ඊජිප්තුව: වසර 2500කට අධික කාලයක් මිහිදන්ව පැවති මිනී පෙට්ටි 27ක්

වසර 2500කට අධික කාලයක් මිහිදන්ව පැවති මිනී පෙට්ටි 27ක් සොයා ගැනීමට ඊජිප්තු පුරාවිද්‍යාඥයෝ සමත් වූහ.

මෙම මිනීපෙට්ටි සමුහය ගොඩ ගෙන ඇත්තේ ඊජිප්තුවේ කයිරෝ අගනුවරට දකුණු දිගින් පිහිටි සකාරා ප්‍රදේශයේ පවතින පුරාණ සුසාන භූමියකිනි.

මේ මස මුලදී පුරාණ මිනී පෙට්ටි 13ක් හමුවීමෙන් අනතුරුව තවදුරටත් කැනීම් සිදුකරගෙන යාමේ දී ඉතිරි මිනීපෙට්ටි 14 හමු වී තිබේ.

මෙවැනි වර්ගයේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් විශාලතම සොයා ගැනීම් අතරට මෙය ද එක් වන බව විශේෂඥයෝ පවසති.

විචිත්‍ර අයුරින් පින්තාරු කර ඇති මෙම මිනීපෙට්ටි තනා ඇත්තේ දිරාපත් නොවන ආකාරයට මනාව පදම් කර ඇති ලීයෙනි.

එම ස්ථානයේ ම තිබී තවත් පෞරාණික වස්තු කීපයක් ද සොයා ගෙන ඇත.

වසර 3000කට වඩා පැරණි ඉතිහාසයක් සහිත මෙම සුසාන භූමිය පවතින සකාරා පුද බිම ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝ ආයතනය විසින් නම් කරනු ලැබූ ස්ථානයකි.

ඊජිප්තුවේ පුරාවස්තු භාර අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම පුරාණ මිනීපෙට්ටි ඉතා හොඳින් වසා ඇති බවත් මිහිදන් කළ දා පටන් මේ දක්වා ඒවා කිසිවෙකු විසින් විවෘත කරනු ලැබ නැති බවත් ය.

"තවත් රහස්"

ඊජිප්තුවේ පුරාවස්තු භාර අමාත්‍යවරයා මෙම කැනීම් කෙරුණු ස්ථානය සියැසින් බලා ගැනීමට පැමිණෙන තුරු මෙම වටිනා සොයා ගැනීම පිළිබඳව නිවේදනය කිරීම පමා කෙරුණු බවත් එම නිවේදනයේ දැක්වේ.

එම ස්ථානයට අමාත්‍යවරයා පැමිණ ඇති අතර, අඩි 36ක් ගැඹුරට හාරන ලද වලක් තුළ ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ සේවය කරන කාර්ය මණ්ඩලයට ඇමතිවරයාගේ ස්තුතිය හිමි වී තිබේ.

මෙහි සුලමුල නිශ්චිතවම තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් මෙම ස්ථානයේ කැනීම් සිදුකරගෙන යාමට තීරණට කර ඇති බව බලධාරීහු පවසති.

ඔවුන් කියා සිටියේ, දැනට හෙළිදරව් කර ගෙන ඇති රහස් ඉදිරි දින කීපය තුළ දී ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවය.

පෞරාණික මිනී පෙට්ටි අසල තිබී සොයා ගන්නා ලද අනෙකුත් පුරා වස්තූන් ද විචිත්‍රවත් වූ කැටයම් සහ පින්තාරු සහිතය.

සකාරා හි පිරමිඩයක් අසල තිබී 2018 වසරේදී සොයා ගන්නා ලද සංරක්ෂිත සත්ත්ව මල සිරුරු විශාල ප්‍රමාණයක් පසුගිය නොවැම්බරයේ දී, ප්‍රථම වතාවට මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කර තිබුණි.

එම සොයාගැනීම් අතර මමිකරණයට ලක් කරන ලද බළලුන්, කිඹුලන්, නාගයන් සහ පක්ෂීන් ද විය.

ඊජිප්තුවේ කයිරෝ අගනුවරින් කිලෝමීටර 30ක් පමණ දකුණු දිගින් පිහිටි සකාරා යනු පෞරාණික සුසාන භූමියකි. පුරාණ ඊජිප්තු වැසියන් විසින් මමිගත කරන ලද මළසිරුරු මිහිදන් කිරීම සඳහා සහශ්‍ර දෙකකට අධික කාලයක් තිස්සේ මෙම ස්ථානය යොදා ගෙන තිබේ.