ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඉරානය ඇමෙරිකානු යුද නැවක ආකෘතියක් මිසයිල ප්‍රහාරයකින් පුපුරවයි
ඇමෙරිකානු ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ලෙස සැකසුනු ආකෘතියකට මිසයිල ප්‍රහාරයක් එල්ල කළ ඉරානය, එම ආකෘතික නෞකාව විනාශ කර තිබේ.
මෙය සිදුවී තිබෙන්නේ මැදපෙරදිග උපක්‍රමික වශයෙන් වැදගත් ස්ථානයක් ලෙස සැලකෙන හොර්මුස් සමුද්‍ර සන්ධියේදී ය.
මෙම අභ්‍යාසයේදී කෙතරම් බරපතල ලෙස අවි ප්‍රහාර එල්ල කළේ ද යත් ඇමෙරිකාව විසින් සිය ප්‍රාදේශීය කඳවුරු දෙකක් තාවකාලිකව සීරුවෙන් තබනු ලැබීය.
මෙය "ඉරානයේ වගකීම් විරහිත හා නොසැලකිලිමත් හැසිරීමක්" ලෙස හෙළා දුටු ඇමෙරිකානු නාවික හමුදාව එය හැඳින්වූයේ "බියගැන්වීමේ උත්සහයක් හා බලහත්කාරය පෑමක්" ලෙසිනි.
ඉරානය මෙම අභ්‍යාසයේ යෙදුනේ ගල්ෆ් කලාපය තුළ වොෂිංටන් පාලනය හා ටෙහ්රාන් පාලනය අතර උණුසුම ඉහළ යමින් තිබෙන වකවානුවකදී ය.
"14 වෙනි මොහොමඩ් ශාස්තෘවරයාණන්" ලෙස නම් කෙරුණු එම අභ්‍යාස ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරිණි.
ඇමෙරිකාව විසින් ගල්ෆ් කලාපයට නිතර යාත්‍රා කරවනු ලබන නෞකාවක් අනුසාරයෙන් සැකසුනු ආකෘතික නැවෙහි ගොඩබෑම් පථය දෙපස ප්‍රහාරක ගුවන් යානා ආකෘති රඳවා තිබිණි. විවිධ කෝණවලින් විදින ලද මිසයිල අතරින් ඇතැම් ඒවා නෞකාවට ඉලක්ක කෙරිණි.
හෙලිකොප්ටරයක සිට එල්ල කරන ලද තවත් මිසයිලයක් ආකෘතික යුද නැවේ පසෙක ගැටිණි.
"ගගන හා නාවික හමුදාවල ප්‍රහාරාත්මක හැකියාව සමග අද මේ පෙනෙන්නට ලැබුණේ අභ්‍යාසයි," යනුවෙන් ඉරාන විමුක්ති හමුදාවේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් හොසේන් සලාමි එරට රාජ්‍ය රූපවාහිනියෙන් පැවසීය.
බැලිස්ටික් මිසයිල දියත් කිරීම නිරීක්ෂණය කිරීමත් සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් හි රඳවා සිටින සිය හමුදා සීරුවෙන් තබන ලද බව ඇමෙරිකානු යුද හමුදාව පැවසීය.
"නිදහස් යාත්‍රා කිරීමට සහයක් වශයෙන් සමුද්‍රීය ආරක්ෂාව ප්‍රවර්ධනය කරමින් අපගේ හවුල්කරුවන් සමග එක්වී ඇමෙරිකානු නාවික හමුදාව ආරක්ෂාකාරී අභ්‍යාසවල යෙදෙද්දී තර්ජනයෙන් බියගැන්වීම සහ බලහත්කාරය පෑමට උත්සහ දරමින් ඉරානය ප්‍රහාරාත්මක අභ්‍යාසවල යෙදෙනවා," යැයි බහ්රේන් හි රඳවා සිටින ඇමෙරිකානු නාවික හමුදාවේ පස්වෙනි බලඇණියේ ප්‍රකාශිකා කමාන්ඩර් රෙබෙකා රෙබරිච් කියා සිටියාය.
මෙම තොරතුරු ද දැනගන්න: