සෞරග්‍රහ මණ්ඩලයේ අලුත් සොයා ගැනීම: සෙනසුරු, බ්‍රහස්පති අභිබවා යයි

වැඩි ම චන්ද්‍රයන් සංඛ්‍යාවක් අයත් ග්‍රහ ලෝකය බවට පත්ව සිටි බ්‍රහස්පති ග්‍රහයා අභිබවා යාමට සෙනසුරු ග්‍රහයා සමත් වී ඇතැයි ඇමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් පවසති.

'වළලු සහිත ග්‍රහයා' ලෙස විරුදාවලි ලද සෙනසුරු වටා කක්ෂගත වූ තවත් චන්ද්‍රයන් විස්සක් සොයා ගැනීමට ඇමෙරිකානු විද්‍යාඥ කණ්ඩායමක් සමත් වී ඇති අතර ඒ අනුව සෙනසුරු ග්‍රහයාට අයත් චන්ද්‍රයන් සංඛ්‍යාව 82ක් බවට පත්ව තිබේ. මීට පෙර වැඩි ම චන්ද්‍රයන් සංඛ්‍යාවක් අයත් ග්‍රහයා ලෙස සැලකුණු බ්‍රහස්පති ග්‍රහයා සතු චන්ද්‍රයන් සංඛ්‍යාව 79කි.

මෙම චන්ද්‍රයින් සොයාගෙන ඇත්තේ, හවායි හි පිහිටි මෞන කියාහි සුබාරු දුරේක්ෂය භාවිතයෙනි.

එම අලුතින් සොයා ගැනුණු චන්ද්‍රයින්ගේ විශ්කම්භය කිලෝමීටර් 5ක් පමණ (සැතපුම් 3) වේ. ඉන් 17ක් සෙනසුරු ග්‍රහයා භ්‍රමණය වන දිශාවෙන් පසුපසට ගමන් කරයි.

එය පසුගාමී දිශාව (retrograde direction) ලෙස හදුන්වයි. සෙසු චන්ද්‍රයින් තුන සෙනසුරු ග්‍රහයා භ්‍රමණය වන දිශාවට ගමන් කරයි.

ඉදිරිගාමී චන්ද්‍රයින් තුනෙන් දෙකක් සෙනසුරු ග්‍රහයා වටා භ්‍රමණය වීමට ගත වන කාලය වසර දෙකකි.

වඩා දුරින් පිහිටි පසුගාමී බොහෝ චන්ද්‍රයින්ට සේම ඉදිරිගාමී එක චන්ද්රයෙකුට සෙනසුරු වටා එක් වටයක් භ්‍රමණය වීමට වසර තුනකට අධික කාලයක් ගත වේ.

"මෙම චන්ද්‍රයින්ගේ කක්ෂ අධ්‍යයනය කිරීමෙන් ඒවායේ මූලාරම්භය වගේ ම සෙනසුරු බිහි වන අවස්ථාවේ අවට පැවති තත්ත්වයන් පිළිබඳ තොරතුරුත් හෙළි කර ගන්න පුළුවන්," මෙම පර්යේෂණ කණ්ඩායම මෙහෙයවූ ඇමෙරිකාවේ වොෂිංටන්හි අගනුවර පිහිටි කානගී විද්‍යායතනයේ ආචාර්ය ස්කොට් ෂෙපර්ඩ් පැවසීය.

ආචාර්ය ෂෙපර්ඩ් බීබීසී පුවත් සේවයට පැවසුවේ, 1990 දශකය අගභාගයේ සිට වැඩි ම චන්ද්‍රයින් අයත් ග්‍රහයා ලෙස බ්‍රහස්පති ග්‍රහයා සැලකුණු බවය.

සෙනසුරුට ඈතින් පිහිටි චන්ද්‍රයන් එම ග්‍රහ ලෝකය වටා කක්ෂගත වී ඇලය හා කෝණය මත පදනම්ව එකිනෙකට වෙනස් පොකුරු තුනකට බෙදී ඇති බව දක්නට ලැබේ.

විද්‍යාඥයින් අනුමාන කරනුයේ, මෙම පසුගාමී සහ ඉදිරිගාමී චන්ද්‍රයන් අවම වශයෙන් විශාල වස්තූන් තුනක කැඩී බිඳී ගිය අවශේෂය බවය. මෙම විශාල වස්තූ එකිනෙකට වෙනස් චන්ද්‍රයන් අතර හෝ ඇදී යන ග්‍රහක සමග ගැටී කැබලිවලට බෙදී යන්නට ඇතැයි විශ්වාස කෙරේ.

අලුතින් සොයා ගැනුණු පසුගාමී චන්ද්‍රයන් අතරින් එකක් සෙනසුරු ග්‍රහයාට වඩාත් ම ඈතින් පිහිටි චන්ද්‍රයා වේ.

"මෙම චන්ද්‍රයන් තරමක ඇලයකින් යුතු කක්ෂයක පිහිටා ඇති අතර ඒවා තිබෙන්නේ සෙනසුරුට ගොඩක් ඈතින්, ඒ නිසා ඒවා සෙනසුරු ග්‍රහයා සමග බිහිවූවා යැයි අප හිතන්නේ නැහැ. අපි හිතන්නේ ඒවා අතීතයේදී සෙනසුරු ග්‍රහයා සිය ගුරුත්ව බලයෙන් ග්‍රහණයට ගත් ඒවා කියලයි," ආචාර්ය ෂෙපර්ඩ් බීබීසී පුවත් සේවයට පැවසීය.

සෞරග්‍රහ මණ්ඩලයේ යෞවන සමයේ සෙනසුරු ග්‍රහයා නිර්මාණය වෙමින් පැවති කාලයේ වළාවක් හෝ දූවිලි සහ වායු 'තැටියක' ආකාරයෙන් සෙනසුරු ග්‍රහයා වටා පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ. මේ මගින් සෙනසුරු ග්‍රහයා පසු කර යන වස්තූන්ගේ ශක්තිය විසිරුවා හරින්නට ඇත.

එවැනි බොහෝ වස්තූ පසු කලෙක සෙනසුරු ග්‍රහයා වටා සර්පිලාකාරව කක්ෂගත වී පසුව එම ග්‍රහයාගේ කොටසක් බවට පත් වී තිබේ.

තවදුරටත් කියවන්න.