ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ක්‍ෂයරෝගනාශක BCG එන්නතට කොරෝනා වෛරසය මැඩලිය හැකිද? බ්‍රිතාන්‍ය සරසවියක් පර්යේෂණ අරඹයි
ක්‍ෂයරෝගය මර්දනය සඳහා මෙයින් ශතවර්ෂයකට පෙර 1921 දී සොයාගන්නා ලද BCG එන්නත Covid-19 වෛරසය මැඩලමින් මහජන ජීවිත ආරක්ෂාකර ගැනීම සඳහාත් උපයෝගි කර ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විද්‍යාඥයන් විසින් පර්යේෂණ ආරම්භ කරනු ලැබ ඇත.
ක්‍ෂයරෝගය දරුණු ලෝක ව්‍යසනයක්ව පැවති සමයෙහි 1908 පටන් 1921 තෙක් සිදුකරන ලද අදාළ පර්යේෂණ රාශියකින් අනතුරුව 1921 පටන් BCG (bacillus Calmette-Guérin) එන්නත මහජනයා වෙනුවෙන් පාවිච්චි කරනු ලැබීම ආරම්භ විය.
එන්නත නම් කරනු ලැබ තිබෙන්නේ එය සොයාගැනීමට පුරෝගාමී වූ ඇල්බට් කාමෙට් (Albert Calmette) සහ කැමිල් ගූරින්(Camille Guérin) යන ප්‍රංශ ජාතික විද්‍යාඥයන් දෙදෙනාගේ නාමයෙනි.
BCG එන්නත ක්‍ෂයරෝගය මැඩලීමේ ප්‍රතිකාරයක් වශයෙන් නිර්මාණය කරනු ලැබ ඇති නමුත් වෙනත් ආසාදනය වීම් පාලනය සඳහාත් එය උපයෝගීකර ගැනීමේ ශක්‍යතාවක් සහිත බවට සාක්ෂි ලැබී ඇත.
එය කොරෝනාවෛරසය මැඩලීමේ එන්නතක් වශයෙන් ද පාවිච්චි කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව එක්සත් රාජධානියේ Exeter සරසවිය විසින් සිදුකරනු ලබන පර්යේෂණය සඳහා පුද්ගලයන් දහසක් පමණ සහභාගි කර ගැනීමට නියමිතය.
එක්සත් රාජධානියේ දශලක්ෂ සංඛ්‍යාත ජනකායකට ළමාවියේදී ම BCG එන්නත ලබාදෙයි. එහෙත් ඒ අතරම එම එන්නත නැවත ලබාගැනීමෙන් ඉදිරි ආසාදනයවීම් වලක්වා ගැනීම අතින් තවත් පිහිටක් ලැබෙනු ඇතැයි අදහස් කෙරෙයි.
එන්නත් නිර්මාණය කොට පාවිච්චිකරනු ලබන්නේ ප්‍රතිශක්තිකාරකයක් වශයෙනි. ඒ ආසාදනයවීම් සඳහා ඔරොත්තුදෙන මට්ටමින් සිරුර බොහෝ කලක් සූදානමින් තබනු ලැබීම සඳහාය. එවැනි ඒ ඒ එන්නත් නිපදවනු ලබන්නේ එක්තරා සුවිශේෂී ආසාදනයක් ඉලක්ක කර ගෙනය.
එසේවුවද, එම ක්‍රියාවලිය මහජනයා රෝගාබාධවලට ඔරොත්තු දීමේ රටාවෙහි පුළුල්ව පැතිරුන වෙනස්වීම්වලට හේතුවී ඇත. ඉන් එක් කරුණක් වන්නේ, ඉහත කී පරිදි එක ආසාදනයවීමක් මැඩලීම සඳහා ශරීරගත කරන ලද එන්නතක් වෙනත් ආසාදනයවීම් වලටත් ප්‍රතිචාර දැක්වීමය. එම අත්දැකීම අනුව කොරෝනාවෛරසයට එරෙහිවත් වෙනත් එන්නත් ක්‍රියාකරනු ඇතැයි විද්‍යාඥයෝ බලාපොරොත්තු තබති.
- මින්පෙර සිදුකරන ලද සායනික අත්හදාබැලීම් අනුව, BCG එන්නත ගිනිබිසවූ අප්‍රිකානු රාජ්‍යයේ බිළිඳු මරණ 38%කින් අඩුකර ගැනීමට හේතුවී ඇත. එම එන්නත වැඩි වශයෙන් උදව් වී තිබෙන්නේ නිව්මෝනියාව සහ ලේ විෂවීම (sepsis) වැනි රෝගාබාධ අවමකර ගැනීම සඳහාය.
- දකුණු අප්‍රිකාවේ සිදුකරන අද අධ්‍යයනයන් අනුව, උගුර, නාසය සහ පෙනහළුවල ආසාදනයවීම් 73%කින් අඩුකර ගැනීමට BCG එන්නත ඉවහල්ව ඇත. මේ අතර, නෙදර්ලන්තයේ සිදුකරන ලද අත්හදාබැලීම් අනුව සිරුරෙහි කහ උන (yellow fever) වෛරස් ප්‍රමාණය අවම කිරීමෙහිලා BCG එන්නත ක්‍රියාත්මක වෙන බවක් පෙන්නුම් කරනු ලැබ ඇත.
"මෙය ලෝක මට්ටමින් ඉතා වැදගත් කරුණක් විය හැකියි," Exeter සරසවියේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජෝන් කැම්ප්බල් (Prof John Campbell) බීබීසියට ප්‍රකාශ කළේය.
"මේ එන්නත Covid-19 වෛරසයට හස්තසාර ඖෂධයක් කියල අපි හිතන්නේ නැහැ. නමුත් ඒ අතරම 'කෝවිඩ්' එන්නතක් එහෙමත් නැත්නම්, වෙනත් ප්‍රතිකාරයක් සොයාගන්න තවත් අවුරුදු ගණනාවක් ගතවෙන්න ඉඩකඩ තියෙනව," මහාචාර්ය කැම්ප්බල් පැවසීය.
එක්සත් රාජධානියේ සිදුකෙරන පර්යේෂණය ජාත්‍යන්තර මට්ටමින් පෙරට යන ව්‍යාපෘතියක කොටසකි. මෙම පර්යේෂණය සඳහා ඔස්ට්‍රේලියාව, ස්පාඤ්ඤය සහ බ්‍රසීලය සහභාගි වෙන අතර ඒ සඳහා එකතුව 10,000ක ජනතාව සහභාගි කරගනු ඇත.
එම සැලසුම අනුව සෞඛ්‍ය අංශයේ සහ රෝගී සහ වැඩිහිටි සත්කාරක ආයතනයන්හි කාර්ය මණ්ඩල අවධානය යොමුකෙරෙයි. ඊට හේතුව කොරෝනාවෛරසය ආසදනයවීම අතින් වැඩිම අනතුරුදායක මට්ටමේ සිටින්නේ ඔවුන් වන හෙයිනි.
ඒ අනුව BCG එන්නත කොරෝනාවෛරසයට එරෙහිව ක්‍රියාකාරී වනු ඇද්දැයි පර්යේෂකයන්ට වඩාත් ඉක්මනින් දැනගැනීමට හැකි වනු ඇත.
එක්සත් රාජාධානියේ Exeter ප්‍රදේශයේ වෛද්‍ය සෑම් හිල්ටන් මේ ව්‍යාපෘතියට වෛද්‍යවරයකු මට්ටමින් සහභාගි වෙයි. ඔහු Covid-19 ආසාදනය වීම අතින් ඉතා අනතුරුදායක තත්වයක පසුවෙයි.
"BCG එන්නත ලබාගත් තැනැත්තෙක් කොරෝනාවෛරසය ආසාදනය වූ විට බරපතල මට්ටමින් රෝගී නොවීමට ඉඩකඩ තියෙනවාය කියන එක හොඳ න්‍යායක්," වෛද්‍ය සෑම් හිල්ටන් බීබීසියට අදහස් දක්වමින් සඳහන් කළේය.
"ඒ නිසා මට පොඩි රැකවරණයක් ලැබීම ශක්තියක් කියල මම හිතනවා. මොකද? එළඹෙමින් පවතින ශීත කාලය තුළ මට රෝගීන් සමඟ කටයුතු කරන්න සිදුවෙන හැඩක් තියෙනව."
Covid -19 කෙලින්ම ඉලක්ක කරගත් එන්නතක් සොයාගන්නා තෙක් ප්‍රතිකාර අතින් පවතින හිඩැස පුරවා ගැනීම අතින් BCG එන්නත වැදගත් බව පැවසෙන ලිපියක් 'Lancet' විද්‍යා සඟරාවේ පළකරනු ලැබ ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය Tedros Adhanom Ghebreyesus ද එම ලිපියේ එක් කතුවරයෙකි.
"Covid-19 සහ අනාගතයේ මුහුණදීමට සිදුවිය හැකි වසංගතයන්හි දී BCG එන්නත වැදගත් අවියක් වනු ඇත," යනුවෙන් එම ලිපියේ සඳහන් වෙයි.
ඒ කෙසේවුවද, BCG එන්නත දිගුකාලීන විසඳුමක් ද නොවේ.
Covid -19 වෛරසයට ඔරොත්තු දෙන මට්ටමින් වැඩිදියුණු කරන ලද එන්නතක් සඳහා ඇති බලාපොරොත්තු හීනවීම යන්නේ තේරුම ළමාවියේ දී BCG එන්නත් කරනු ලැබීම මගින් ප්‍රතිශක්තිය ලබාදුන් ජනතාවට තවදුරටත් රැකවරණයක් නොමැති බවය. ක්‍ෂයරෝගය ඉතා පහළ මට්ටමක පැවතීම නිසා 2005 වසරේ පටන් එක්සත් රාජධානියේ BCG එන්නත් කිරීම අඛණ්ඩ මට්ටමින් සිදු නොකෙරෙයි.
ඊට අතිරේකව, BCG එන්නත කොරෝනාවෛරසය හඳුනා ගනිමින් එය පරාජය කර දැමීමට අවශ්‍ය ප්‍රතිදේහ (antibodies) සහ සුදු රුධිර සෛල නිෂ්පාදනය සඳහා ශාරීරික ප්‍රතිශක්ති රටාව හැඩ නොගස්වයි.
කොරෝනාවෛරසය කෙලින්ම ඉලක්ක කරගත් එන්නතක් සොයාගනු ලැබීම තවමත් දිනා නොගත් ගෝලයක මට්ටමෙහි පවතී. එවැනි එන්නත් දහයක් පමණ තවමත් සායනික ක්‍රියාවලියේ අවසන් අදියරට පැමිණ ඇත. එම එන්නත් අතරට ඔක්ස්ෆර්ඩ් සරසවියේ නිපදවන ලද එන්නතත් ඇතුළත් වෙයි.
ඔක්ස්පර්ඩ් එන්නත් කණ්ඩායමේ මහාචාර්ය ඇන්ඩෲ පොලාර්ඩ් (Prof Andrew Pollard) බීබීසියට අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.
"විෂබීජයක් (germ) වැලැක්වීමට ගනු ලබන උත්සාහයේ දී එන්නත්වලින් වැඩිහරියක් ක්‍රියාත්මක වෙන්නේ ඉතා සුවිශේෂී ප්‍රතිශක්තිමය ප්‍රතිචාරයක් ඇතිකරමින්."
"කරුණු එසේවුවත්, සාධනීය වූ ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් ඇතිකර ගැනීමේ ක්‍රියාදාමයක් වශයෙන් ප්‍රතිශක්තිය ජව ගැන්වෙන එතරම් සුවිශේෂී නොවන ආකාරයකුත් තියෙනව. එමගින් අනාගතයේ දී ප්‍රතිචාර දැක්වීමට හැකිවෙන පරිදි ප්‍රතිශක්ති රටාව ක්‍රියාත්මක වෙන ආකාරයේ වෙනසක් ඇති කෙරෙනවා," මහාචාර්ය ඇන්ඩෲ පොලාර්ඩ් පවසයි.
"ඉතින් අද අප මුහුණ දෙන ප්‍රශ්නය කුමක්ද? කොරෝනාවෛරසයට ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය ශක්තිය නංවාලීම අතින් වෙනත් එන්නත් වර්ගවලින් දිනාගන්න පුළුවන් කුමක්ද? කියල මට කියන්න බැහැ. මොකද? අපට ඒ සම්බන්ධයෙන් සාක්ෂි කොහෙත්ම නොමැති වීම."
කියවන්න: