළ වී තිබේ.
"ඒක දෙමාපියන්ගේ කැමැත්ත," ජෝ ලිට්ල් පැවසීය.
සම්ප්‍රදාය අතික්‍රමණය කිරීම
සිය අලුත උපන් බිලිඳාට රාජකීය තනතුරු නාමයක් භාවිත නොකිරීමට ද හැරී සහ මේගන් තීරණය කර ඇත.
ආදිපාදවරයෙකුගේ පළමු පුත්‍රයා වන හෙයින් සාම්ප්‍රදායිකව ආර්චී බිලිඳා ඩම්බාර්ට්න්හි අර්ල්වරයා ලෙස හැඳින්විය යුතුය. එහෙත්, හැරී සහ මේගන්ගේ තීරණය අනුව ඔහු ආර්චී දරුවා (Master Archie) ලෙස හැඳින්වෙනු ඇත.
රාජකීය ප්‍රකාශක රිචර්ඩ් ෆිට්ස්විලියම්ස් පැවසුවේ, හැරී සහ මේගන් සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගොස් රාජකීය නම් තෝරා නොගැනීම "පුදුමසහගත" බවය. ඒ මගින් "රජ පවුලේ නව්‍යත්වයක්" සිදු වනු ඇතැයි ද ඔහු කීය.
"එය අනන්‍ය ආකාරයකට ක්‍රියා කරන අනන්‍ය යුවළකගේ අනන්‍ය තෝරා ගැනීමක්," ඔහු පැවසීය. "අපි කතා කරන්නේ සසෙක්ස් සන්නාමය ගැන. එයා ජාත්‍යන්තර සන්නාමයක්."