ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අරාබි ලෝකය අඟහරු ලොව පිරික්සුමට කිට්ටු කරයි
එක්සත් අරාබි එමීරයට අයත් 'Hope' අභ්‍යවකාශ යානය ජපානයේ 'තනෙගෂිමා' (Tanegashima) අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී H2-A රොකට්ටුවකින් සාර්ථකව දියත් කරන ලදුව මේවනවිට කිලෝමීටර් දශලක්ෂ ගණනක් දුරක ගමනාන්තයක් කරා ගමන් ගනිමින් ඇත.
එක්සත් අරාබි එමීර් ඉතිහාසයේ විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරන 'Hope' යානයේ ගමනාන්තය 'රතුග්‍රහයා' ලෙස හැඳින්වෙන අඟහරු ලෝකය ය.
''බලාපොරොත්තුව'' යන තේරුම දෙන 'Hope' යානය යැවීමේ අරමුණ අඟහරු ලෝකයේ කාලගුණය සහ දෙශගුණ රටාව පිරික්සීමය.
යානය දියත් කිරීමට පසුගිය සතියේ දෙවතාවක්ම උත්සාහ කළත් එම ප්‍රයත්නයන් අත්හැර දැමීමට සිදුවූයේ අයහපත් කාලගුණය හේතුවෙනි.
'Hope' ලබන වසරේ (2021) පෙබරවාරි මාසයේ අඟහරු ලෝකය කරා ළඟාවීමට නියමිත අතර එය හරියටම සිදුවන්නේ එක්සත් අරාබි එමීරය පිහිටුවීමේ පනස්වෙනි ඓතිහාසික සංවත්සරය උදාවීමට සමගාමීවය.
'Hope' අභ්‍යවකාශ චාරිකා ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක නිලධාරිනිය වන සේරා අල් අමිරි (Sarah Al Amiri) එම යානය සාර්ථකව ගුවන්ගතවනු දැකීමෙන් ලද විශ්මය සහ සහනය පිළිබඳව විස්තර කළාය.
මෙයින් වසර පනස් එකකට පෙර ජූලි 20 වෙනි දිනකදී ඇපලෝ අභ්‍යවකාශ යානය සඳමතට ගොඩබෑම ඇමෙරිකානු ජනතාව බලාසිටි අවස්ථාවට සමාන මොහොතක් 'Hope' යානය සාර්ථකව දියත් කරන මොහොතේ එක්සත් අරාබි එමීර් ජනතාව තුළ ද ඇතිවූ බව ඇය සඳහන් කළාය.
''අද මට හරිම සතුටු දවසක්. ජූලි විසිවෙනිදා උදෑසන එමීරයේ දරුවන් පිබිදෙන්නේ තමන්ගේම දැවැන්ත ව්‍යාපෘතියක් සමඟයි. අලුත් යථාර්ථයක් සහිතවයි. අලුත් ශඛ්‍යතාවක් ඇතිවයි.ලෝකය වෙනුවෙන් වඩාත් සුවිසල් කාර්යභාරයක් නිර්මාණය කිරීමට වැඩිදුරටත් දායකවීමේ මාවතක් සහිතවයි'' 'Hope' අභ්‍යවකාශ චාරිකා ව්‍යාපෘතියේ නියමුවරිය වන සේරා අල් අමිරි බීබීසී වෙත ප්‍රකාශ කළාය.
'Hope' මෙම මාසය ඇතුළත අඟහරු කරා යවනු ලබන යානා තුනකින් එකකි.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය විසින් යැවීමට නියමිත යානා දෙකක් මේවනවිට පෙර සූදානම් මට්ටමේ පවතී. 'Perseverance' යනුවෙන් නම්කරනු ලැබ ඇති ඇමෙරිකානු අඟහරු චාරිකා ව්‍යාපෘතිය එමීරයේ 'Hope' යානයට ශුභපැතුමක් නිකුත් කර ඇත.
''ඔබ සමඟ එක්වෙනතෙක් මම බලා සිටින්නේ නොඉවසිල්ලෙන්'' 'Perseverance' මගින් නිකුත්කර ඇති 'ට්විටර්' පණිවුඩයෙහි දැක්වේ.
එක්සත් අරාබි එමීරය අඟහරු විපරම් කරන්නේ ඇයි?
අභ්‍යවකාශ යානා සැලසුම් කිරීම සහ නිර්මාණය සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීරයට ඇත්තේ සීමිත අත්දැකීමක් පමණි.ඒ අනුව මෙය තවමත් අත්හදා බැලීමේ ප්‍රයත්නයකි. එම කාර්යය අතින් සාර්ථක මට්ටමක සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, යුරෝපය සහ ඉන්දියාවය.එහෙත් එමීරයේ අභිලාෂය අභියෝගය භාරගැනීම අතින් නිර්භීත පියවරකි.
ඇමෙරිකානු විශේෂඥයන්ගේ අධීක්ෂණය යටතේ එමීරයේ ඉංජිනේරුවන් වසර හයක් ඇතුළත දියුණු යානයක් නිර්මාණය කළහ. එම යානය අඟහරු ලෝකයට පිවිසීමෙන් අනතුරුව එම ග්‍රහයාගේ අන්තරීක්ෂය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ දැන් පවතින දර්ශන අනාවරණය කරමින් අලුත්ම විද්‍යාත්මක තොරතුරු ගෙනෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විශේෂයෙන්ම, අඟහරු ග්‍රහයාට එහි වායු ස්ථරයෙන් විශාල කොටසක් සහ ජලය සමඟ වූ පැවැත්ම අහිමිවුණේ කෙසේද?යන්න සම්බන්ධයෙන් මිනිසාගේ අවබෝධයට එකතුවක් කිරීමට 'Hope' යානයට හැකිවනු ඇතැයි විද්‍යාඥයෝ අදහස් කරති.
ඒ අතරම එම යානය ප්‍රබෝධය ඇතිකිරීමේ වාහනයක් ලෙසද සැළකේ. එමීරයේ සහ අරාබි ලෝකයේ පාසල් සහ උසස් අධ්‍යාපන ආයතනවල බොහෝ දරුවන් විද්‍යා විෂය කෙරෙහි ආකර්ෂණය කර ගැනීමට එම 'Hope' අභ්‍යවකාශ ව්‍යාපෘතිය හේතුවනු ඇත යන්න ඔවුන්ගේ විශ්වාසය වේ.
එක්සත් අරාබි එමීර් ආණ්ඩුව පවසන පරිදි මෙම චන්ද්‍රිකාව ව්‍යාපෘතීන් ගණනාවක එක අදියරකි. ඛනිජතෙල් සහ ගෑස් මත යැපෙන එමීරය ඉන් මිදී ඔවුන්ගේ අනාගතය ආර්ථික අවබෝධයක් මත පදනම්වීමේ දිශාවට නැඹුරුවීමේ සැලැස්මක් පිළිබඳව එම ප්‍රකාශය මගින් ඇඟවීමක් කෙරේ.
එහෙත් අනතුර වඩාත් බරපතල වන්නේ යානයක් අඟහරු කරා ළඟාවීමෙන් අනතුරුවය. මෙතෙක් අඟහරු කරා යවනු ලැබ ඇති යානාවලින් භාගයක්ම වී කෙළවර වී තිබෙන්නේ අසාර්ථකභාවයෙනි. එම අනතුර පිළිබඳ අවබෝධයක් සහිත 'Hope' ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ, ඔම්රාන් ෂරාෆ් (Omran Sharaf) තරයේ කියාසිටින්නේ '' තම රට යම්කිසි ප්‍රයත්නයක් දැරීම නිවැරැදි'' බවය.
''මේක පර්යේෂණාත්මක සහ සංවර්ධනාත්මක කාර්යයක්. ඔව්! අසාර්ථකවීමේ ඉඩකඩකුත් තිබෙනව'' ඔම්රාන් ෂරාෆ් බීබීසී වෙත පැවසීය.
''කොහොම වුනත්, ජාතියක් හැටියට වැඩ පිළිවෙළක අසාර්ථකභාවය තෝරාගැනීමක් නොවෙයි. මෙතැන තියෙන ප්‍රධාන කරුණ වන්නේ මේ අභ්‍යවකාශ ගමනින් එක්සත් අරාබි එමීරය අත්පත්කර ගනු ලබන ශක්‍යතාව සහ පරිමාවයි. එමගින් රටට ලැබෙන දැනුම් සම්භාරයයි''
එමීරය 'Hope' ව්‍යාපෘතිය කළමනාකරණය කළේ කෙසේද?
මෙම යානය නිර්මාණය කිරීමේ දී තමන්ට විශාල විදේශීය සමාගමකින් යානය මිලදී ගැනීම් සිදු කිරීමට නොහැකි බව එමීරයේ ආණ්ඩුව සිය ව්‍යාපෘතියෙහි නිරත කණ්ඩායමට දැන්වීය. ඒ අනුව ඔවුන්ටම චන්ද්‍රිකාව නිර්මාණය කර ගැනීමට සිදුවිය.
එහි තේරුම වූයේ අවශ්‍ය අත්දැකීම් සහිත ඇමෙරිකානු සරසවි සමඟ හවුල්කාරී සම්බන්ධතාවක් ඇතිකර ගැනීමට සිදුවීමය.
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඇමෙරිකානු ඉංජිනේරුවන් සහ විද්‍යාඥයන් යානා රටා සැලසුම් කරමින් එය ඉදි කිරීම සඳහා එකමුතුව වැඩෙහි නිරතවන්නට වූහ. එසේම අඟහරු පිරික්සීම සඳහා එම යානය තුළ තැන්පත් කෙරෙන උපකරණ තුනක් ද ඔවුහු සැලසුම් කළහ.
'Hope' චන්ද්‍රිකාවේ බද්ධකරනු ලැබීම්වලින් වැඩි කොටස සිදුකෙරුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ 'කොලරාඩෝ' සරසවියේ ''වායුගෝලීය සහ අභ්‍යවකාශ භෞතික විද්‍යා අධ්‍යයනය'' පිළිබඳ (LASP) විද්‍යාගාරය තුළය. ඒ අතරම ඩුබායි හි මොහොමඩ් බින් රෂීඩ් අභ්‍යවකාශ මධ්‍යස්ථානය (MBRSC) තුළ ද සැලකිය යුතු කාර්යභාරයක් ක්‍රියාත්මක කෙරිණි.
එමීරය දැන් ඔවුන්ගේම වූ තවත් අභ්‍යවකාශ චාරිකාවකට සමත් මට්ටමක සිටින බව LASP විද්‍යාගාරයේ බ්‍රෙට් ලැන්ඩින් (Brett Landin) පවසයි.
''අභ්‍යවකාශ යානයකට ඉන්ධන ගබඩා කෙරෙන ක්‍රියාදාමය මට කියාදෙන්න පුළුවන්. නමුත් ඔබ ආරක්ෂාකාරී ඇඳුම් කට්ටලයක් අඳින තෙක්, ඒ වගේම වහාම වෙනස් වෙන සුළු රොකට් ඉන්ධන කිලෝග්‍රෑම් 800ක් ඉන්ධන ගබඩාවකින් යානයට සපයන තෙක් ඒක කොයිවගේ දෙයක්ද කියල ඔබට තේරෙන්නේ නැහැ'' ප්‍රධාන ඉංජිනේරුවා පැවසීය.
''එමීරයේ අභ්‍යවකාශ යානා ඉන්ධන ඉංජිනේරුවන් ඒ කාර්යය දැන් කරලා තිබෙනවා. ඊළඟ පියවරේ දී ඔවුන් අභ්‍යවකාශ යානයක් හැදුවම ඔවුන් දන්නවා ඒක කරන්නේ කොහොමද? කියල''
Hope යානයේ විද්‍යාත්මක ගවේෂණ මොනවාද?
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අවශ්‍ය කරන්නේ අනුන්ගේ විද්‍යාත්මක ගවේෂණ තමන් විසින් ද සිදුකරනු ලැබීම නොවේ. ඔවුන් 'රතු ග්‍රහයා' කරා නැඹුරුවන්නේ වෙනත් රටවල් විසින් දැනටමත් සිදුකරනු ලැබ ඇති තක්සේරු කිරීම් පුනරුච්ඡාරණය කිරීම සඳහා නොවේ. නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ 'අඟහරු ගවේෂණ ව්‍යාපෘතියේ විශ්ලේෂක කණ්ඩායම (MEPAG) වෙත යොමුවෙමින් ඔවුන් විමසා සිටියේ එමීරයේ යානයට දැනට ඇති දැනුමට ප්‍රයෝජනවත් මට්ටමින් කළ හැකි එකතුව කුමක්ද? යන්නය.
ඒ අනුව MEPAG උපදෙස් 'Hope' ගවේෂණයේ ඉලක්ක සැකසුම කෙරෙහි පාදක විය. කෙටියෙන් සඳහන් කළහොත්, වසරේ සියලු සෘතුවල සහ දවස පුරා පහළ සිට ඉහළට අඟහරු අන්තරීක්ෂයේ බලශක්ති චලනය සිදු වෙන්නේ කෙසේද? යන්න එමීර් රාජ්‍යයේ යානය මගින් පිරික්සනු ඇත.
එසේම අඟහරු පරිසරයෙහි උෂ්ණත්වයේ අධි බලපෑමක් ඇතිකරන දූවිලි තට්ටුව වැනි සැකසුම් ද යානය මගින් අධීක්ෂණයට ලක් වේ.
එපමණක් නොවේ. අඟහරු ග්‍රහයා මත ඔක්සිජන් සහ හයිඩ්‍රජන් පරමාණුවල හැසිරීම තුළින් මතුවෙන නව ක්‍රියාවලිය හැදෑරීමත් තවත් අංශයකි. එම පරමාණුවල හැසිරීම සූර්යයා කෙරෙන් ගලා එන ප්‍රබල කුඩා අංශු මගින් අඟහරු මතුපිට සිදුවෙමින් ඇති සෝදාපාළුවීම් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කෙරෙන්නේද යන්න සම්බන්ධයෙන් සැකයක් පවතී.
අඟහරු මත එක්තරා කාලයක ජලය පැවතුනත් දැනට එම ජලය විශාල වශයෙන් අහිමිව ඇත්තේ කුමක් නිසාද යන කතන්දරය මීට අදාළ වූවකි.
සිය නිරීක්ෂණ එකතු කිරීම සඳහා 'Hope' යානය අඟහරුගෙන් කිලෝමීටර් 22,000 සිට 44,000 ක් දුරින් නිරක්ෂයට සමීප කක්ෂයක රැඳී සිටිනු ඇත.
''දවසේ හැම මොහොතකම පවතින යථා පැවැත්මේ සියලු හැඩතල දැකීමේ අභිලාෂය නිමවන්නේ කක්ෂය ඉතා විශාල එමෙන්ම බිත්තරයක හැඩය ගැනීමෙනි'' LASP විද්‍යාගාරයේ සිට 'Hope' මෙහෙයවනු ලබන විද්‍යාඥයන්ගේ කණ්ඩායමේ ප්‍රධානී කණ්ඩායමේ ඩේවිඩ් බ්‍රයන් (David Brain) විස්තර කළේය.
''අපි අඟහරුගේ පූර්ණ හැඩතල ලබා ගන්නවා.අපේ කැමරාවේ 'ෆිල්ටර්ස්' තිබෙනවා. එම පින්තූර අනුව අපි විද්‍යාව හදාරනවා'' ඩේවිඩ් බ්‍රයන් පවසයි.
(බීබීසී හි විද්‍යා කටයුතු පිළිබඳ වාර්තාකරු ජොනතන් ඒමොස් සකස් කළ ලිපියක් ඇසුරිනි)
මෙම තොරතුරු ද දැනගන්න: