මත්පැනට හුරු ස්ත්‍රියට පණිවිඩයක්

පර්යේෂණ වාර්තාවේ සඳහන් වන්නේ මත්පැන් පානය ඉන් එක් සාධකයක් පමණක් බවය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මත්පැන් පානයට හුරු කාන්තාවන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම ඉහළ බව නවතම පර්යේෂණයකින් තවදුරටත් සනාථ වෙයි.

පිළිකා පර්යේෂණ සඳහාවන ලෝක අරමුදල නිකුත්කළ වාර්තාවේ සඳහන් වන්නේ දිනකට වයින් වීදුරු භාගයක් හෝ බීර කුඩා ප්‍රමාණයක් පානය කිරීමෙන් පවා පියයුරු පිළිකා වැළඳීමේ අවදානම ඉහළ යන බවය.

නමුත් ශාරීරික ව්‍යායාම තීව්‍ර ලෙස සිදුකිරීම මගින් අවදානම අඩුකරගත හැකි බවද මෙම පර්යේෂණය තුළින් සනාථවී තිබේ.

කාන්තාවන් මිලියන දොළහකගේ වෛද්‍ය වාර්තා පදනම් කරගනිමින් සිදු කරන ලද අධ්‍යයනයන් සියයකට අධික ප්‍රමාණයක් මෙම නව පර්යේෂණය සඳහා යොදා ගෙන ඇත.

පරම්පරාවෙන් උරුම වූ ජාන ද පියයුරු පිළිකා ඇතිවීමට බලපානු ඇත

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පරම්පරාවෙන් උරුම වූ ජාන ද පියයුරු පිළිකා ඇතිවීමට බලපානු ඇත

කෙසේ නමුත් විද්‍යාඥයන් පවසන්නේ පිළිකාවක් ඇතිවීම සඳහා ශරීරයේ හෝර්මෝන මට්ටම, ජීවන ශෛලිය සහ වෙනත් සෞඛ්‍යමය ගැටළු වැනි විවිධාකාර හේතුන් බලපාන බවය.

තම පවුලේ ඥාතීන්ට පියයුරු පිළිකා වැළඳී ඇත්නම්, මාස්ශුද්ධිය නතරවීමෙන් පසු හෝ වයස අවුරුදු 50 ඉක්මවීමෙන් පසු කාන්තාවකට පියයුරු පිළිකා වැළඳීමේ අවදානමක් පවතින බව වෛද්‍යවරු පවසති.

එමෙන්ම උසින් වැඩි කාන්තාවන්ට සහ වයස අවුරුදු 12ට කලින් ආර්තවය (මාස්ශුද්ධිය) ආරම්භ වූ කාන්තාවට ද මෙම අවදානම වැඩි බවට වෛද්‍යවරු විශ්වාස කරති.

එවැනි සාධක 18ක් ඇතුළත් නවතම පර්යේෂණ වාර්තාවේ සඳහන් වන්නේ මත්පැන් පානය ඉන් එක් සාධකයක් පමණක් බවය.

පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩු කර ගැනීම සඳහා බයිසිකල් පැදීම, දිවීම වැනි තීව්‍ර ව්‍යායාම වැදගත් වෙයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩු කර ගැනීම සඳහා බයිසිකල් පැදීම, දිවීම වැනි තීව්‍ර ව්‍යායාම වැදගත් වෙයි

තමන්ගේ ආහාර රටාව, ශරීරයේ බර සහ ව්‍යායාම වැනි පාලනය කළහැකි සාධක කෙරෙහි සැලකිලිමත්වීම මගින් පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩු කරගත හැකි බවද එම සමීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි.

පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩු කර ගැනීම සඳහා බයිසිකල් පැදීම, දිවීම වැනි තීව්‍ර ව්‍යායාම වැදගත් වෙයි.

එමෙන්ම වෛද්‍යවරු පවසන්නේ මව්කිරි ලබාදීම මගින්ද අවදානම අඩුවන බවය.

තම ආහාරයට වැඩිපුර පලාවර්ග එක්කර ගන්නා ලෙසද වෛද්‍යවරු උපදෙස් දෙති.