ලිංගික අපරාධ නිසා යළි කැළඹෙන ඉන්දියාව

දින කීපයක් තුළ දෙවෙනි දලිත් කාන්තාවක ද සමූහ වශයෙන් ලිංගික අපරාධයක් (rape) කර ඝාතනය කළ බවට චෝදනා එල්ල වීමත් සමග මුළු මහත් ඉන්දියාවම කම්පනයට හා කෝපයට පත් වී තිබේ.

22 හැවිරිදි ඇය ප්‍රාදේශීය පාසලකට ඇතුළත් වීමට අයදුම් කිරීමට යන අතර මග වාහනයකට ඇදගෙන ගොස් ලිංගික අපරාධයක් කර තිබෙන බව ඇයගේ මව බීබීසී සේවයට පැවසීය.

ඉහළ කුලයේ යැයි හඳුන්වන පුරුෂයන් සමූහ වශයෙන් ලිංගික අපරාධයකට ලක් (රේප්) කළ බවට චෝදනා නැගුණු සිද්ධියක තවත් දලිත් කාන්තාවක් (19) අඟහරුවාදා (සැප්තැම්බර් 29) දින මිය යාම ද මෙම පුවත සමග වාර්තා විය.

ඉන්දියාවේ කුල ක්‍රමයේ පහළ සිටින්නේ දලිත් ජනයා ය. එම ජනතාව ආරක්ෂා කිරීම සඳහා නීති තිබුණද, ඔවුහු පුළුල් ලෙස වෙනස් කොට සැලකීම්වලට මුහුණ දෙති.

මෙම ප්‍රහාර දෙකම වාර්තා වූයේ උතුරු දිග ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙනි. පළමු සිද්ධියෙන් පසු ප්‍රාන්තයේ වීදිවල උද්ඝෝෂණ ආරම්භ විය.

බල්රම්පූර් දිස්ත්‍රික්කයේ සිදු වූ නවතම ලිංගික අපරාධ හා මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි ලියාපදිංචි කළ පොලිසිය විසින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණි.

පළමු අපරාධය සිදු වූ හත්‍රාස් දිස්ත්‍රික්කයේ සිට කිලෝමීටර් 500ක් ඈතින් දෙවෙනි සිද්ධිය වාර්තා වී තිබේ.

පළමු වින්දිත කාන්තාව බරපතල ලෙස තුවාල ලබා සති දෙකක කාලයකට පසු දිල්ලි රෝහලකදී අඟහරුවාදා (සැප්තැම්බර් 29) දින මිය ගියාය.

දෙවෙනි වින්දිත කාන්තාවද එම දිනයේදීම මියගිය නමුත් ඉන්දියාවේ ලිංගික අතවර සහ කුල හිංසනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවලින් එල්ල වූ දැඩි බලපෑම මධ්‍යයේ ජාතික මාධ්‍ය මෙම පුවත වාර්තා කළේ බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 1) දිනය.

'ළඟා වීමට නොසුදුසු පුද්ගලයන්' ලෙස පෙර හැඳින්වූ දලිත් ජනයා, ඉහළ කුලයේ යැයි සැලකෙන හින්දුන් අතින් පරම්පරා ගණනාවක් පුරාවට ප්‍රසිද්ධියේ ලැජ්ජාවට හා ප්‍රහාරයන්ට ලක්ව ඇත.

නවතම සිද්ධිය ගැන දන්නේ කුමක්ද?

අඟහරුවාදා සවස සුපුරුදු වේලාවට සිය දියණිය නිවසට නොපැමිණීම නිසා පවුලේ අය කලබල වීමට පටන් ගත් බව වින්දිත කාන්තාවගේ මව බීබීසී සේවයට පැවසීය.

ඇතුළත් කර ගැනීමට අයැදුම් කිරීම සඳහා අසල පිහිටි පාසලකට දියණිය අඟහරුවාදා උදෑසන ගොස් ඇති බව ඇගේ මව පැවසුවාය. ආපසු ගෙදර පැමිණෙමින් සිටින අතර තුර මිනිසුන් තිදෙනෙකු හෝ හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇයව නවතා ඔවුන්ගේ වාහනයට නංවා තිබේ.

ලිංගික අපරාධයට ලක් කිරීමට පෙර ඔවුන් ඇය මත්කොට ඇති බවට මව චෝදනා කරයි. "ඔවුන් මගේ දුවගේ කකුල කැඩුවා, ඉණ කැඩුවා." ඉන්පසු එම පිරිමින් ඇයව රික්ෂෝවක නංවා නිවසට එවා ඇති බව ඇය පැවසුවාය.

"ඇය පැමිණෙන විට ඇය ඉතා දුර්වල පෙනුමක් තිබුණා. අපේ දුවට කතා කිරීමට හෝ නැගිටීමට පුළුවන් වුණේ නැහැ. සිදුවුණේ මොකක්දැයි විමසුවත් ඇයට උත්තර දෙන්න පුළුවන් වුණේ නැහැ." මව කීවාය.

මිනිත්තු දහයකට පසු, බඩේ "දැවිල්ලක් වැනි ස්වභාවයක්" ඇති බව කී බැවින් ඇයව ප්‍රාදේශීය රෝහලකට ගෙන යාමට පවුලේ සාමාජිකයෝ පියවර ගත්හ.

"නමුත් ඇගේ තත්ත්වය ඉතා බරපතල නිසා වෛද්‍යවරයා අපෙන් ඉල්ලා සිටියේ ඇයව නගරයේ විශාල රෝහලකට අරගෙන යන්න කියලා. නමුත් එයා යන අතරමගදී මැරුණා," යැයි ඇගේ මව කියා සිටියාය.

"ඇය රේප් කරල ද කියලා නිලධාරීන් තාම සනාථ කරලා නැහැ. නමුත් ඔවුන් පවුලේ අය නඟන චෝදනාද ප්‍රතික්ෂේප කරන්නේ නැහැ," යැයි ප්‍රාදේශීය මාධ්‍යවේදී සෞරබ් මිශ්‍රා පැවසීය.

ප්‍රතිචාර මොනවාද?

මෙම පුවත සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල දැඩි කෝපාවිෂ්ඨ ප්‍රතිචාර දක්නට ලැබේ. මේ වන විට විපක්ෂයේ අසුන්ගෙන සිටින ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිවරයා පාලක භාරතීය ජනතා පක්ෂයට චෝදනා එල්ල කරමින් සිටියි.

"හත්‍රාස් සිද්ධියෙන් පසු තවත් දියණියක් සමූහ වශයෙන් රේප් කරලා කුරිරු ලෙස වධහිංසා දීලා බල්රම්පූර්හිදී," යැයි ට්විටර් පණිවිඩයක් නිකුත් කළ අඛිලේෂ් යාදාව්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජය කඩිනමින් ක්‍රියා කළ යුතු බව පවසයි.

දේශපාලන නායකයන් සහ ඉන්දියානුවන් ට්විටර් පණිවිඩ දහස් ගණනක් පළ කරමින් මෙම ප්‍රහාර හෙළා දැක ඇති අතර, එම සාකච්ඡාවට ට්විටර් වෙබ්අඩවිය තුළ ඉතා ඉහළ අවධානයක් ලැබී තිබේ.

මීට පෙර සිදුවීම ද සමාජ මාධ්‍ය සහ පුවත් ජාලවල ප්‍රධාන පුවත වී තිබේ. ඒ අතර, සිව් දෙනෙකුට වඩා වැඩි පිරිසකට එක්රැස් වීමට නොහැකි ලෙස දැක්වෙන නෛතික ප්‍රතිපාදනය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාවට නැංවීමට නිලධාරීහු පියවර ගත්හ. විරෝධතා මැඩීම සඳහා නිතර භාවිත කෙරෙන්නේ එම නීතිය ය.

බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 1) කොංග්‍රස් පක්ෂයේ නායකයන් වන ප්‍රියංකා සහ රාහුල් ගාන්ධි වින්දිත කාන්තාවගේ පවුල හමුවීමට හත්‍රාස් වෙත යන මඟ නිලධාරීන් ඔවුන් සිටි වාහනය නවතා ඇති අතර, පසුව ඔවුන්ට එම ප්‍රදේශයට ඇවිද යාමට සිදුවිය.

ප්‍රාන්තය තුළ විපක්ෂයේ සිටින ප්‍රාදේශීය පක්ෂයක් වන සමාජවාදි පක්ෂ ආධාරකරුවන් සිය ගණනක් පොලීසිය විසින් වටකර රඳවා තබාගනු ලැබීම දැක්වෙන පින්තූර සහ වීඩියෝ දර්ශන ද පළවෙමින් තිබිණි.

අවසරයකින් තොරව වින්දිත කාන්තාවගේ දේහය ආදාහනය කළ බවට පවුලේ අයගෙන් චෝදනා එල්ලවීමෙන් අනතුරුව ක්‍රියාකාරීහු පොලිසිය විවේචනය කරමින් සිටිති. හත්‍රාස් මෙන්ම දිල්ලිය අගනුවර ඇතුළු වෙනත් නගරවල ද විරෝධතා පැවැත්වෙමින් තිබිණි.

කෙසේවෙතත්, දිස්ත්‍රික් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ පවුලේ කැමැත්ත ඇතුව ආදාහනය කළ බවය.

2012 දී දිල්ලි නුවර බස් රථයක් තුළ සමූහ දූෂණය කර කාන්තාවක් ඝාතනය කිරීමත් සමග ඉන්දියාවේ rape හා ලිංගික හිංසනය සම්බන්ධයෙන් අවධානය යොමු වුණු අතර, ඒ සමග ඇති වූ විශාල විරෝධතා හේතුවෙන් රටේ ස්ත්‍රී දූෂණ නීති වෙනස් විය.

එහෙත් කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට එරෙහිව සිදුවන අපරාධ අවම වන බවට කිසිදු ලකුණක් නොමැත.

මේ තොරතුරු ද දැනගන්න: