ඉන්දියාව: ෆේස්බුක් සටහනකට විරෝධය පළ කළ පිරිසට වෙඩි

India

ආගමකට අපහාසාත්මක වන ආකාරයේ බව සැලකෙන ෆේස්බුක් සටහනකට විරෝධය පළ කරමින් සිටි පිරිසකට ඉන්දීය පොලීසිය සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

බැංගලෝරයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ ඥාතියෙකු මුහම්මද් නබිතුමා ගැන "අපහාසාත්මක" ෆේස්බුක් සටහනක් පළ කළ බවට චෝදනා නඟමින් අදාළ දේශපාලඥයාගේ නිවස ඉදිරිපිට විශාල පිරිසක් විරෝධතාවක නිරත වී තිබුණි.

ඔවුන් වාහනවලට ගිනි තබා, එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන්ට ගල්වලින් පහර දුන් බව පොලිසිය බීබීසී හින්දි සේවයට පැවසීය.

සටහන පළ කළ පුද්ගලයා සහ විරෝධතාකරුවන් 110 දෙනෙකු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අඟහරුවාදා (අගෝස්තු 11) රාත්‍රියේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පොලිස් නිලධාරීන් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව නගර කොමසාරිස් කමල් පාන්ට් පැවසීය.

මේ වන විට නගරයේ පොලිස් දිස්ත්‍රික්ක දෙකක ද ඇඳිරි නීතිය පනවා තිබෙන බව ද ඔහු තවදුරටත් පැවසුවේය.

මේ අතර, "තත්වය පාලනය කර ඇති බව" පොලිසිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය. පිරිස විසුරුවා හැරීම සඳහා පළමුව කඳුළු ගෑස් සහ බැටන් පොලු භාවිතා කර ඇති අතර, පසුව සජීවී පතොරම් ප්‍රහාර එල්ල කර තිබේ.

බැංගලෝර් අගනුවර වන කර්ණාටක ප්‍රාන්තයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ගැටුමේ දී සිදු වූ මරණ ගණන තහවුරු කර තිබේ.

විරෝධතාකරුවන් අදාළ දේශපාලනඥයාගේ නිවස සහ පොලිස් ස්ථානයක් පිටත රැස්වීමෙන් පසුව මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම ආරම්භ වූ බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර අමාත්‍ය අඛණ්ඩ ශ්‍රිනිවාස් මූර්ති විරෝධතාකරුවන්ට සන්සුන්ව සිටින ලෙස වීඩියෝ ඔස්සේ ආයාචනයක් ඉදිරිපත් කර ඔවුන්ට යුක්තිය ඉටු කරන බවට පොරොන්දු විය.

"නීතිය උල්ලංඝණය කළ කෙනෙකුට එරෙහිව සටන් නොකරන ලෙස මම මගේ මුස්ලිම් සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනවා. කාරණය කුමක් වුවත්, අපි සියල්ලෝම සහෝදරයෝ. වගකිව යුතු අය වගකිවයුත්තන්ට නිසි දඬුවම් ලබා දෙන බවට අපි සහතික වෙනවා. මම ඔබ සමඟ සිටිනවා," ඔහු පැවසීය.

මේ තොරතුරු ද කියවන්න: