කොවිඩ්: බ්‍රසීලය, ඇමරිකාවට පසු මරණ පනස් දහස පසු කළ දෙවෙනි රට බවට පත් වේ

Indigenous people of the ethnic group Marubo await assistance in Atalia do Norte, Brazil, 20 June 2020

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රසීලයේ කොරෝනා වෛරස් උවදුරෙන් තදින්ම බලපෑමට ලක් වූවන් අතර ආදිවාසී ප්‍රජාව ද වෙති

ඇමරිකා එක්සත් ජනපදයට පසු පනස් දහසකට අධික කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාවක් ලියාපදිංචි කළ දෙවන රට බවට බ්‍රසීලය පත්ව තිබේ.

බ්‍රසීලයෙන් එවැනි තත්වයක් වාර්තා වන්නේ එරට දේශපාලන උණුසුම ඉහළ යමින් පවතින පසුබිමකදී සහ මිලියනයකට අධික වෛරස් ආසාදිතයන් සංඛ්‍යාවක් තහවුරු වී තිබියදීය.

බ්‍රසීලයේ මරණ සහ ආසාදිතයන් තවදුරටත් ඉහළ යමින් පවතින බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

ලොව පුරා දිනක් තුළ තහවුරු වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. ඊට වැඩි වශයෙන්ම ඇතුළත් වන්නේ එක්සත් ජනපදයෙන් අලුතින් හඳුනා ගත් රෝගීන්ය.

බ්‍රසීලයේ අන්ත දක්ෂිණාංශික ජනාධිපති ජයීර් බොල්සොනාරෝ ලොක්ඩවුන් සීමා පැනවීමට විරෝධය දැක්වීම සහ ආර්ථිකය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම විශාල වශයෙන් මතභේදයට තුඩු දී ඇත.

මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාව ඉතා දරුණු ලෙස ඉහළ යාමත් සමග සෞඛ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සිය ධූරයෙන් ඉවත්ව තිබේ. ඔවුන් දෙදෙනාම වෛද්‍යවරුන්ය.

පළමු වෙනියා ජනාධිපතිවරයා විසින් ඉවත් කරන ලද අතර ජනාධිපතිවරයා සමග එකඟ නොවීම නිසා දෙවැන්නා සිය ධුරයෙන් ඉල්ලා අස් විය.

Demonstrators protest against the Brazilian president in Sao Paulo, Brazil, 21 June 2020

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රසීලයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක්

බ්‍රසීලයේ සහ ලතින් ඇමරිකානු රටවල මරණ කොපමණ ද?

ගතව ගිය පැය 24 තුළ තවත් මරණ 641 ක් අලුතින් ලියාපදිංචි කර ඇති බව බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යංශය ඉරිදා (ජුනි 21) නිවේදනය කළේය. ඒ අනුව එරට මරණයට පත් මුළු සංඛ්‍යාව 50,617 කි.

එම කාලය තුළ රෝගීන් 17,000 කට අධික සංඛ්‍යාවක් ද අලුතින් ලියාපදිංචි වී ඇත.

ඊට වඩා දරුණු තත්ත්වයකට මුහුණ දී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය පමණි. එරට ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 2.2 ක් වන අතර 120,000 ක් පමණ මරණයට පත්ව තිබේ.

Brasil cases
Presentational white space

මෑත කාලයේ බ්‍රසීලයෙන් දිනකට මරණ දහසක් පමණ වාර්තා විය. කෙසේ නමුත් සති අන්තයන්හි මරණ සංඛාවේ අඩුවක් දක්නට ඇත. රට පුරා කොරෝනා වෛරස් පරීක්ෂණවල අඩුවක් පවතින බව විශේෂඥයන් බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී තිබේ. පරීක්ෂණ කෙරෙන ප්‍රමාණය, අවශ්‍ය ප්‍රමාණයට වඩා විසි ගුණයකින් පමණ අඩු බව ඉන් ඇතැමෙක් පවසති. එබැවින් මුළු මරණ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් ඉහළ අගයක් ගනු ඇති බව පෙනෙන්නට තිබේ.

ඇමේසන් කලාපයට අයත් පාරා සහ සිආරා උතුරු දිග ප්‍රාන්තවලින් මරණ 12,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත. නමුත් විශාල වැඩිවීමක් දක්නට ලැබෙන්නේ සාඕ පාවුලෝ සහ රෝයෝ ඩි ජැනෙයිරෝ වෙතිනි. එම නගරවලින් පිළිවෙලින් මරණ 12,500 ක් සහ 8,800 ක් වාර්තා වී තිබේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ පැය 24 ක් තුළ ලොව පුරා ආසාදිතයන් 183,000 ක් අලුතින් වාර්තා වී ඇති බවය. ඉන් 60% අධික ප්‍රමාණයක් උතුරු සහ දකුණු ඇමරිකානු කලාපයට අයත්ය.

ඇමරිකාව හැරුණු කොට මෙක්සිකෝව, පේරු සහ චිලී යන රටවල් ද දරුණු ලෙස බලපෑමට ලක්ව ඇත. ඉරිදා, ආජන්ටිනාව මරණ 1,000 පසු කළේය.

ලතින් ඇමරිකානු සහ කැරිබියන් කලාපයෙන් මේ වන විට වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව මිලියන දෙකකට අධිකය.