ඉන්දියාව: ජීවිත නසන තරඟකාරී විභාග

පසුගිය අප්‍රේල් මාසයේදී පාසල් හැර යාමේ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව දකුණු ඉන්දියාවේ තෙලඟන ප්‍රාන්තයේ යෞවන යෞවනියන් 23 දෙනෙකු සිය දිවි හානි කර ගෙන තිබේ.

මේ බීබීසී තෙලිඟු අංශයේ දීප්ති භාතිනි ඒ පිළිබඳ සැකසූ ලිපියකි.

තෝටා වෙනේලා විනෝදයෙන් කල්ගත කළ තරුණියකි. ඇයගේ වැඩිමහල් සහෝදරයා වන වෙන්කතේෂ් මෑතකදී ඇයට මෝටර් බයිසිකල් පදින ආකාරය පුහුණු කළේය.

"ඇය වෘත්තීය මෝටර් බයිසිකල් පදින්නියක් විදියට ඒක පදින කොට මම බොහොම සන්තෝෂ වුණා. නමුත් සමහර වෙලාවට එයාට නොදැනෙන්න මම ඇයගේ පිටුපසින් ගියා. ඒ ඇයගේ ආරක්ෂාවට."

තමා සහ තම නැගණිය ඉතා ලඟින් ආශ්‍රය කළ බව වෙන්කතේෂ් පැවසීය.

තම මුදල් පසුම්බියේ ඇති සිය සහෝදරියගේ ඡායාරූපය පෙන්වමින් ඔහු අඩන්නට විය.

පසුගිය අප්‍රේල් 18 වෙනිදා, තමා 12 වන ශ්‍රේණියේ විභාගයෙන් අසමත් ව ඇති බව වෙනේලා දැන ගෙන තිබිණි.

ඉන් දුකට පත් ඇය වස පානය කර ඇත. පැය කිහිපයකට පසු රෝහලේදී ඇය මිය ගියාය.

"මම කොහොමද අසමත් වුණේ? යනුවෙන් ඇය දිගින් දිගටම විමසමින් සිටියේ," ඇයගේ මව වන සුනීතා කීය. "අපි ඇයව සැනසුවා. කමක් නෑ නැවත කරන්න කිව්වා. ඉස්පිරිතාලේදීත් ඇය කිව්වේ 'මම සමත් වෙන්න ඕනේ' කියලයි."

තෙලඟන ප්‍රාන්තයේ 320,000ක් පාසල් හැරයාමේ විභාගය අසමත් වූ අතර වෙනේලා ද ඉන් කෙනෙකි.

ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලය මගින් සකස් කරන ලද විෂය මාලාවන් උගන්වනු ලබන පාසල් වල ඔවුන් සියලු දෙනා අධ්‍යාපනය ලැබුහ.

ඉන්දියාවේ උසස් අධ්‍යාපනය අධික ලෙස තරඟකාරීය. හොඳ විශ්ව විද්‍යාලයකට ඇතුළු වීමට වරම් ලබා ගැනීමට පාසල් හැරයාමේ විභාගය ඉතා වැදගත් වේ. එසේම අනාගතයේදී ඉහළ වැටුප් ලබන රැකියාවක් ලබා ගැනීමට ද එය අවශ්‍යය.

හොඳයැයි සැලකෙන විශ්ව විද්‍යාල සිසු සිසුවියන් තෝරා ගැනීම සඳහා වෙනම විභාග පවත්වයි. එයින් සමත් වුවද පාසල් හැරයාමේ විභාගය අසමත් නම් ඔවුන්ට විශ්ව විද්‍යාල වරම් අහිමි වේ.

නමුත් මෙවර ප්‍රතිඵල නිකුත්වීමත් සමගම විභාග අපේක්ෂකයන් සහ දෙමව්පියන් පුදුමයට පත්ව සිටී.

මේ තොරතුරුද කියවන්න:

උත්තර පත්‍ර බැලීමේදී වැරදි සිදුව ඇතැයි පවසමින් ඔවුහු උද්ඝෝෂණ කළහ. එසේම උත්තර පත්‍ර නැවත ඇගයීමට ලක් කළ යුතු බවට ද ඔවුහු බල කරති.

"11වෙනි ශ්‍රේණියේ විභාගෙදි මගේ පුතා ගණිතය, භෞතික විද්‍යාව, සහ රසායන විද්‍යාවට ඉහළ ලකුණු ගත්තා. නමුත් මේ ප්‍රතිඵල අනුව ඔහුට තියෙන්නේ ගණිතයට එක ලකුණයි. භෞතික විද්‍යාවට බිංදුවයි. ඒක වෙන්නේ කොහොමද?" වෙනුගෝපාල් රෙඩ්ඩි අසයි.

"ඔහු වෙනත් තරඟකාරී විභාග වලට ඉගෙන ගනිමින් සිටියේ. නමුත් මේ ප්‍රතිඵල ආවට පස්සේ ඔහු කනගාටුවෙන් ඉන්නේ. ඔහු ඉගෙන ගැනීම පමණක් නොවෙයි කෑම ගැනීමත් නවත්වලා. ගෙයින් එළියට යෑමත් ප්‍රතික්ෂේප කරනවා. මම ඇත්තටම ඔහුගේ මානසික තත්ත්වය ගැන දුකෙන් ඉන්නේ."

උද්ඝෝෂණ වර්ධනය වීමත් සමගම විභාගය අසමත් වූ දරුවන්ගේ සිය දිවි නසා ගැනීම් පිළිබඳව ද ප්‍රාන්තයේ විවිධ පළාත් වලින් වාර්තා වේ.

ඉන්පසු ළමා අයිතිවාසිකම් ගැන පෙනී සිටින කණ්ඩායමක් ප්‍රාන්ත මහාධිකරණයේ නඩුවක් පැවරීය. එය සලකා බැලු මහාධිකරණය විභාගය අසමත් වූ සියලු දෙනාගේ උත්තර පත්‍ර නැවත වරක් බලන ලෙස නියෝග කළේය.

නව ප්‍රතිඵල මැයි 27 වෙනිදා ප්‍රකාශයට පත් කෙරුණි. විභාගය අසමත් ලෙස දන්වා තිබු සිසු සිසුවියන් 1,137 දෙනෙකුගේ ප්‍රතිඵල ඒ අනුව වෙනස් වී තිබිණි.

එනම් ඔවුන් සමත් ලෙස දන්වා තිබේ. එක් විෂයකින් ලකුණු ලබා ගෙන නොතිබූ බව පෙර දන්වා තිබුණු සිසුවෙක්ට ඔහු ලකුණු 99ක් ලබා තිබෙන බව නව ප්‍රතිඵලය අනුව දන්වා ඇත.

ග්ලෝබරීනා නම් පෞද්ගලික මෘදුකාංග සමාගමක් වෙත ද චෝදනා එල්ල වෙයි. ප්‍රාන්තයේ පැවැත්වෙන විභාගය පැවැත්වීමට අදාල ටෙන්ඩරය එම සමාගම විසින් 2017 දී ලබා ගෙන ඇත. එම විභාගයට ළමුන් 970,000ක් මුහුණ දී තිබේ.

අවසාන ප්‍රතිඵල සැකසීම සහ ප්‍රතිඵල නිකුත් කිරීමේ වගකීම ද එම සමාගම සතු විය.

මේ අතර ග්ලෝබරීනා සමාගමට මෙම කාර්යයන් පැවරූ ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලය පවසන්නේ සිය දිවි නසා ගැනීම් විභාග ප්‍රතිඵල වල තිබු දෝෂ හා සම්බන්ධ නොමැති බවය.

වැරදි සිදුවූ බව ග්ලෝබරීනා සමාගම පිළිගනී.

"අපි මණ්ඩලය මගින් දුන් උපදෙස් අනුවයි කටයුතු කරන්නේ. වුණු දේවල් අවාසනාවන්තයි. තාක්ෂණික දෝෂ තිබුණා. අපි ඒවා නිවැරදි කළා," සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා පසුගිය අප්‍රේල් මාසයේ දී බීබීසීයට පැවසීය.

සිය දිවි නසාගත් අනාමිකා යදාව් නම් සිසුවියගේ දෙමව්පියන් පවසන්නේ ඔවුන් ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලයට සහ ග්ලෝබරීනා සමාගමට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන බවය.

16 හැවිරිදි අනාමිකා යදාව් ප්‍රතිඵල නිකුත් වී පැය කිහිපයකට පසු සිය දිවි හානි කර ගෙන ඇත. නැවත ඇගයීමට ලක් කළ ප්‍රතිඵල මැයි 27 වෙනිදා නිකුත් කළ විට එහි සඳහන් වූයේ ඇය විභාගය සමත් බවය. නමුත් තවත් පැය කිහිපයට පසු එම ප්‍රතිඵල නැවත වෙනස් කෙරිණි. එහි සඳහන්ව ඇත්තේ ඇය අසමත් ලෙසය.

එයින් හැඟෙන්නේ ප්‍රතිඵල යාවත්කාලීන කරන විට යම් අත්වැරදීමක් සිදුව ඇති බවය. අධ්‍යාපන මණ්ඩල බලධාරීන් පවසන්නේ ග්ලෝබරීනා සමාගම ප්‍රතිඵල නැවත ඇගයීමේ ක්‍රියාවලියට සහභාගී නොවූ බවය.

"මේක සැක උපදවන සුළුයි," අනාමිකා යදාව්ගේ පියා වන අතුල් ගනේෂ් පැවසීය.

වෙනේලාගේ පියා වන ගෝපාල ක්‍රිෂ්ණා ද පවසන්නේ තමා නඩු පවරන බවය. "මට අධ්‍යාපන මණ්ඩලය විශ්වාස නැහැ. මගේ දුව හොඳ ශිෂ්‍යාවක්. එයා කොහොම ද අසමත් වුණේ? මට උත්තර අවශ්‍යයි."

සිය දිවි නසාගත් 23 දෙනාගේ උත්තර පත්‍ර නැවත ඇගයීමට ලක් කර නොමැත.

"විභාග මානසික ආතතියට හේතු වෙනවා. ළමුන් ට නිතරම ඒ ගැන උපකාර කළ යුතුයි," යනුවෙන් මනෝ විද්‍යාඥ වාසුප්‍රධා කාතික් පවසයි.

විභාග වලට එපිටින් යමක් දැකීමට සිසුන්ට හැකි විය යුතු බව පවසන ඇය විභාගයකින් අසමත් වීම යනු වෘත්තීයමය වශයෙන් යමක් කිරීමට නොහැකි වීමට හෝ අනාගතය අඳුරු වීමට හෝ හේතු නොවන බව සිසුන් තේරුම් ගත යුතු බව කීවේය.

තවත් තොරතුරු: