ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වසර 3000ක් පැරණි ඊජිප්තු පූජකවරයෙකුගේ මමියක කටහඬ යළි ජීවමාන වෙයි
ඊජිප්තුවේ මමියක් ලෙස තැන්පත් කර තිබූ පූජකවරයෙකුගේ මරණයෙන් පසු ජීවිතය සඳහා වූ ප්‍රාර්ථනය විද්‍යාඥයින් පිරිසක් විසින් ඉටු කරනු ලැබ තිබේ. ඒ, කෘත්‍රිම වාචික ශබ්ද මගින් ඔහුගේ කටහඬ ප්‍රතිනිර්මාණය කිරීමෙනි.
එහිදී ඊජිප්තුවේ නෙසියමුන් නමැත්තාගේ කටහඬ ස්වරයක් ආකාරයේ ශබ්දයකින් යළි නිර්මාණය කර ඇති අතර එම හඬ බැටළුවෙකුගේ කෑගැසීමක් සිහිපත් කරවන්නකි.
කටහඬ පහත වීඩියෝවෙන් අසන්න.
නෙසියමුන් නමැති පූජකවරයා වාසය කර ඇත්තේ, ක්‍රිස්තු පූර්ව 1099 - 1069 අතර කාලයේය. එම කාලය දේශපාලනික වශයෙන් අස්ථාවර තත්ත්වයක් පැවති එකොලොස් වන රැම්සෙස් පාරාවෝ රජුගේ පාලන සමය විය.
තීබ්ස්හි පූජකවරයෙකු වශයෙන් සිය ආගමික කටයුතු වෙනුවෙන් ගායනා කිරීම් සඳහා ඔහුට තියුණු හඬක් අවශ්‍ය විය.
නෙසියමුන්ගේ මරණයෙන් පසු ඔහුගේ කටහඬ නිහඬ විය. එහෙත්, වසර 3000කට පසු පර්යේෂකයින් කණ්ඩායමක් ඔහුගේ කටහඬ යළි ජීවමාන කළහ.
ඔවුන් එසේ කර ඇත්තේ, නෙසියමුන්ගේ ස්වරාලයට සමාන වන පරිදි ත්‍රිමාණ මුද්‍රිත ස්වරාලයක් නිර්මාණය කිරීමෙනි.
කෘත්‍රිම ස්වරාලයකින් නැගුණු ශබ්දය භාවිත කිරීමෙන් ඔවුහු නෙසියමුන්ගේ හඬට සමාන ස්වරයක් සංස්ලේෂණය කළහ.
මෙය මිය ගිය පුද්ගලයෙකුගේ කටහඬක් කෘත්‍රිමව සාර්ථකව ප්‍රතිනිර්මාණය කළ පළමු ව්‍යාපෘතිය ලෙස සැලකේ. ඉදිරියේදී නෙසියමුන්ගේ කටහඬින් සම්පූර්ණ වාක්‍ය ප්‍රතිනිර්මාණය කිරීමට පර්යේෂකයෝ අපේක්ෂා කරති.
මෙම පර්යේෂණය ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සහ යෝර්ක් විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සමග ලීඩ්ස් කෞතුකාගාරය එක්ව සිදුකර ඇති අතර, එය Scientific Reports සගරාවේ පළ කර තිබිණි.
කටහඬ ප්‍රතිනිර්මාණය කිරීමේ තාක්ෂණය මගින් "දීර්ඝ කාලයකට මිය ගිය අයගේ කටහඬ ඇසීමේ අවස්ථාවක් අපට ලැබී තියෙනවා," මෙම පර්යේෂණයේ සම කර්තෘවරයෙකු වන යෝර්ක් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය ජොආන් ෆ්ලෙචර් පැවසීය.
මහාචාර්ය ෆ්ලෙචර් බීබීසී පුවත් සේවයට පැවසුවේ, නෙසියමුන්ගේ ආගමික විශ්වාස පද්ධතියේ කොටසක් වූ මරණින් මතු ජීවිතයේදී සිය හඬ ඇසීම නෙසියමුන්ගේ ප්‍රාර්ථනය වී ඇති බවය.
"ඔහුගේ මිනී පෙට්ටිය මත ඒක ඇත්තට ම ලියලා තියෙනවා. ඒක තමයි ඔහුට අවශ්‍ය වුණේ, එක් පැත්තකින් අපිට පුළුවන් වෙලා තියෙනවා, ඔහුගේ ප්‍රාර්ථනාව ඉටු කරන්න," මහාචාර්ය ෆ්ලෙචර් පැවසීය.
නෙසියමුන් යනු කවරෙක් ද?
නෙසියමුන් යනු ඊජිප්තුවේ තීබ්ස් ප්‍රදේශයේ අමුන් නමැති ආගමික ස්ථානයක වාසය කළ පූජකවරයෙකි.
ඔහු ශුද්ධත්වයේ යම් උසස් මට්ටමකට පත්ව සිටි පූජකවරයෙකු වූ අතර, එහෙයින් ඔහු වාසය කළ අමුන් ආගමික ස්ථානයේ අමුන් ප්‍රතිමාව අසලට යාමට ඔහුට අවසර තිබිණි.
අධ්‍යයනවලින් හෙළිවී ඇත්තේ, නෙසියමුන්ගේ දත් දැඩි ලෙස දිරාගොස් තිබූ අතර ඔහු විදුරුමස් රෝගයකින් පෙළුණු බවය. ඔහු දරුණු අසාත්මිකතාවකින් 50 හැවිරිදි වියේදී ජීවිතක්ෂයට පත්වූ බවට විශ්වාස කෙරේ.
එකොලොස් වන රම්සෙස් රාජ්‍ය පාලන සමයේ විසූ බවට තහවුරු වී ඇති එකම මමිය වන නෙසියමුන් නිසා වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. ඔහුගේ මෘත දේහය මගින් පුරාණ ඊජිප්තුව පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.
මමියක් ලෙස සකස් කරන ලද නෙසියමුන්ගේ මෘත දේහය බ්‍රිතාන්‍යයේ ලීඩ්ස් නාගරික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ.
තවදුරටත් කියවන්න: