ඊශ්‍රායලයේ සිට එක්සත් අරාබි එමීරයට ඓතිහාසික ගුවන් ගමනක්

EPA

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඊශ්‍රායලයේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ප්‍රථම වරට වාණිජ ගුවන් යානයක් පියාසර කෙරුණි.

දෙරට අතර සාම ගිවිසුමක් අත්සන් කළ බවට පසුගිය දා නිවේදනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත්තේ ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවතින සබඳතා යථා තත්වයට පත් කරගැනීම සඳහා ගත් ප්‍රධාන පියවරක් ලෙසිනි.

ඊශ්‍රායලයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිත පිරිසක් රැගෙන මෙම ප්‍රථම ගුවන් ගමන සිදු කෙරුණේ ඊශ්‍රායලයේ El Al ගුවන් සේවයට අයත් යානයකිනි.

සාමාන්‍යයෙන් ඊශ්‍රායලයට තහනම් ප්‍රදේශයක්ව තිබෙන, සෞදි ගුවන් කලාපයට ඇතුළු වීමට මෙම ගුවන්යානයට අවසර ලබා දී තිබේ. මෙය පැය තුනක ගුවන් ගමනකි.

ඊශ්‍රායලය නීත්‍යානුකූල රාජ්‍යයක් ලෙස පිළිගත් තුන්වැනි මැදපෙරදිග රට බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පත්විය.

ඊශ්‍රායලයට එරෙහිව සම්මතකර ගෙන තිබූ නීතියක් අවලංගු කිරීමට ද එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුගිය සෙනසුරාදා පියවර ගත්තේය.

එමෙන්ම, මේ මස මුලදී දෙරට අතර සෘජු දුරකථන සේවා ආරම්භ වූයේ ප්‍රථම වතාවට ය.

Reuters

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඊශ්‍රායලය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර සබඳතා සාමාන්‍ය තත්වයට පත් වන බවට කිසිවෙකු අපේක්‍ෂා නොකළ අයුරින් නිවේදනය කෙරුනේ අගෝස්තු 13 වැනිදාය. මෙහි මැදිහත් කරුවා වූයේ ඇමරිකා එක්සත් ජනපදයයි.

ඊශ්‍රායලයෙන් පිටත් වූ මෙම පළමු ගුවන් ගමනට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ බෑණනුවන් ද සහභාගි විය.

ඊට අමතරව, ඇමරිකානු ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු වන ජෙරාඩ් කුෂ්නර් සහ ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක උපදේශක මීර් බෙන් ශබාත් ද මෙම ගුවන් යානයට ගොඩ විය.

ඊශ්‍රායල සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති රහස් සාකච්ඡාවලට නායකත්වය ලබා දෙන ලද්දේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජේෂ්ඨ උපදේශක ජෙරාඩ් කුෂ්නර් විසිනි.

මෙම ගුවන් ගමනට සහභාගි වන කණ්ඩායම එමීර් නියෝජිතයන් හමුවී, දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම සඳහා ගතයුතු ඉදිරි පියවර පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතය.

ඊශ්‍රායලයෙන් පිටත් වූ ගුවන් යානය හඳුන්වා තිබුණේ LY971 යන අංකයෙනි. 971 යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වෙන් වූ අන්තර්ජාතික දුරකථන කේත අංකයයි (international dialling code).

EPA

ඡායාරූප මූලාශ්‍රය, EPA

මෙම රාජ්‍යතාන්ත්‍රික පිරිස සමඟ ආපසු ඊශ්‍රායලය බලා පියාසර කරන ගුවන් යානය නම් කර ඇත්තේ LY972 ලෙසිනි. එම අංකය ඊශ්‍රායලයේ ජාත්‍යන්තර දුරකථන කේතය නියෝජනය කරයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතනියාහු මෙම අවස්ථාව පිළිබඳව සිය ප්‍රීතිය ප්‍රකාශ කර තිබුණි. එමෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවද මේ පිළිබඳව සතුට පළ කර තිබුණි.

නමුත් පලස්තීන ජාතිකයන් පවසා තිබුණේ ඊශ්‍රායලය රාජ්‍යයක් ලෙස පිළිගැනීම මගින් එක්සත් අරාබි එමීරය පලස්තීනුවන්ගේ සටන පාවා දී ඇති බවය.

කෙසේ නමුත් මෙම සාම පියවරට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් බටහිර තීරයේ ජනාවාස තැනීමට කර තිබූ සැලැස්ම අත්හිටුවීමට අගමැති නෙතනියාහු එකඟ වී තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පෙර ඊශ්‍රායලය නිල වශයෙන් පිළිගත් මැදපෙරදිග රටවල් දෙක ඊජිප්තුව සහ ජෝර්දානයයි.

ඊජිප්තුව 1978 දී සහ ජෝර්දානය 1994 දී ඊශ්‍රායලය සමඟ සාම ගිවිසුම් අත්සන් කළහ.