ඉන්දියාවේ කොරෝනාවෛරස් ආසාදිතයන් මිලියන දෙකක්; අප්‍රිකාවේ මිලියනයක්

ඉන්දියාවේ මිලියන දෙකකට අධික පිරිසකට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි එරට නිල වාර්තා සඳහන් කරයි.

මුළු ආසාදිතයන් ප්‍රමාණය දැක්වෙන ඉන්දීය නිල සංඛ්‍යා ලේඛනයේ පළමු මිලියනය වාර්තා වූයේ මීට දින 20කට පෙරය. ඒ අනුව, වැඩි ආසාදිතයන් ප්‍රමාණයක් සිටින බ්‍රසීලය සහ එක්සත් ජනපදයට වඩා වැඩි වේගයකින් ඉන්දියාවේ වෛරසය පැතිර යන බව පෙනේ.

ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදු කෙරෙන පරීක්ෂණ පසුගිය සති කිහිපය තුළ පුළුල් කර තිබේ. එක් එක් ප්‍රාන්තවලින් වාර්තාවන තත්ත්වය විවිධාකාරය.

රටේ ඇතැම් ස්ථානවලින් ආසාදිතයන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙමින් පවතින නමුත් වෛරසයට ගොදුරු වීමෙන් ඉන්දියාවේ මිය යන ප්‍රමාණය අනුපාතයක් ලෙස ගත් කළ අඩු මට්ටමක පැවතීම හේතුවෙන් රට පුරා කලින් පනවා තිබූ සීමා ලිහිල් කෙරෙමින් පවතී.

නමුත් ඇතැම් ප්‍රාන්තවල තවමත් දැඩි සීමා ක්‍රියාත්මක කෙරෙයි.

එම සීමා අතර ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක වන ලොක්ඩවුන් නීති පැනවීම සහ ඇතැම් ක්‍රියාකාරකම් සීමා කිරීම තෝරාගත් නගර සහ දිස්ත්‍රික්ක තුළ පමණක් පනවා තිබේ.

මේ වන විට කොරෝනාවෛරස් ආසාදිතයන් ප්‍රමාණය මිලියන දෙක ඉක්මවා ගිය තුන්වැනි රට ලෙස ඉන්දියාව සටහන් වී ඇත.

පසුගිය පැය24 ක් ඇතුළත පමණක් ඉන්දියාව තහවුරු කර ගත් ආසාදිතයන්ගේ ගණන 62,170ක් විය. ඒ අනුව රටේ මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,025,409 දක්වා ඉහළ ගියේය.

කොවිඩ් 19 රෝගයට ගොදුරු වීමෙන් ඉන්දියාවේ 40,700ක් පමණ මේ වන විට මිය ගොස් ඇති බව එරට නිල වාර්තා සඳහන් කරයි. ලොව පුරා වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රටවල් ඇතුළත් ලයිස්තුවේ පස්වැනි ස්ථානයේ සිටින්නේ ඉන්දියාවය.

නමුත් විශේෂඥයන් පවසන්නේ බිලියන 1.3ක ජනගහනයක් පවතින රටක් ලෙස ගත් කල මෙම මරණ සංඛ්‍යාව එතරම් ඉහළ මට්ටමක් ලෙස සැලකිය නොහැකි බවය.

කෙසේ නමුත් කොරෝනාවෛරස් වසංගතයෙන් මිය යන ප්‍රමාණය අඩු මට්ටමකින් නිල වාර්තාවල දක්වන බවට ඉන්දීය රජයට චෝදනා එල්ල වේ. ඊට දැක්වෙන විවිධ හේතූන් අතර, දත්ත වාර්තා වීම නිසි ලෙස සිදු නොවීමත් මරණයට හේතුව කොවිඩ් 19 රෝගය ද යන්න තහවුරු කරගැනීමක් සිදුවේද යන්නත් ප්‍රධාන වශයෙන් පවතී.

මේ අතරතුර ඉන්දියාවේ ආර්ථිකය නැවතත් විවෘත වෙමින් පවතී. හිටි හැටියේම පැනවූ දැඩි ලොක්ඩවුන් නීති මාස දෙකක් තිස්සේ ක්‍රියාත්මක වූ අතර ඒවා ලිහිල් වෙන්නට පටන් ගත්තේ ජුනි මාසයේ මුල් භාගයේදී ය. එහි අලුත් ම පියවර වන්නේ ව්‍යායාම ශාලා සහ කායවර්ධන මධ්‍යස්ථාන විවෘත වීමය.

කොරෝනාවෛරස් ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදු කෙරෙන පරීක්ෂණ ද පුළුල් කොට ඇත. නමුත් එය රට පුරාම සමාන මට්ටමකින් සිදු නොවේ.

ඇතැම් ප්‍රාන්තවල පුද්ගලයන් දශලක්ෂයකට 40,000ක් වැනි ඉහළ අනුපාතයකින් සිදුවන නමුත් තවත් ප්‍රාන්තයක පුද්ගලයන් දශ ලක්ෂයකට 6,000ක් වැනි අඩු අනුපාතයකින් සිදු වනු ඇත.

ඇතැම් ප්‍රාන්තවල ආසාදිතයන්ගේ ප්‍රමාණය ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතී.

උදාහරණයක් ලෙස ඉන්දියාවේ දකුණු කලාපයේ පවතින ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තය දැක්විය හැකිය. එහි ආසාදිතයන්ගේ ප්‍රමාණය ඉහළ යාමට පටන් ගත්තේ පසුගිය මාසයේදී ය. මේ වන විට වැඩිම ආසාදිතයන් සහිත ප්‍රාන්ත ලයිස්තුවේ තුන් වැනි තැන හිමි වන්නේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයටය.

මේ අතරතුර අප්‍රිකානු රටවලින් වාර්තාවන කොරෝනාවෛරස් ආසාදිතයන්ගේ මුළු ගණන දස ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ඉන් අඩකටත් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ, රෝගීන් හඳුනා ගැනීම සඳහා සිදු කෙරෙන පරීක්ෂණ පුළුල් ලෙස දියත් කර ඇති දකුණු අප්‍රිකාවෙනි.

කෙසේ වෙතත් අප්‍රිකාවේ පවතින වසංගත තත්ත්වය පිළිබඳව "ඉතා ඉක්මන් සහ දැඩි ක්‍රියාමාර්ග" ගත යුතු බව අප්‍රිකානු හවුල පවසයි.

ටැන්සානියාවෙන් ලැබෙන දත්ත වාර්තා හිඟ වීම හේතුවෙන් අප්‍රිකානු හවුලේ "වැඩි අවධානය" එම රාජ්‍යය වෙත යොමු වී තිබේ.

විශේෂඥයන් පවසන්නේ අප්‍රිකාව පුරා සිටින ආසාදිතයන් සොයා ගැනීම සඳහා පරීක්ෂණ පුළුල් වශයෙන් දියත් නොවීම හේතුවෙන් එම රටවල පවතින වසංගතයේ නියම තත්ත්වය තවමත් කිසිවෙකු නොදන්නා බවය.

උදාහරණයක් ලෙස ගතහොත් ටැන්සානියාවේ නිල සංඛ්‍යා ලේඛන පසුගිය සති කිහිපය තුළ යාවත්කාලීන වී නොමැත.

මුළු අප්‍රිකානු මහාද්වීපය පුරාම නිල වශයෙන් මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 22,000කි. සුවපත් වූ පිරිස 690,000කට ආසන්න බව එම වාර්තාවල දැක්වේ.

අප්‍රිකානු මහද්වීපයෙන් පළමු කොරෝනාවෛරස් ආසාදිතයා වාර්තා වූයේ පසුගිය පෙබරවාරියේදී ය. ඒ ඊජිප්තුවෙනි.

ඒ වනවිට චීනයේ කොවිඩ් 19 වසංගතය ඇරඹී දෙමසක් ගතවී තිබුණු අතර එය යුරෝපයට පැතිරී සති තුනක් ගෙවී හමාරය.

අප්‍රිකාවෙන් වාර්තා වන වැඩිම ආසාදිතයන් පිරිසක් සිටින්නේ දකුණු අප්‍රිකාවේ සහ ඊජිප්තුවේ ය. ජූලි මැද භාගය වන විට වාර්තා වූ මුළු ආසාදිතයන්ගේ ප්‍රමාණයෙන් 75%ක් වෙසෙන්නේ එම රටවල් දෙකෙහි ය.

දකුණු අප්‍රිකාව, ලයිස්තුවේ ඉහළින්ම සිටින අතර මුළු මහාද්වීපයෙන් ම වාර්තා වී ඇති ආසාදිතයන් ප්‍රමාණයෙන් සියයට පනහකට අධික පිරිසක් එහි වෙසෙති.