ඉස්ලාමීය නීතිය අනුව සමලිංගික සේවනයේ යෙදෙන්නන්ට මරණ දඬුවම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සමලිංගික පුරුෂයන් ලිංගිකව එක්වීම ගල් ගසා මරණයට පත් කළ හැකි 'වරදක්' බවට පත්කරමින් දැඩි ඉස්ලාමීය නීති හඳුන්වාදීමට බෘනායි රාජ්‍යය ක්‍රියා කර තිබේ.
බදාදා (මාර්තු 03) සිට නව නීතිය ක්‍රියාත්මක වන අතර, සොරකම් කිරීමේ වරදට දෑත් කපා දැමීම වැනි තවත් දැඩි දඬුවම් කීපයක් ද ඒ අතර වේ.
මෙම දඬුවම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතී.
බෘනායි පාලනය හිමි සුල්තාන්වරයා ජාතිය අමතමින් පැවසුවේ, ඉස්ලාමීය ඉගැන්වීම් "දැඩි" ලෙස අනුගමනය කළ යුතු බවය.
"මේ රට තුළ ඉස්ලාමීය ඉගැන්වීම් බලවත් වෙනවා දකින්න මට අවශ්‍යයි," හසනාල් බෝල්කිආ (Hassanal Bolkiah) සුල්තාන්වරයා ජාතිය අමතමින් ප්‍රකාශ කළ බව AFP පුවත් සේවය වාර්තා කර තිබිණ.
මෙම "මධ්‍යතන යුගයේ දඬුවම්" හේතුවෙන් තමන් දැඩි තිගැස්මකට සහ බියට පත් වී සිටින බව බෘනායි හි දිවිගෙවන සමලිංගික ප්‍රජාව පවසති.
"උදෑසන අවදි වෙනකොට තමන්ගේ අසල්වැසියන්, පවුලේ අය හෝ පාර අයිනේ ඉදන් ඉස්සෝ බැදුම් විකුණන අර ලස්සන වයසක නෝනා ඔයා මනුස්සයෙක් නෙමෙයි කියලා හිතලා, ඔයාට ගල් ගසා මරා දමන්න ඕනේ කියන එක අනුමත කරන එක දැනගැනීම ගැන සිතා බලන්න," යැයි සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ බෘනායිහි දිවිගෙවන සමලිංගික පුරුෂයෙකු බීබීසී වෙත පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බෘනායි දණ්ඩ නීති සංග්‍රහයේ සිදු වූ නව සංශෝධන මොනවාද?
කාන්තා දූෂණය, අනාචාරයේ හැසිරීම, සමලිංක සේවනය, සොරකම් සහ මුහම්මද් නබිතුමාණන්ට අපහාස කිරීම වැනි වරදවලට මරණ දණ්ඩනය පැනවිය හැකිය.
කස පහර හතළිහක් හෝ වසර දහයක උපරිම සිර දඬුවමක් සමලිංගික සේවනයේ යෙදීම වෙනුවෙන් හඳුන්වා දී ඇති වෙනත් දඬුවම්ය.
ගබ්සා කිරීම් සඳහා දඬුවම ප්‍රසිද්ධියේ කස හෝ වේවැල් පහර එල්ල කිරීමය. දෑත් කපා දැමීම සොරකම සඳහා හඳුන්වා දී ඇති දඬුවමය.
"වයස 18ට අඩු දරුවන්ට ඉස්ලාම් ආගම හැර වෙනත් ආගම්වල ඉගැන්වීම් වැළඳ ගැනීමට අනුබල දීම, ඒ ගැන පැවසීම හෝ පෙළඹවීම," අපරාධකාරී ක්‍රියාවක් ලෙස නම් කර ඇත.
මේ අතරින් බොහෝ නීති අදාළ වන්නේ මුස්ලිම්වරුන්ට පමණක් වුවද සමහර නීති වෙනත් ආගම් අදහන පුද්ගලයන්ට එරෙහිව ද ක්‍රියාත්මක වේ.
එමෙන්ම, සමහර නීති ක්‍රියාත්මක වන්නේ අදාළ වරදට චෝදනා ලද පුද්ගලයන් පාපොච්චාරණ සිදු කළ විට හෝ සාක්ෂිකරුවන් සිටින විට පමණය.
බෘනායි, තෙල් සහ ගෑස් අපනයනය මගින් දියුණු වූ රාජ්‍යයකි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හැත්තෑ දෙවෙනි වියේ පසුවන සුල්තාන්වරයා බෘනායිහි ආයෝජන ආයතනයේ ප්‍රධානියා වන අතර, ලෝකයේ ඉහළ පෙළේ හෝටල් කීපයක හිමිකාරිත්වය ඔවුන් සතුය.
බෘනායි රාජකීය පවුලට අති විශාල පෞද්ගලික ධනයක් හිමි අතර, වැඩි වශයෙන් එහි වෙසෙන මැලේ ජන කොට්ඨාසයට අයත් වැසියන් රජයේ නොමසුරු දීමනා භුක්ති විදින අතර ඔවුන්ට බදු පැනවීමක් නොමැත.
එහි ජනගහනයෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් මුස්ලිම්වරුන්ය.
සමලිංගික සේවනය මින් පෙර ද බෘනායිහි තහනම් වූ අතර, එය වසර දහයක උපරිම සිර දඬුවමක් ලැබිය හැකි වරදකි.
1957 වසරේ දී බෘනායිවලට මරණ දණ්ඩනය හඳුන්වා දී ඇති නමුත් මේ වනතෙක් එය ක්‍රියාත්මක කර නොමැත.
මේ තොරතුරුද කියවන්න:
මෙය බෘනායිහි ඉස්ලාම් නීතිය හඳුන්වා දුන් පළමු අවස්ථාව ද?
දැඩි විවේචන හමුවේ වුව ද 2014 වසරේ දී බෘනායිවලට ෂරියා නීතිය හඳුන්වා දී තිබේ. මේ වනවිට එරට ෂරියා නීතිය සහ පොදු නීතිය ඇතුළත් ද්විත්ව නීති පද්ධතියක් ක්‍රියාත්මක වේ.
සමලිංගිකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පවතින නීතිමය තත්වය
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අදටත් බලපැවැත්වෙන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සකස් කළ නීතියකි.
දණ්ඩ නීති සංග්‍රහයේ 365 (A) සහ 365 යන වගන්ති අනුව, කිසියම් පුරුෂයකු විසින් ස්‌වභාවධර්මයට එරෙහිව කාමුක සංසර්ගයේ යෙදුනහොත් දස වසරක් දක්‌වා දීර්ඝ විය හැකි සාමාන්‍ය හෝ බරපතළ සිර දඩුවමක් ලබාදිය යුතු අතර, ඒ කවර හෝ පුද්ගලයා දඩයකටද යටත් කළ යුතුය.
පසුකාලීනව 1995 දී කරන ලද නීතිමය සංශෝධන මගින් "පුරුෂයන් අතර සිදුවන සොබාදහමට එරෙහි ලිංගික හැසිරීම්" යන්නට කාන්තාවන් ද එක් කර ඇත.
මෙම නීතිය සංශෝධනය කළ යුතු යැයි සමාජය තුළ දැඩි කතා බහක් ඇති වී තිබුණ ද, 2017 වසරේ දී සමලිංගික සබඳතා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හමුවට ආ යෝජනාව ඉවත දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ක්‍රියා කරන ලදී.
සමරිසි ප්‍රජාව සම්බන්ධයෙන් නීති වෙනස් කළ ලෝකයේ වෙනත් රටවල්
ලොව ඇතැම් රටවල් සමලිංගික ප්‍රජාව සම්බන්ධයෙන් පවතින නීති වෙනස් කිරීමට කටයුතු කර තිබෙන අතර ඇතැම් බටහිර රටවල සමලිංගික විවාහ නීතිගත කර තිබේ.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ද ඓතිහාසික තීන්දුවක් දෙමින්, තවදුරටත් සමලිංගිකත්වය එරට සාපරාධී වරදක් නොවන බව පසුගිය 2018 සැප්තැම්බර් 06 වෙනිදා ප්‍රකාශයට පත් කළේය.
එමෙන්ම සමලිංගික විවාහය නීතිගත කිරීමට මග පාදමින් නව නීති සම්පාදනය වියයුතු බව තායිවානයේ ඉහළම අධිකරණය 2017 වසරේදී තීන්දු කළේය.
පසුගිය වසර තුළ ඔස්ට්‍රේලියාවේ ද සමලිංගික විවාහය නීතිගත කෙරිණි.



























