පෘථිවියට ආසන්නයෙන් ජීවයට හිතකර බවට සැක කරන නව ග්‍රහ ලෝකයක් හමු වෙයි

සූර්යයාට ආසන්නතම තාරකාවක් වටා භ්‍රමණය වන ග්‍රහ ලෝකයක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබේ.

ජීවය සහිත ග්‍රහ ලෝක සෙවීමේ මීළඟ පරම්පරාවේ ප්‍රමුඛ ඉලක්කයක් බවට පෘථිවියට ආසන්න මෙවැනි ග්‍රහ ලෝකයක් පත් වනු ඇත.

මෙම ග්‍රහ ලෝකයේ ස්කන්ධය පෘථිවිය මෙන් තුන් ගුණයක් බවට උපකල්පනය කෙරේ.

එය කක්ෂගත වී ඇත්තේ, පෘථිවියට ආලෝක වර්ෂ 6ක් එපිටින් පිහිටි බර්නාඩ් තාරකාව වටාය.

මෙම ග්‍රහ ලෝකය සොයා ගත් ගිලෙම් ඇන්ග්ලාඩා එස්කූඩ් ඇතුළු කණ්ඩායම පවසන්නේ, ඔවුන් අනාවරණය කරගත් නව ලෝකය පෘථිවියේ ස්කන්ධය මෙන් තුන් ගුණයකට අධික (3.2) බවය.

"අපි මේක හඳුන්වන්නේ Super-Earth එකක් ලෙසයි. එය කඳුවලින් ගහන විශාල වායුගෝලයක් සහිත ග්‍රහ ලෝකයක් විය හැකියි. පෘථිවිය වගේ ම ජලය, හයිඩ්‍රජන්, කාබන් ඩයොක්සයිඩ් ආදිය එහි තිබිය හැකි බව අපි විශ්වාස කරනවා. ඒවායින් බොහොමයක් එහි මතුපිට පෘෂ්ඨය මත ඝනීභවනය වී ඇතැයි හිතනවා." ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ ගිලෙම් ඇන්ග්ලාඩා එස්කූඩ් බීබීසී පුවත් සේවයට පැවසීය.

සූර්යයා සහ බුධ ග්‍රහයා අතර පවතින දුරට සමාන දුරක් බර්නාඩ් තාරකාව සහ නව ග්‍රහ ලෝකය අතර පවතින අතර, පෘථිවියට වඩාත් සමීප දෙවන ග්‍රහ ලෝකය මෙයයි. පෘථිවියට වඩාත් සමීපතම ග්‍රහයා වන්නේ, 2016 වසරේදී සොයා ගත් Proxima Centauri b ග්‍රහයායි.

බර්නාඩ් තරකාවේ දීප්තිය සූර්යයාට සාපේක්ෂව 3%ක් පමණක් වන අතර එහි සූර්ය ශක්තිය අතිශයින් අඩුය.

කෙසේ වෙතත්, නව ග්‍රහ ලෝකය "හිම රේඛාව" නමින් හැඳින්වෙන සීමාවක කක්ෂගත වී ඇති අතර එහි මතුපිට ජලය දියර වශයෙන් රැඳී තිබිය හැකි බවට ද විශ්වාස කෙරේ.

නව ග්‍රහ ලෝකයේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 150ක් පමණ විය හැකි වුව ද, එහි පවතින විශාල වායුගෝලය හේතුවෙන් ජීවයේ පැවැත්මට සුදුසු පරිසරයක් ඇතැයි විද්‍යාඥයින්ගේ මතයයි.

බර්නාඩ් තාරකාව වටා මෙම ග්‍රහ ලෝකයට භ්‍රමණය වීම සඳහා ගත වන කාලය දින 233ක් බවට ගණනය කර තිබේ.

මෙම ග්‍රහ ලෝකය හඳුනාගෙන ඇත්තේ, කිරණමය ප්‍රවේග තාක්ෂණය උපයෝගී කර ගනිමිනි. ග්‍රහ ලෝකයක් සොයා ගැනීම සඳහා එම තාක්ෂණය භාවිත කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සහ නිරීක්ෂණ සිදු කළ යුතු බව තාරකා විද්‍යාඥයෝ පවසති.