ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
මගුල් කපුකමට කෘත්‍රිම බුද්ධිය
ශීඝ්‍රයෙන් පහළ වැටෙමින් තිබෙන උපත් අනුපාතිකය ඉහළ දැමීම සඳහා ජපානයේ තරුණ තරුණියන්ට මඟුල් කපුකම් කිරීමට කෘත්‍රිම බුද්ධියේ සහාය ලබා දීමේ යෝජනා ක්‍රමයක් ජපන් රජය දියත් කර තිබේ.
ජපානයේ වැසියන්ට සිය ආදරය සොයා ගැනීම සඳහා කෘත්‍රිම බුද්ධියේ ආධාරය ලබා ගනිමින් වැඩසටහන් දියත් කරන පළාත් පාලන ආයතනවලට ලබන වසරේ පටන් සහනාධාර ලබා දීමට ජපන් රජය තීරණය කළේය.
ජපානයේ උපත ලබන දරුවන්ගේ ප්‍රමාණය පසුගිය වසරේ වාර්තා ගත මට්ටමකින් පහළ වැටී තිබුණි. නිල වාර්තා සඳහන් කළේ පසුගිය වසර තුළ ජපානයේ උපන් දරුවන්ගේ ගණන 865,000කට වඩා අඩු මට්ටමකින් තිබුණු බවය.
වයසින් වැඩි ජාතියකට වේගයෙන් උරුමකම් කියමින් සිටින ජපානය ලෝකයේ අඩුම උපත් අනුපාතිකයක් සහිත රටකි. එය යථා තත්වයට පත්කර ගැනීම සඳහා ජපානය විවිධ උපක්‍රම සොයා බලමින් සිටී.
ගැලපෙන තරුණ තරුණියන් සොයා ජෝඩු කිරීමට කෘත්‍රිම බුද්ධිය යොදා ගැනීම රට පුරා ව්‍යාප්ත කිරීම මෙහි අලුත්ම අත්හදා බැලීමයි.
AFP පුවත් සේවය වාර්තා කරන පරිදි, රටේ උපත් අනුපාතිකය වැඩි කිරීම සඳහා දිරි ගැන්වීමේ ව්‍යාපෘති දියත් කිරීම වෙනුවෙන් ලබන වසරේ ඩොලර් මිලියන 19ක් වෙනකොට එය පළාත් පාලන ආයතනවලට බෙදා දීමට ජපන් රජය පියවර ගෙන ඇත.
අයදුම් පත් සමඟ ලබා දෙන විස්තර සසඳා ගැලපෙන සහකරුවා හෝ සහකාරිය සොයා දීමට ජපානයේ බොහොමයක් ආයතන දැනට සේවයේ යොදවා ඇත්තේ මානව සම්පතයි. නමුත් අයදුම්පත්වල පවතින විස්තර කෘත්‍රිම බුද්ධිය (AI) සහිත පද්ධතියකට යොමු කිරීම තුළින් වඩා නිවැරදි ලෙස සුදුසු සහකාරිය හෝ සහකරුවා තෝරා ගැනීම සිදු කළ හැකි බව බලධාරීහු විශ්වාස කරති.
ඇතැම් පළාත් පාලන ආයතනවල දැනට පවතින තාක්ෂණික මෙවලම්, පුද්ගලයෙකුගේ වයස සහ ආදායම වැනි සරල මට්ටමේ තොරතුරු පමණක් ගැලපීමට සීමා වී ඇත. එවැනි යන්ත්‍ර භාවිතයෙන් කපු කමක් කිරීමේ දී ලැබෙන්නේ එම තොරතුරුවලට පමණක් සීමා වූ ප්‍රතිඵලයකි.
ඒ වෙනුවට ඉහළ තාක්ෂණයෙන් යුත් නව යන්ත්‍ර ලබා දීම ජපාන ආණ්ඩුවේ අරමුණ වී ඇති බව ජපන් මාධ්‍ය වාර්තා කර තිබුණි. කෘත්‍රිම බුද්ධි තාක්ෂනය සහිත එම යන්ත්‍රවලට අයදුම්කරුවන්ගේ විනෝදාංශ සහ සාරධර්ම වැනි බොහෝ තොරතුරු ඇතුළත් කළ හැකිවනු ඇත.
"අපි සැලසුම් කරන්නේ, මගුල් කපුකම් කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති දියත් කරන පළාත් ආයතන සඳහා මෙම අරමුදල් ලබා දීමටයි. මෙමගින් රටේ පහත වැටෙමින් තිබෙන උපත් අනුපාතිකය ආපසු හැරවීමට හැකිවෙයි කියල අපි හිතනවා." ජපානයේ කැබිනට් අමාත්‍යවරයෙකු AFP පුවත් සේවයට පැවසීය.
2017 දී මිලියන 128ක්ව පැවති ජපාන ජනගහනය මෙම ශතවර්ෂය අවසාන වන විට මිලියන 53කට වඩා අඩු මට්ටමකට පත් වනු ඇති බවට ප්‍රක්ෂේපනය කර තිබේ.
ජපානයේ ටෙම්පල් විශ්වවිද්‍යාලයේ (Temple University) මානව විද්‍යාඥ සචිකෝ හොරිගුචි පවසන්නේ රටේ දරුවන් බිහිවීම වැඩි කරගැනීමට කෘත්‍රිම බුද්ධිය වෙනුවෙන් මුදල් වැය කරනවාට වඩා ඵලදායී වන වෙනත් ක්‍රමවේද පවතින බවයි.
උදාහරණයක් ලෙස ඇය ගෙනහැර දක්වන්නේ අඩු ආදායම් ලාභී තරුණ තරුණියන්ට සහනාධාර ලබා දීමයි.
"ප්‍රේම කරන්න කැමැත්තක් නැත්නම්..."
මෑතක දී නිකුත් වූ සමීක්ෂණ වාර්තාවක් කෙරෙහි ඇය අවධානය යොමු කරමින් කතා කළාය. එම වාර්තාවේ සඳහන් වන්නේ අඩු ආදායම් ලාභී තරුණ තරුණියන් අතර ප්‍රේම සබඳතා සඳහා පවතින කැමැත්ත ගිලිහී යමින් පවතින බවය.
"ඔවුන් තුළ ප්‍රේම කරන්න කැමැත්තක් නැත්නම් මගුල් කපුකම් කිරීමෙන් පලක් වෙන්නේ නැහැ." ආචාර්ය හොරිගුචි පැවසුවාය.
"අපි තාක්ෂනය මත යැපෙන්න යනවනම්, ළමයි රැක බලා ගැනීම සහ ගෙදරදොරේ වැඩ කටයුතු කළ හැකි කෘත්‍රිම බුද්ධියක් සහිත රොබෝවරුන් සහන මිලට ලබා දීම මීට වැඩිය ඵලදායි වේවි."
ජපන් කාන්තාව
රැකියාවන් හි නියුතු ජපන් ජාතික මව්වරුන්ට සහයෝගයක් නොමැති වීම පිළිබඳව සමාජ විශ්ලේෂකයන් දීර්ඝ කාලයක් තිස්සේ පෙන්වා දී ඇත.
තමන් රැකියාවක් කරන අතරතුර පවා ගෙදර දොරේ වැඩකටයුතු සියල්ල සහ දරුවන් හදා වඩා ගැනීම ගැහැණිය ගේ දැතින් සිදුවිය යුතු බවට ජපන් සමාජ සංස්කෘතිය තුළ පවතින අපේක්ෂාව ශක්තිමත් ය.
ජපන් කාන්තාව පුර්ණ කාලින රැකියා සඳහා දිරිමත් කළ යුතු බව මෑතක දී එරට ආණ්ඩුව ප්‍රකාශ කර තිබුණි. නමුත් රැකියා ස්ථානවල පවතින ස්ත්‍රී පුරුෂ වැටුප් විෂමතාවය වැඩි වී තිබේ.
වසර 2019 දී ලෝක ආර්ථික සමුළුව නිකුත් කළ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ ලෝක දර්ශකයේ රටවල් 153ක් සහිත ලැයිස්තුවේ ජපානය සිටින්නේ 121වැනි ස්ථානයේ ය. එය ඊට පෙර වසරේ ජපානය සිටි ස්ථානයෙන් පියවර 11ක් පහළට වැටීමකි.