ජෙරුසලම,පලස්තීනය සහ ඊශ්‍රායලය : මුස්ලිම් රටවලින් ඉල්ලීමක්

People wearing masks featuring Jerusalem's Dome of the Rock mosque gather outside the Organisation of Islamic Co-operation summit in Istanbul (13 December 2017)

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉස්තාන්බුල් නුවර හමුව පැවති ගොඩනැගිල්ල ඉදිරිපිට පලස්තීනයට සහාය පළ කරන පිරිස් විරෝධතාවක් සංවිධානය කර තිබිණි

නැගෙනහිර ජෙරුසලම පලස්තීනයේ අගනුවර ලෙස පිළිගන්නා ලෙස මුස්ලිම් රටවල් පනස් හතක නායකයෝ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිති.

ඔවුන් එම ඉල්ලීම සිදු කළේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර පැවති හදිසි සාකච්ඡාවකින් අනතුරුවය.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට එරෙහිව මුස්ලිම් රටවල් ගණනාවක් විරෝධය පළ කරති.

ජනාධිපති ට්‍රම්ප් කලාපීය සාමය වෙත සිතාමතාම බාධා එල්ල කර ඇති බවට හමුවෙන් පසු නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනය මගින් චෝදනා කර තිබේ.

මේ අතර ජෙරුසලම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා ගත් තීන්දුව ඊශ්‍රායලයේ පැසසුමට ලක්විය.

ජෙරුසලම

සිය සාමාජික රටවල් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිනොගන්නා බව යුරෝපා සංගමයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රධානී ෆෙඩ්රිකා මොග්හරිනි සඳුදා (දෙසැ 11) ප්‍රකාශ කළාය.

ඇය විසින් එවැනි ප්‍රකාශයක් සිදු කරනු ලැබුවේ ජෙරුසලම, ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීන්දුවට යුරෝපා සංගමයේ සහාය ඉල්ලමින් ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු බ්‍රසල්ස් බුවර සංචාරයක නිරත වූ අවස්ථාවේදීය.

ජෙරුසලම පිළිබඳ මතභේදය ඊශ්‍රායල පලස්තීන ගැටුමේ ආරම්භය දක්වා දිවයන්නකි.

විශේෂයෙන් නැගෙනහිර ජෙරුසලම තුළ යුදෙව්, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගමික ප්‍රජාවන් විසින් පුජනීයත්වයේ ලා සලකනු ලබන ප්‍රධාන ආගමික සිද්ධස්තාන කිහිපයක් පිහිටා තිබේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනගරය ලෙස පිළිගැනීමට ඇමරිකාව සූදානම්

ජෝර්දානය අත්පත් කර ගෙන සිටි නැගෙනහිර ජෙරුසලම ඊශ්‍රායලය විසින් අත්පත් කර ගනු ලැබුවේ 1967 වසරේ මැදපෙරදිග යුද්ධයෙන් පසුවය.

සම්පූර්ණ ජෙරුසලම සිය නිල නොලත් අගනුවර ලෙස ඊශ්‍රායලය විසින් සලකනු ලැබීය.

පලස්තීනුවන් විසින් නැගෙනහිර ජෙරුසලම සලකනු ලබන්නේ සිය අනාගත රාජ්‍යයේ අගනුවර ලෙසය.

ජෙරුසලම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ස්වෛරීත්වය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් නොවුනකි. එසේම මේ වනතෙක් සියලු රටවල් සිය තානාපති කාර්යාල පවත්වාගෙන යනු ලබන්නේ ටෙල්අවීව් නුවර තුළය.

සබැඳි යොමු: