කොරෝනා වසංගතය නිසා අමද්‍යප නැඹුරුවක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ෆර්නැන්ඩෝ දුවාර්තේ
- Role, බීබීසී ලෝක සේවය
කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් මාර්තු මාසයේ මැද භාගයේ පටන් ලෝකය ලොක්ඩවුන් වන්නට පටන් ගත්තේය. ඒ වන විටත් ටීනා රෝද්රිගස් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ආරම්භ කර තිබුනේ ශාරීරික ව්‍යායාම පුහුණුකරුවකු වන තම සහකරුගේ ද සහාය ඇතිවය. ජනවාරි මාසයේ පටන් ඇය මත්පැන් පානය කර නොතිබුණි.
"මම මගේ ආහාර වෙලා පවා සෞඛ්‍ය සම්පන්න කර ගත්තා. ඒ තත්වයෙන් දිගටම ජීවන රටාව පවත්වාගෙන යාම හොඳයි කියල මම හිතුවා." ඇය පැවසුවාය.
"ඒ කියන්නේ මම කවදාවත් මත්පැන් පානය නොකිරීමට තීරණය කළා කියන එක නෙමෙයි. ලොක්ඩවුන් වුනාට පස්සේ මත්පැන් පානය කිරීම තේරුමක් නැති දෙයක් කියල මට හිතුන."
තම දෙහැවිරිදි පුත්‍රයා සමඟ නිවසට කොටු වී ජීවත් වීම, අමද්‍යප ජීවිතයක් වැළඳ ගැනීම සඳහා උදව් වූ බව ටීනා පවසන්නීය.
"අපිට නිවසින් බැහැරව යන්න බැරි උනා. හිත මිතුරන් හමුවන්න බැරි උනා. ගෙදර ඇතුලේ ඉඳන් බොන එක මට එතරම් ප්‍රිය දෙයක් නොවෙයි."
වසංගත කාලය තුළ මත්පැන් භාවිතය එකවරම ඉහළ ගිය බවට පුවත් ශීර්ෂ පාඨ පළවී තිබුන නමුත් අමද්‍යප බවට පත් වූ හෝ සැළකිලිමත් ලෙස මද්‍යසාර පරිභෝජනය කරන්නන්ගේ ප්‍රමාණය ද ඉහළ ගියේය. එම ගෝලීය නැඹුරුව අනුගමනය කිරීමට ටීනා වැනි බොහෝ දෙනා තීරණය කළහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ලොක්ඩවුන් නීති ලිහිල් වී ජුලි මාසයේ මුල් භාගය වන විට බ්‍රිතාන්‍යයේ අවන්හල් යළි විවෘත වීමෙන් අනතුරුව පවා මධ්‍යසාර පරිභෝජනයකින් තොරව ජීවත් වීමට 26 හැවිරිදි ටීනා තීරණය කළාය.
"මට මද්‍යසාරවල අවශ්‍යතාවයක් දැනුනේ නැහැ." ඇය හෙළිදරව් කළාය.
ඇය හුදෙකලා නොවුනේ නම් එවැනි හැඟීමක් දැනේවි ද?
මිනිස් ජීවිතය හා මද්‍යසාර අතර පවතින සබඳතාවට කොරෝනා වසංගතය සෘණාත්මකව බලපෑ ආකාරය පිළිබඳව වාර්තා කීපයක් පළවී තිබුණි.
වසංගතය සමඟ ම මධ්‍යසාර පරිභෝජනය සහ අලෙවිය ඉහළ යාම පිළිබඳව ඉන්දියාවේ පටන් බ්‍රසීලය දක්වා මෙන්ම එක්සත් ජනපදය සහ යුරෝප්පයේ රටවල් කීපයක් ම රතු එළි දල්වා තිබුණි.
එක්සත් ජනපදය උදාහරණයක් ලෙස ගතහොත්, අප්‍රේල් මාසයේ අග භාගය වන විට ලොක්ඩවුන් නීති දැඩි කිරීමෙන් පසුව අන්තර්ජාලය ඔස්සේ මත්පැන් අලෙවිය 400%කින් ඉහළ ගොස් තිබුණි.
දකුණු අප්‍රිකාව වැනි ඇතැම් රටවල් මත්පැන් පරිභෝජනය පාලනය කර ගැනීම සඳහා ඒවා අලෙවි කිරීම තහනම් කළහ.
ටීනා ජීවත් වන එක්සත් රාජධානිය තුළ සිදු කෙරෙනු සමීක්ෂණයකින් (Alcohol Change) හෙළි වූයේ, සාමාන්‍ය ප්‍රමාණයට වඩා වසංගත කාලය තුළ තමන් මධ්‍යසාර භාවිත කරන්නේ යයි බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් 30කට ආසන්න ප්‍රමාණයක් විශ්වාස කරන බවය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එය එසේ වී නමුදු, පමණ ඉක්මවා මත්පැන් පානය නොකරන සහ අමද්‍යප පිරිසේ ප්‍රමාණය ද එම කාලය ඇතුළත වර්ධනය වී ඇති බවක් පෙනෙන්නට තිබේ.
මෙම නැඹුරුතාව ද සනාථ කර ඇත්තේ ඉහත කී සමීක්ෂණය තුළින්ම ය. එහි දත්ත වාර්තා අනුව පෙනී යන්නේ 37%ක් වූ පිරිසක්, "මත්පැන් පානය පාලනය කර ගැනීම සඳහා පියවර ගෙන" ඇති බව හෝ සම්පුර්ණයෙන්ම එය අත්හැර ඇති බවය.
"මත්පැන් පානය අතහැර දැමීම සඳහා උත්සාහ කරමින් සිටි ඇතැම් අයට පැවතුනු බාධක මේ වසංගතය නිසා ඉවත් වෙලා තියෙනවා." මත්පැනට ඇබ්බැහි වූවන් වෙනුවෙන් උපදේශන කටයුතු සිදු කරන ජෙම් ටිමොන්ස් පැවසීය.
"ඇතැම් අය දුෂ්කරතාවලට මුහුණ දුන්නේ නැහැ කියල මම කියන්නේ නැහැ. නමුත් මත්පැන් පානය අතහැර ගැනීමට උත්සාහ කරමින් සිටි සමහර උදවියට මේ ලොක්ඩවුන් තත්වයෙන් යහපතක් වුනා." ඔහු තවදුරටත් පැවසීය.
එමෙන්ම, මෙම තත්වය හේතුවෙන් තරුණ පරම්පරාව අමද්‍යප තත්වයකට තල්ලු කර තිබේ.
Z පරම්පරාව
පොදුවේ ගත් කල, 1981 සහ 1996 අතර කාලය තුළ උපන් පරම්පරාව මත්පැනට දක්වන රුචිය ඊට ඉහත පරම්පරාවට වඩා අඩු බව සැළකේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1996න් පසුව උපන් පරම්පරාව ඊටත් වඩා මධ්‍යසාරයෙන් ඈත් වූ බවක් පෙනෙන්නට ඇත. ඇමරිකානු ලේඛකයෙකු වන රුබි වොරින්ටන් 2018 දී පළ කළ පොතක මෙම පරම්පරාව හඳුන්වා ඇත්තේ Z පරම්පරාව නොහොත් Zoomers යනුවෙනි. එක්සත් ජනපදයේ යෞවනයන් මිලියන අටක් යොදා ගනිමින් කැලිෆෝනියා සරසවිය විසින් වසර 30ක් තිස්සේ (1976-2016) සිදු කරන ලද පර්යේෂණයක ප්‍රතිඵල අනුව Zoomers පරම්පරාවේ භද්‍ර යෞවනයන් මත්පැන් පානයට නැඹුරු වී ඇත්තේ ඊට ඉහත පරම්පරාවන්ට වඩා ඉතා අඩු මට්ටමකිනි.
"මීට වසර 20කට ඉහත දී නිරෝගී ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරනවා කියල කිව්වොත් ඒක අමුතු දෙයක් විදියට දැනුනේ. නමුත් දැන් කාලේ එහෙම දෙයක් කිව්වොත් ඒක ලස්සන දෙයක්. දැන් සමාජය බොහොම සවිඥානිකයි. ඔවුන් ඉදිරියේ මත්පැන් පානය යුක්තිසහගත කිරීම එන්න එන්නම දුෂ්කර වී තිබෙනවා." Mintel පර්යේෂණ ආයතනයේ සේවය කරන, මධ්‍යසාර කර්මාන්තය පිළිබඳව විශේෂඥයෙකු වන ජොනි ෆෝසයිත් පැහැදිලි කළේය. "Z පරම්පරාව තමයි අපි බොහෝ කාලයකට පසුව දුටු සෞඛ්‍යසම්පන්න ම පරම්පරාව. ඔවුන් මධ්‍යසාර කර්මාන්තය වෙනස් කරාවි." ඔහු තවදුරටත් පැවසීය.
සමාජ මාධ්‍ය තුළ අමද්‍යපවාදය
ලොව පුරා ඩිජිටල් මාධ්‍ය ඔස්සේ අමද්‍යපවාදය ප්‍රචලිත කරන්නන් රාශියක් බිහි වී සිටිති. වොරින්ටන් ගේ ඉහත කී පොත පළවූයේ ද ඒ පිලිබඳවය.

ඡායාරූප මූලාශ්‍රය, Courtesy of Kelly Fitzgerald
කෙලි ෆිට්ස්ජෙරල්ඩ්, සමාජ මාධ්‍ය ඔස්සේ අමද්‍යප ජීවිතයකට අනුබල දෙන යුවතියකි. ඇය එක්සත් ජනපදයේ ජනප්‍රිය චරිතයකි.
"මේ වසංගත කාලය තුළ අමද්‍යප බව කියන එක අභියෝගයක් වුනාද කියල නම් මම දන්නේ නැහැ. නමුත් අනිවාර්යයෙන්ම ඒක වැඩි පිරිසකට පෙරට වඩා සැබෑවක් සහ අවශ්‍යතාවක් බවට පත් වුණා." ඇය පැවසුවාය.
"අමද්‍යප ජීවිතයක් ගත නොකළ අයට කෝවිඩ් 19 ආවට පස්සේ වැඩි කාලයක් තනිවම හෝ සිය පවුලේ සාමාජිකයන් සමඟ ගත කරන්න සිද්ධ වුනා. ඊට පෙර ඔවුන් 'සාමාන්‍ය' යැයි හිතාගෙන හිටපු සමාජගත වීම හෝ මත්පැන් භාවිතය යුක්ති සහගත කරන්නට ඔවුනට හැකියාවක් ලැබුනේ නැහැ."
"මම හිතන්නේ මේ කාලය තුළ මිනිස්සුන්ට හිතන්න අවස්ථාවක් ලැබුනා 'මගේ මේ මත්පැන් භාවිතය සාමාන්‍ය දෙයක්ද?' කියල." කෙලි ෆිට්ස්ජෙරල්ඩ් තවදුරටත් පැවසුවාය.
ලී මෙන්ගෝ, ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ අමද්‍යපවාදයට අනුබල දෙන තවත් ප්‍රසිද්ධ චරිතයකි. අමද්‍යප වීම හෝ මද පමණින් මත්පැන් භාවිතය පිළිබඳව තිබූ පූර්ව සංකල්පනාවන් පිළිබඳව නැවත වරක් සිතා බලන්නට, මෙම වසංගත සමය නිසා මිනිසුන්ට අවසථාවක් ලැබුණු බව ඔහුගේ ද අදහසය.
"බොන්නේ නැති මිනිස්සු හරිම නීරසයි කියල සමහර මිනිස්සු කියනවා මම අහල තිබුනත් දැන් මිනිස්සු අමද්‍යප බවට හුරු වෙමින් සිටිනවා." ඔහු පැවසීය.
"මිනිස්සු එහෙම කියනකොට ඉස්සර නම් මට ටිකක් කේන්ති ගියා. ඒත් දැන් මම ඒ අයට උත්තර දෙනවා 'රාත්‍රී සාදයකට පස්සේ අමද්‍යප මිනිස්සුන්ට වාහනය පදවාගෙන ගෙදර යන්න පුළුවන්; බීමත් මිනිස්සුත් එක්ක ටැක්සි පෝලිමේ පොරකනවට වැඩිය ඒක හොඳයි' කියල."
මෙම ලිපියේ Instagram විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Instagram කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Instagram post
මිලී ගූච් 27 හැවිරිදි මාධ්‍යවේදිනියකි. ඇය 'The Sober Girl Society' නමැති සමාජ කණ්ඩායමට සහය දක්වමින් ඉන්ස්ටග්‍රෑම් භාවිතා කරන්නියකි. පසුගිය ලොක්ඩවුන් කාලය ඇතැමුන්ට ධනාත්මක වූ බව ඇය ද අනුමත කළාය.


ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මධ්‍යසාරය: කෙතරම් ප්‍රමාණයක් ද?
- ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුත් ම වාර්තාවලට අනුව ලෝකයේ වැඩි දෙනා අමද්‍යප වෙති. වයස අවුරුදු 15ට වැඩි සියලු දෙනා අතරින් මත්පැන් භාවිතා කරන්නේ අඩකටත් අඩු (47%) පිරිසකි. ලෝක ජනගහනයෙන් 44%ක් ජීවිත කාලය පුරාම අමද්‍යප ලෙස සිටින්නෝය.
- නමුත් වසර 2000 දී ලීටර 5.7ක් ලෙස තිබූ ඒක පුද්ගල මත්පැන් පරිභෝජනය වසර 2016 දී ලීටර 6.4ක් බවට පත් වූ බව අමතක නොකළ යුතුය. මෙම ඉහළ යාම ආරම්භ වූයේ කොරෝනාවෛරස් වසංගතය ආරම්භ වීමට පෙර පටන්ය.
- හානිකර මට්ටමින් මත්පැන් පරිභෝජනය කිරීම හේතුවෙන් සෑම වසරකම යටත්පිරිසෙයින් මිලියන තුනක්වත් මිය යති. මෙම සංඛ්‍යාව, අගෝස්තු මාසය අවසන් වනවිට කොවිඩ් 19ට ගොදුරු වී මියගිය ගණන මෙන් තුන් ගුණයකටත් වඩා වැඩිය.
- සුභ ආරංචිය නම්, මත්පැන් භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය පසුගිය දශක දෙක ඇතුළත 5%කින් පහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කිරීමය.

මධ්‍යසාර රහිත බීම
ආකල්පමය වෙනස හේතුවෙන් දැනටමත් බටහිර රටවල අලුත් ව්‍යාපාරික අවස්ථා බිහිවී ඇති බවත් ඒවා නොපමාව ලොව පුරා ව්‍යාප්ත වනු ඇති බවත් විශේෂඥයෝ පවසති.
One Year No Beer නමැති වෙබ් අඩවියට මේවන විට රටවල් 90ක සාමාජිකයන් 70,000ක් සිටිති.
දිනකට භාවිතා කරන මත්පැන් ප්‍රමාණය අඩු කර ගැනීම සඳහා මෙම සාමාජිකයන්ට සහාය ලබා දීම මෙම වෙබ් අඩවියේ එක් අරමුණකි. ඒ සඳහා ඔවුන් නොයෙක් ආකාරයේ අභියෝග ලබා දෙන අතර මත්පැන් ඇසුරකින් තොරව දිනය ගත කරීමට ඔවුනට අවස්ථා ලබා දෙයි.
පසුගිය මාර්තු මාසයේ පටන් ඔවුන්ගේ සාමාජික සංඛ්‍යාව සියයට 30කින් ඉහළ ගොස් තිබේ. වඩා යහපත් සෞඛ්‍ය පුරුදු ප්‍රවර්ධය කිරීම සඳහා ඔවුනට රජයේ සහයෝගය ද ලැබී තිබේ.
මධ්‍යසාර ප්‍රතිශතය අඩු සහ මධ්‍යසාර රහිත බීම වර්ගවල අලෙවිය ද වසංගත කාල සීමාව තුළ වැඩි වී ඇති බව එවැනි බීම වර්ග නිෂ්පාදනය කරන්නන්ගේ අත්දැකීමයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පෝල් මැතිව් පසුගිය වසරේ මධ්‍යසාර රහිත බීම වර්ග නිෂ්පාදනය ඇරඹීය. ඒවා අලෙවි කෙරුණේ අවන්හල් තුළ පමණි.
වසංගතය පැමිණීමත් සමඟ තම ව්‍යාපාරයේ පැවැත්ම පිළිබඳව ඔහු බියට පත්විය. එබැවින් තම නිෂ්පාදන සෘජුවම මහජනතාවට අලෙවි කිරීම ආරම්භ කිරීමට ඔහු පියවර ගත්තේය.
දින කීපයකින් පාරිභෝගික ඇනවුම් ගලා එන්නට පටන් ගත් අතර සිය නිෂ්පාදන අලෙවිය 4,000%කින් ඉහළ ගියේය.
"මාසෙකට බෝතල් සීයක් දෙසීයක් විකුණපු අපි මාසෙකට බෝතල් දහස් ගණනක් විකුණන තත්වයට පත් වුණා." පෝල් පැවසීය.
Aeresearch/Market Study නමැති විශ්ලේෂකයන් පසුගිය අගෝස්තු මාසයේ, මධ්‍යසාර රහිත බීර වර්ග පිළිබඳව වාර්තාවක් නිකුත් කළේය. පාරිභෝගිකයන් මධ්‍යසාර රහිත බීම වර්ග දෙසට නැඹුරුවෙමින් සිටින බව එම වාර්තාවේ සඳහන් කර තිබේ. මධ්‍යසාර රහිත බීම කර්මාන්තය වසර 2024 වන විට යුරෝපයේ පමණක්, ඇමරිකානු ඩොලර් බිලියන 6ක අලෙවියක් ඉක්මවා යනු ඇති බවට ද ඔවුන් ඇස්තමේන්තු කර තිබේ.
මෙය අප්‍රිකානු රටවල මෙන්ම මැදපෙරදිග රටවල ද ව්‍යාප්ත වන ව්‍යාපාරයක් බවට පත්වන බවට අනාවැකි පළකර ඇත.
පමණ ඉක්මවා මත්පැන් පානය කිරීම මගින් ඇතිවන සෞඛ්‍ය ප්‍රශ්න පිළිබඳව ජනතාවගේ දැනුවත්භාවය ඉහල යාම හේතුවෙන් විකල්ප බීම වර්ග කෙරෙහි ඇදී යමින් සිටින බව එම වාර්තාව සඳහන් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක් තරම් වූ ගෝලීය මත්පැන් අලෙවිය සමඟ ගත් කල මධ්‍යසාර රහිත බීම වර්ගවල අලෙවිය ඉතා කුඩා පංගුවක් බව සත්‍යයකි.
නමුත් එවැනි ශක්තිමත් යෝධ කර්මාන්තකරුවන් පවා මධ්‍යසාර රහිත බීම වර්ග නිෂ්පාදනය තීව්‍ර කර ඇත.
ආසන්නතම උදාහරණයක් ලෙස Heineken Zero නමින් නිෂ්පාදනය වූ මධ්‍යසාර රහිත බීර වර්ගය දැක්විය හැකිය.
ලෝකයේ දැවැන්තම පාපන්දු තරඟාවලියක් වන UEFA Europa ලීගයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය සඳහා එම බීර වර්ගය පත් වීමට නියමිතය. සාමාන්‍යයෙන් මෙවැනි ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර තරගාවලි සඳහා අනුග්‍රාහකත්වයට පත්වන්නේ ප්‍රධාන පෙලේ මත්පැන් වර්ගයන් ය. විශේෂයෙන් ම බීර වර්ග ය.
එමෙන්ම, බකාඩි නමැති රම් වර්ගය නිෂ්පාදනය කරන්නන් විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ 2019 වසරේදී අන්තර්ජාලයේ ගූගල් සෙවුම් සඳහා "mocktail" යන වචනය යොදා ගත් අවස්ථා ගණන 42%කින් ඉහළ ගොස් ඇති බවය. "mocktail" යනු මධ්‍යසාර රහිත මිශ්‍ර පාන (cocktails) හැඳින්වීම සඳහා යොදා ගන්නා වචනයයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
නමුත් හොඳ පුරුදු දිගටම පවතීද?
ටීනා රුද්රිගස් ගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙකු ලොක්ඩවුන් කාලය තුළ මත්පැන් පානය අඩු කර හෝ නවතා දමා ඇති නමුත් මීළඟ සාදයට සහභාගි වීමේ දී කුමන තත්වයක් ඇතිවේදැයි ඇයට ද සැකයක් පවතී.
"මම හිතන්නේ අපි හැමෝම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරුවෙමින් ජීවත් විය යුතුයි." ටීනා පැවසීය.
නමුත් ඇයගේ සාමාන්‍ය ජීවිතය නැවත ආරම්භ වූ විට මෙම යහපත් දින චර්යාවන් දිගටම පවත්වා ගත හැකි වේද?
විශේෂඥයන් පවසන්නේ ජනතාවගේ අධිෂ්ඨාන ශක්තිය පමණක් මෙම ප්‍රශ්නයට එකම පිළිතුර නොවනු ඇති බවය.
ආගන්තුක සත්කාරයන් හා සබැඳි කර්මාන්ත (hospitality industry) මත ද එම වගකීම පැවරෙන බව ලේඛකයෙකු හා අමද්‍යප ජීවන රටාව පිළිබඳ උපදේශකයෙකු වන මැන්ඩි මැනස් ගේ අදහසයි.
"මත්පැන් පානය කිරීමට අකමැති පාරිභෝගිකයන්ට පවා ගැලපෙන සත්කාර ක්‍රම හෝටල් සහ අවන්හල්වල තිබිය යුතුයි."
"ඔවුන්ට විකල්ප තෝරා ගැනීම් සපයා තියෙන්න ඕනා; එතකොට අපි හැමෝටම එකම මේසය වටා ඉඳගන්න පුළුවන්."

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මීට අමතරව, මත්පැනට හුරු වී සිටින ඇතැම් ජන කොට්ඨාශ මේ වන විට මත්පැන් පිළිබඳව සවිඥානික වීමේ නැඹුරුවක් පවතී.
One Year No Beer ව්‍යාපෘතියේ බහුතර සාමාජිකයන් වයස අවුරුදු 35ත් 55ත් අතර වන පිරිසකි. අලුතින් බැඳෙන සාමාජිකයන්ගෙන් බහුතරය වයස අවුරුදු 40 ඉක්මවූ පිරිසය.
නවසීලන්තයේ වෙසෙන ක්ලෙයාර් බූත් 56 හැවිරිදි කාන්තාවකි. ඇය ද One Year No Beer වැඩසටහනට එක් වුවාය.
පසුගිය ජනවාරියේ පටන් ඇය මත්පැන් භාවිතය අඩු කරන්නට පියවර ගත්තේ චීනයේ කොරෝනාවෛරසය පැතිර යන බව සැල වීමෙන් අනතුරුවය.
"මගේ ප්‍රධානම අරමුණ වුණේ මේ රෝගයෙන් මිදී සිටීම සඳහා නිරෝගී සෞඛ්‍යයක් ඇතිකර ගැනීම." ඇය පැවසුවාය.
මුලින්ම ලොක්ඩවුන් නීති ක්‍රියාත්මක කළ රටක් බවට නවසීලන්තය පත් වන විටත් ඇය අර්ධ-අමද්‍යප මට්ටමකට පත් වී සිටියාය.
"මම පසුගිය මාස හයටම මත්පැන් පානය කරලා තියෙන්නේ තුන් වතාවයි." ක්ලෙයාර් පැවසුවාය.
වැඩිහිටි පරම්පරාව පවා මත්පැන් පානය පිළිබඳව නැවත සිතා බලන්නට පෙළඹීම ගැන මිලී ගූච් විශ්මයට පත් නොවන්නීය.
"අමද්‍යප වීම අලුත්ම නැඹුරුවක් බවට පත්වෙලා හමාරයි. එය සහශ්‍ර පරම්පරාවට හෝ Z පරම්පරාවට පමණක් සීමා වූ දෙයක් නොවෙයි." මිලී පවසන්නීය.
"සමහර විට අපි සමාජ මාධ්‍ය පරම්පරාව නිසා වෙන්න ඇති; අපි මේ ගැන වැඩියෙන් කතා කරනවා."
"ඒ වගේම වැඩිහිටි පරම්පරාව පවා අමද්‍යප කරවීම සඳහා දීප්තිමත් එලි දල්වන මිනිසුන් අද බිහිවෙලා ඉන්නවා" ඇය තවදුරටත් පැවසුවාය.











