පාඩම් සටහන් විකුණා ඩොලර් දහස් ගණනක් උපයන ව්‍යාපාරයක් ආරම්භ කළ සිසුවෙක්

සිනහවකින් මුව සරසා ගත් යූජීන් චෙව් විසුළු ස්වරයෙන් මෙසේ කියයි: "මුළු විෂය නිර්දේශයක්ම මගේ හිතේ තැන්පත් කර ගන්න මට පුළුවන්..."

"ඒ වගේම දියේ කිමිදෙන්නත් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ නොමිලේ ලබා දෙන කෝපි කෝප්පයක රස බලන්න යන්නත් මම කැමතියි," යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසයි.

සිංගප්පූරු කළමනාකරණ විශ්වවිද්‍යාලයේ (Singapore Management University) සිසුවෙකු වන 24 හැවිරිදි යූජීන්, සිංගප්පූරුවේ පිහිටි ඔහුගේ දෙමව්පියන්ගේ නිවසේ වූ නිදන් කාමරයේ සිට ලන්ඩනයේ අප සමග පැයක කාලයක් පැවති සූම් ඇමතුමේ දී සිය ජීවිතය සංක්ෂිප්ත ගත කළේ එලෙසය.

එකී කාලය තුළ අපි ඉගනීම, ව්‍යාපාර මෙන්ම සියල්ලටම වඩා සම්පත් දායකත්වය (Resourcefulness) සහ ජීවිත අත්දැකීම්, අග්නි දිග ආසියාවේ සිට මෙක්සිකෝ සිටි හි නාගරික ජීවිතය දක්වා වූ කරුණු පිළිබඳ කතා කළෙමු.

නමුත් පළමුව යූජීන් යම් අයුරකින් කුප්‍රකට වීමට හේතුව කතා කළ යුතුය.

මෑතකදී, සිංගප්පූරුවේ දේපල වෙළෙඳාම් අලෙවි නියෝජිතයෙකු වීම සඳහා ඇති විභාග පරීක්ෂණ ඉහළින් සමත් වූ යූජීන් ඒ සඳහා සූදානම් වීමට භාවිත කළ සටහන් (Notes) අලෙවිය සඳහා අන්තර්ජාලයට එක් කළේය. ඔහු විසින් එම පාඩම් සටහන් හඳුන්වනු ලැබ ඇත්තේ 'මනෝ සිතියම්' (Mind maps) ලෙසය.

සිය සාර්ථකත්වය මුදලට පරිවර්තනය කිරීමට උත්සාහ ගත් පළමු වැන්නා යූජීන් නොවුණත් ඔහුගේ පාඩම් සටහන් නොසිතූ ලෙස ඉක්මණින් අලෙවි විය.

මේ දක්වා ඔහු විසින් අලෙවි කරනු ලැබ ඇති සටහන් සංඛ්‍යාව 1,500 කි. යම් කිසි අවස්ථාවක ඔහු සතියකට ඩොලර් 1,000 ඉක්මවා ඉන් මුදල් ඉපයූ අතර ක්‍රමයෙන් ඔහුගේ පාඩම් සටහන් ව්‍යාපාරයක් බවට පත් විය.

ඉහළ සුදුසුකම්

සිංගප්පූරුව තුළ දේපල වෙළදාම් අලෙවි නියෝජිතයෙකු වීමට නම්, යමෙකු ඒ සඳහා පැය 60 ක පාඨමාලාවකට සහභාගී විය යුතුය. එහිදී 'RES' නැමැති කොටස් දෙකකින් යුත් විභාගය සමත් විය යුතුය.

"එය පහසු කටයුත්තක් නොවෙයි. ඔබ දන්නවා, සිංගප්පූරුව නියාමනයන් දැඩිව අනුගමනය කරන රටක් බව," යනුවෙන් යූජින් බීබීසියට පැවසීය. "ඉක්මන් සහ වේගයෙන් යමක් ඉගන ගැනීමේ ක්‍රමවේද සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බව මට වැටහුණා,"

යූජින් සිය විභාග සඳහා සාර්ථකව භාවිත කළ 'මනෝ සිතියම්' 16 ක් මුදලක් ගෙවා අන්තර්ජාලය ඔස්සේ භාගත (Download) කළ හැක.

'මනෝ සිතියම්' සංකල්ප සහ අදහස් එක් කර රූපමය මාධ්‍යය ඇසුරින් සැකසූ සටහන්ය. එම සංකල්ප සහ අදහස් එකිනෙක සම්බන්ධ වන ආකාරය රූපයට නගා ගැනීම සඳහා එය මොළයට පහසු කරවයි.

යූජින්ගේ 'මනෝ සිතියම්' තුළ විෂය නිර්දේශයට අයත් නෛතික සංකල්ප, අලෙවිකරණය පිළිබද සංකල්ප, ගණිත සූත්‍ර, වගු සහ විවිධාකාරයේ විෂය කරුණු අඩංගුය.

"ඉගෙනීම් එකිනෙක සම්බන්ධ කරන්න මේ සිතියම් උදව් වෙනවා. කුමන හෝ විෂයයක් ගැන පුළුල්ව බලන්න එමගින් ඉඩ ලැබෙනවා. නමුත් ඔබට අවශ්‍ය නම් විශේෂිත කොටසක් දෙස පමණක් වුවත් එමගින් අවධානය යොමු කළ හැකියි," යනුවෙන් යූජින් විස්තර කරයි.

"යම් සුවිශේෂී විෂයක් ගැන ගැටලුවක් තිබේ නම්, පාඩම් පොතට ගොස් ඊට පිළිතුරු සෙවීමට මුළු පරිච්ඡේදයම කියවනවා වෙනුවට 'මනෝ සිතියම' ඔස්සේ ඒ තොරතුරු සොයා ගත හැකියි,"

"එය ඔබේ මොළය පාඩම් කිරීමට යොමු කරවා ගැනීමට යොදන උප්පරවැට්ටියක්. එය ඉගෙන ගැනීම සඳහා ඇති වෙනත් මගක් සඳහා ඇති සිත්ගන්නා ක්‍රමයක්,"

'භාෂා දැනුම අත්‍යවශ්‍ය නොවේ'

දියෙහි කිමිදීම සඳහා වූ සිය දීර්ඝ කාලීන ආශාව නිසා ඉගැන්වීම සහ වාචික නොවන (Non-verbal) සන්නිවේදනය පිළිබඳ දක්ෂතා වර්ධනය කර ගැනීමට හැකි වූ බව යූජින් පවසයි.

14 වෙනි වියේ සිට ඔහු එය ප්‍රගුණ කරයි. තෙවසරකට පෙර, අති දක්ෂ පුහුණු කිමිදුම්කරුවෙකු බවට පත්වීමෙන් පසු ඔහු කිමිදුම් උපදේශකයෙකු ලෙස මිනිසුන් දියට ගෙන යයි. ඔහු නිතර කිමිදුම් කටයුතු සඳහා පිලිපීනයේ, ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ දර්ශනීය ස්ථාන වෙත සංචාරය කරයි.

"කිමිදුම් උපදේශකයෙකු වශයෙන් ඔබ තේරුම් ගන්නවා භාෂාව වත්කමක් වුවත් එය සන්නිවේදනය සඳහා අත්‍යවශ්‍ය දෙයක් නොවන බව,"

"දිය යටදී ඔබට කතා කරන්න හැකියාවක් නැහැ. 'හෙලෝ' කියල කියන්න බැහැ, 'මගේ මුඛ ආවරණයේ කාන්දුවක්' කියලා කියන්න බැහැ. සියල්ල වෙන්නේ මුහුණේ ඉරියව් සහ හස්ත සංඥා මගින්,"

කිමිදුම් කටයුතු නිසා තමා තුළ අතිරේක ගුණ දෙකක් ප්‍රගුණ වූ බව යූජින් පවසයි. වෙනස් සංස්කෘතීන්ට අයත් පුද්ගලයන් සමග සබඳතා ගොඩ නගා ගැනීමට ඇති හැකියාව ඉන් පළමු වැන්නයි. ලොව වටා ඇති කිමිදුම් ස්ථාන සොයා යන කිමිදුම්කරුවන් සහ සිසුන් සමග මුහු වීම එහිදී සිදු වෙයි.

අවදානම් සහගත ක්‍රියා රස විඳීම ඉන් දෙවැන්නයි, "විශේෂයෙන් හොඳින් හදා වඩා ගනු ලැබීම සහ අධ්‍යාපනය ලබා දීම අතින් ආවරණය වූ මා වැනි සිංගප්පූරු කොල්ලෙකුට,"

මානව සබඳතා

මෙක්සිකෝ සිටි නගරයේ ඇති ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ පිහිටි මානව සම්පත් පිළිබඳ සිංගප්පූරු බහු ජාතික සමාගමක මෙක්සිකෝ මූලස්ථානයට ගොස් කෝපි උගුරක රස බැලීම පිළිබඳ කතාව කීමට යූජින් සූදානම් වෙයි.

ව්‍යාපාර ක්ෂේත්‍රයට අදාළ සිසුවෙකු වශයෙන් ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක සංචාරය කිරීම "විදෙස්ගතවීමක වැදගත් අවස්ථාවක් වන අතර කෙසේ හෝ එහි යාමට අවශ්‍ය වුණා." යැයි ඔහු කීය.

සිසුන් හුවමාරු කර ගැනීමේ වැඩසටහනකට සම්බන්ධ වී සිටි යූජීන් පසුගිය වසරේදී මෙක්සිකෝවේ අගනුවර ආසන්නයේ පිහිටි පුඒබ්ලා නගරය බලා ගියේය. දර්ශනීය සහ චමත්කාරජනක නගරයක් වූ එහි වෙසෙන මෙක්සිකෝ ජාතිකයන් "ඉතාමත් මිත්‍රශීලී" බව ඔහු කියයි.

එහි සිටින අතරතුර කලින් වෙලාව වෙන්කරවා ගැනීමකින් තොරව ඔහු මෙක්සිකෝ සිටි හි පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල බලා ගියේය. කෙසේ හෝ එහි විසි හත් වෙනි මහළ දක්වා ගිය යූජීන් විදෙස් රටක පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යාස්ථාන ගොඩනැගිල්ලක සංචාරය කිරීමේ සිහිනය ඉටු කර ගත්තේය.

එහි සිටි කියුබානු ජාතික කළමනාකරු පළමුව පුදුමයට පත් වුවත් පසුව සිංගප්පූරුවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ ඇසීමට උනන්දුවක් පෙන්වා තිබේ.

මෙක්සිකෝවෙන් පිටත් වීමට පෙර සිංගප්පූරු සංග්‍රහයන් අතැතිව යළි ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට ගිය ඔහු පෙර කී කියුබානු කළමනාකරු සහ එම කණ්ඩායම විසින් පිළිගනු ලැබ ඇත්තේ රම් බෝතලයක් ද සමගිනි.

මානව සම්පත් පිළිබඳ විශේෂඥයන් යූජීන් පිළිබඳ පෞර්ෂ පරීක්ෂණයක් කළ අතර එහිදී ඔහු සන්නිවේදන හැකියාවන් සඳහා ඉහළ ලකුණු ලබා ගැනීම එක් අතකින් පුදුමයක් ද නොවේ.

'සාර්ථකත්වය මැන බැලීම'

යූජීන්ගේ 'RES Tutor' නැමති සමාගම අලෙවි කරන්නේ එක් නිෂ්පාදනයක් පමණි. RES විභාගය සඳහා පාඩම් කර සිංගප්පූරුවේ දේපල වෙළෙඳාම් අලෙවි නියෝජිතයන් බවට පත් වීමට එය සිසුන්ට උපකාර කරයි.

තොරතුරු තාක්ෂණ (IT) වෙළෙඳපොළ දක්වා සිය ව්‍යාපාරය පුළුල් කිරීම පිළිබඳ ඔහුගේ අවධානය යොමුව තිබේ. නමුත් අනෙක් අතට ව්‍යාපාර මොඩලය හොඳින් ක්‍රියාත්මක වේදැයි යන්න සැක හැර දැන ගැනීම සඳහා සිය සාර්ථකත්වය ප්‍රවේශම් සහගතව යොදා ගැනීමට ඔහුට අවශ්‍ය කර තිබේ.

"කුඩා තොරතුරු ප්‍රමාණයකට සහ පාඩම් සටහන් දාසයකට පාරිභෝගිකයෝ ඩොලර් 59 ක් පමණ වියදම් කරනවා. ඒ නිසා අනෙක් පුද්ගලයාට දෙන වටිනාකම ස්පර්ශ කළ නොහැකි මුත් එය ප්‍රයෝජනවත් දැයි යන්න සැක හැර දැනගත යුතුයි," යනුවෙන් යූජීන් පවසයි.

පුදුමයට කරුණ නම් මේ වන විට යූජීන්ට දේපල වෙළෙඳාම් අලෙවි නියෝජිතයෙකු වීමේ සැලසුමක් නොමැත. තිස් වසරක දේපල වෙළෙඳාම් ව්‍යාපාරයක් හිමි සිය මවට සහාය වීමට ඔහුට අවශ්‍ය කර තිබේ.

කෝවිඩ්-19 වසංගතය පැමිණීමට පෙර යූජීන්, 2010 වසරේ විවෘත කකෙරුණු එවක ලොව වටිනාකමින් වැඩිම කැසිනෝ දේපල ලෙස නම් කළ සිංගප්පූරුවේ 'Marina Sands Bay' හි පුහුණුවකට යාමට සූදානමින් සිටියේය.

'RES Tutor' පසෙකින් කෙරෙන ව්‍යාපාරයක් වීමට ඉඩ ඇති බව පවසන යූජීන් මේ මොහොතේ සිය වෘත්තීය ඉලක්ක ජය ගැනීමට වෙහෙසන සිසු සිසුවියන්ට උපකාර කර සතුටක් ලබයි.

"මේ අය පාරිභෝගිකයන්ම පමණක් නොවෙයි. එය ගනුදෙනුවකට සීමා කරන්න බැහැ. එය සබඳතාවක් කර ගන්න මා කැමතියි,"

"ඔවුන් විභාගයට ඉඳ ගත් පසු මට ප්‍රතිඵල කියනවා. මට ලොකු සතුටක් දැනෙනවා. මොකද ඔවුන් මේ කියන්නේ මගේ මනෝ සිතියම් ඔවුන්ට උපකාර කර ඇති බව,"

(බීබීසී පුවත් සේවයේ පැබ්ලෝ ඔචොආ සැකසූ වාර්තාවක් ඇසුරෙනි)

මේ ගැනත් කියවන්න