ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ඇය මගේ දුව නොව මිනිපිරියයි'- මිනිපිරියක් බිහිකළ ආත්තම්මා කියන කතාවක්
- Author, හෝලි හොන්දෙරිච්
- Role, BBC නිව්ස්, වොෂින්ටන්
ඇමෙරිකා එක්සත් ජනපදයේ 'නෙබ්‍රස්කා' (Nebraska) ප්‍රාන්තවාසී 61හැවිරිදි කාන්තාවක් දරුවකු ප්‍රසූත කිරීමේ දුර්ලභ පුවතක් ලෝකය පුරා පැතිරයමින් පවතී. එම මිත්තණිය මිනිපිරියක් මෙලොවට බිහිකරනු ලැබීමේ කාර්යයට දායක වී තිබෙන්නේ සිය පුතුගේ සහ ඔහුගේ ස්වාමිපුරුෂයාගේ දරුවා ගර්භාෂයේ තබා පෝෂණය කරන ලද මව (surrogate) හැටියටය.
සිසිල් එල්ඩ්ජ් (Cecile Eledge) නම් එම මිත්තණිය දැරියක් ප්‍රසූත කරන ලද්දේ සිය පුතු මැතිව් එල්ඩ්ජ් (Matthew Eledge) සහ ඔහුගේ සැමියා වන එලියට් ඩොඅටි (Elliot Dougherty) වෙනුවෙනි. පසුගිය සතියේ මෙලොව එලිය දුටු එම දැරිය උමා ලුවිස් (Uma Louise) යනුවෙන් නම් තබනු ලැබ ඇත.
තම පුතු සහ ඔහුගේ සැමියා ඔවුන්ට පවුල් දිවියක් ආරම්භ කිරීමට අවශ්‍ය බව ප්‍රකාශකිරීමෙන් පසු තමා ඔවුන් දෙදෙනාගේ දරුවාගේ මව වීමට තීරණය කළ බව එම 61 හැවිරිදි කාන්තාව පවසන්නීය.
අදාළ යෝජනාව ඉදිරිපත් වූ මුල් අවස්ථාවේ සිසිල් 59 වෙනි වියේ පසුවූ අතර ඒ මොහොතේ එය පැවතුනේ ඉටුකළ නොහැකි 'විහිළු අදහසක්' මට්ටමිනි.
"එය සැබැවින්ම, ඇයගේ පාර්ශ්වයේ අලංකාර හැඟීමක් ලෙසයි පෙනුනේ," එලියට් ඩොඅටි පවසයි.
"ඇය පුදුමාකාර පරහිතකාමී කාන්තාවක්."
සිසිල් සහ ඇයගේ සැමියා වාසයකරන ප්‍රදේශය අසල ජීවත්වන 'ඔමාහා' ප්‍රදේශයේ ජීවත්වෙන මැතිව් සහ එලියට් ඔවුන් සඳහා දරුවකු බිහිකර ගැනීමේ මගක් සඳහා කෘත්‍රිම දරු උපත් සඳහා සායනික කටයුතුවල නිරතවෙන වෛද්‍යවරයකුගේ උපදෙස් පතා ඇති අතර, එය සාක්‍ෂාත් කරගත හැකි අභිප්‍රායක් විය.
යෝජනාව ඉදිරිපත්වීමෙන් අනතුරුව සිසිල් එල්ඩ්ජ් සාකච්ඡාවන් සහ සායනික පරීක්ෂණ මාලාවකට සහභාගි කෙරුණ අතර, අවසානයේ දී සිය පුතුගේ දියණිය සඳහා සිය ගර්භාෂය උපයෝගීකර ගැනීමට යෝග්‍ය තත්වයක ඇය සිටින බව පෙනී ගොස් ඇත.
"මම ඉතාම යහපත් දැනුවත්භාවයක සිටිනවා," සිසිල් පවසයි.
"දරුවකු බිහිකිරීම සඳහා මට ඇති හැකියාව සම්බන්ධයෙන් කවරාකාරයකවත් සැකයක් තිබුනේ නැහැ."
සිසිල්ගේ ගර්භාෂයේ තැන්පත්කිරීම සඳහා කළලය සැකසීමට අවශ්‍ය පුරුෂ බීජ මැතිව්ගෙන් ලබාගෙන ඇති අතර ඩිම්බය පරිත්‍යාගකර තිබෙන්නේ එලියට්ගේ සහෝදරියයි.
දරුවන් පතන සමලිංගික ජෝඩු ඒ සඳහා ඇති අවසන් විසඳුම IVF දරුවකු වියහැකි බව සැලකිල්ලට ගන්නා අතරවාරයේ තමන් දෙදෙනාත් ස්වීය වූ ජෛවීය දරුවකු බිහිකර ගැනීමට ඇති එකම බලාපොරොත්තුව එය යයි වටහාගත් බව කොණ්ඩා මෝස්‌තර ශිල්පියකු වන එලියට් ඩොඅටි පවසයි.
"අපි නිතරම දැන සිටියා - අපි ජයගත යුතුව ඇති බව. අපි නිර්මාණශීලීව වෙනත් විධියකට සිතිය යුතු බව," පාසල් ගුරුවරයකු වන මැතිව් පවසයි.
'උමා' මිනිපිරිය බිහිකරනු ලැබීමට සිටියදී සිය ගර්භනී සමය අවුලකින් තොරව ගත වූ අතර, එම කාලය තුළ තමා කෙරෙන් පළවූ ශාරීරික ලක්ෂණ කලින් බිහිකරන ලද දරුවන් තුන්දෙනා සඳහා වූ ගර්භනී කාලයන්ට වඩා තරමක් පහසු මට්ටමක වූ බවත් සිසිල් එල්ඩ්ජ් පවසයි.
පිළියෙළ කරන ලද කළලය සිසිල්ගේ ගැබෙහි තැන්පත් කරනු ලැබීමෙන් පසු සිසිල් සහ මැතිව් නිවසේ දී ගැබ් පරීක්ෂණයක් (a home pregnancy test) සිදුකර ඇති අතර, සායනය සාර්ථක බව එමගින් පෙන්නුම්කරනු ලැබ ඇත.
"දරුවාගේ දෙමව්පියන් වන කොල්ලන් දෙන්නාට ඉවසිල්ලක් නැතිවුනා," සිසිල් පවසන්නේ සිනාසෙමිනි.
එම පරීක්ෂණයේ ප්‍රතිපල නිරීක්ෂණය කරද්දී සිසිල් දරුගැබ 'පිළිසිඳ නොගැනීමක' වර්ණ දැකීමෙන් දැඩි කම්පාවට පත්වුනත්, මැතිව් එය නිවැරැදිව නිරීක්ෂණය කරමින් ගැබ් ගැන්වීම සාර්ථකව ඇති බව පෙන්වා දී ඇත.
"ඇයට මොකුත් පෙනෙන්නේ නැහැ. නමුත් ඇය දරුවා බිහිකළා," මැතිව් සහ එලියට් පවසති.
"එය ඇත්තෙන්ම ප්‍රීතිමත් මොහොතක්," සිසිල් සඳහන් කළේ ඇයගේ දුර්වල ඇස් පෙනුම ගැන අසන්නට ලැබුන විහිළු කතා අතරයි.
සිය ගර්භනී සමය වැඩි වශයෙන් අපහසුතාවන්ගෙන් තොර වූ බව සියළු පාර්ශ්වයන් සහයෝගාත්මකව පෙරට ගිය බවත් සිසිල් එල්ඩ්ජ් සඳහන් කළාය.
එහෙත් ඒ අතරම, සිසිල්ගේ ගර්භනීභාවය අනාවරණය වීමත් සමඟ නෙබ්‍රස්කා හි සමරිසි පවුල්වලට එරෙහිව සිදුකෙරෙන වෙනස්කම් ද මතුවෙන්නට විය. 2015 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනලද ඓතිහාසික නඩු තීන්දුවක් අනුව, එම ප්‍රාන්තයේ සමරිසි විවාහය නීතිගත කරනු ලැබ ඇති නමුත්, ලිංගිකත්වය පාදක කරගනිමින් වෙනස්කම් සිදුකරනු ලැබීමට එරෙහිව ප්‍රාන්ත මට්ටමින් පනවන ලද නීතියක් නොමැත. සමරිසි පුරුෂ හෝ කාන්තා දෙමව්පියන් දරුවන් හදාවඩා ගැනීම සම්බන්ධයෙන් දශක ගණනාවක් බල පැවත්වුන නීතියක් 2017 තෙක්ම එම ප්‍රාන්තයේ ක්‍රියාත්මක විය.
තමාගේම දරුවකු ප්‍රසූත කළවිට අවශ්‍ය සෞඛ්‍ය වියදම් ලබාගත හැකි රක්ෂණයක් සිසිල්ට තිබුණ නමුත් මෙම දරුවා සඳහා එම අයිතිය ලබාගැනීමට දරන ලද ප්‍රයත්නය උත්සාහය අසාර්ථක වූ බව සිසිල් පවසන්නීය. නීතිය මගින් නියමකර ඇති පරිදි,දරුවා ප්‍රසූතකරන ලද තැනැත්තිය ලෙස උමාගේ උප්පැන්න සහතිකයේ සිසිල් ගේ නමට අමතරව මැතිව්ගේ නමත් ඇතුළත් කරනු ලැබ ඇත. එහෙත් එලියට්ගේ නම ඉන් බැහැරකරනු ලැබ ඇත.
"මෙය අපට එල්ල වී ඇති බාධක සම්බන්ධයෙන් ඉතා කුඩා නිදර්ශනයක්!," සිසිල් පෙන්වා දුන්නාය.
එලියට් සමඟ විවාහවීමට සැලසුම් කරන බව මැතිව් මෙයින් වසර හතරකට පෙර තමා රැකියාව කළ 'ස්කුට්' කතෝලික උසස් පාසලට (Skutt Catholic High School) දැනුම්දුන් විට ඔහු එම රැකියාවෙන් තමා දොට්ටදමන ලද අතර එය එවකට ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණි
මැතිව්ට සලකන ලද එකී ආකාරය ඔහු ජීවත්වූ සමාජය තුළ දැඩි විරෝධයට ලක්වූ අතර, ඔහු වෙනුවෙන් පෙරට පැමිණි දෙමව්පියන් සහ ඔහුගේ වත්මන් සහ පැරණි සිසුන් එම ක්‍රියාවට එරෙහිව අන්තර්ජාල පෙත්සමක් අත්සන් කරන්නට පටන් ගත්හ. එමගින් කියාසිටියේ මැතිව් මෙන්ම අනාගතයේත් පාසල තුළ එවැනි වෙනස්කම් සිදුකරනු ලැබීම නතරකළ යුතුව ඇති බවය.
එම පෙත්සමට 102,995 අත්සන් එකතුව තිබුණි.
එල්ඩ්ජ් පවුල සම්ප්‍රදායක් වශයෙන් අප්‍රසිද්ධියේ සිය කටයුතු පවත්වාගෙන යනු ලබන පවුලකි. එහෙත් මෙවර සිය පවුලට සම්බන්ධ මෙම කතාව ප්‍රසිද්ධියේ කියාපෑමට ඉදිරිපත් වුනේ, සමරිසි ප්‍රජාවට, ඔවුන්ගේ පවුල්වලට එරෙහිව සිදුකෙරෙන "වෛරී සහගත" ප්‍රතික්‍රියාවන්ට එරෙහිවීමක් හැටියට බව සිසිල් එල්ඩ්ජ් කියා සිටින්නීය. එමගින් ඇය සමාජයට දෙන පණිවුඩය "හැමවිටම බලාපොරොත්තුවක් ඇත" යන්නය.
"මම ඉගෙනගන්නවා මෙය පෞද්ගලික මට්ටමින් නොගැනීමට," මැතිව් එල්ඩ්ජ් පවසයි.
"අන්තිමේ දී අපට පවුලක් තියෙනව. අපට මිතුරු මිතුරියන් ඉන්නවා.අපට සහයෝගය දෙන ලොකු ප්‍රජාවක් ඉන්නවා."
උමාගේ උපතින් සතියකට පසු අදහස් දැක්වූ සිසිල් තමා සහ තම මිනිබිරිය යහපත් තත්වයේ පසුවෙන බව සඳහන් කළාය.
"මේ පුංචි කෙල්ලට උදව්කරන්න ගොඩාක් අය ඉන්නවා. ඇය ආදරණීය පවුලක සෙවන ලබමින් වැඩේවි," මිත්තනිය පවසයි.
"ඒක වෙන්න ඕන එහෙමයි."
කියවන්න: