චීනයේ බීජිං අගනුවර කොරෝනා වෛරස් රෝගීන්ගේ වර්ධනයක්: යළි සීමා පැනවෙයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters
තවදුරටත් කොරෝනාවෛරස් රෝගීන්ගේ වර්ධනයක් දක්නට ලැබීමත් සමග චීනයේ බීජිං අගනුවර මිලියන ගණනක් නැවත පනවන ලද සීමා යටතේ දිවි ගෙවති.
බදාදා (ජුනි 17) බීජිං නගරයෙන් තවත් රෝගීන් 31 දෙනෙකු හමු විය.
ඒ සමග පසුගිය සතියක කාලය තුළ වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 137 දක්වා ඉහළ ගොස් තිබේ.
මෑත කාලයේ වෛරසයේ වර්ධනයක් දක්නට ලැබීමට පෙර, දින 57 ක් දක්වා බීජිං අගනුවර තුළදීම වෛරසය ආසාදනය වූ එකදු රෝගියෙකු හෝ වාර්තා නොවිණි.
අගනුවර පිහිටි 'ශින්ෆාන්ඩි' නැමති මහා පරිමාන ආහාර වෙළඳපොලෙන් වෛරසය පැතිර යාම ආරම්භ වී ඇති බව විශ්වාස කෙරේ.
බීජිං නගරයේ මස් සහ එළවලු ඉල්ලුමෙන් 80% ක් සපයනු ලබන්නේ එම වෙළඳපොලෙනි.
අලුතින් හඳුන්වා දී ඇති සීමා මොනවාද?
අගනුවර තදාසන්න පෙදෙස් 27 ක් පමණ මධ්‍යම අවදානම් කලාප ලෙසත් වෙළෙඳපොළ ආසන්නයේ පිහිටි ප්‍රදේශයක් ඉහළ අවදානම් කලාපයක් ලෙසත් වර්ග කර තිබේ.
මධ්‍යම හෝ ඉහළ අවදානම් කලාප තුළ වෙසෙන පදිංචිකරුවන්ට නගරයෙන් පිටව යා හැක. නමුත් පළමුව වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු කර ගත යුතුය.
කෙසේ වුවත් පරීක්ෂණයක් ලබා ගැනීම දුෂ්කර කටයුත්තක් වී ඇත. පරීක්ෂණ මධ්‍යස්ථාන තුනක් බීබීසීය වෙත කියා සිටියේ ජුලි මාසය වන තෙක් අවස්ථාවක් ලබා දීමට නොහැකි බවය. සෙසු මධ්‍යස්ථාන ඉදිරිපිට ජනයා පෝලිම් ගැසී සිටිනු දැකිය හැක.
ජුලි 9 වෙනිදාවත් වන තෙක් අගනුවර වෙත සහ ඉන් පිටතට කෙරෙන ගුවන් ගමන් 1,200 කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති අතර දුම්රිය සේවා වාර අඩු කර තිබේ.
ප්‍රථමික සහ මධ්‍යම පාසල් මෙන්ම උසස් අධ්‍යාපන ආයතනවල පන්ති නවතා ඇත. ක්‍රීඩාවල යෙදීම අත්හිටුවා ඇති අතර පිහිනුම් තටාක සහ ව්‍යායාම් ශාලා (ජිම්) වසා දමා ඇත.
කෙසේ වුවත් අගනුවර මාර්ග විවෘතව පවතින අතර සමාගම් සහ කර්මාන්ත ශාලාවල කටයුතු කරගෙන යා හැක. මේ වන විට අගනුවර අවදානම් මට්ටම දෙකට ඉහළ නංවා තිබේ. එය දෙවනුවට පවතින වැඩිම මට්ටමයි.
වෛරසය පැතිරීම ආරම්භ වූයේ කොතැනින්ද?

ඡායාරූප මූලාශ්‍රය, Reuters
'ශින්ෆාන්ඩි' වෙළඳ මධ්‍යස්ථානයේ ආනයනික සැමන් මසුන් කැපීම සඳහා භාවිත කළ ලෑලි (චෝපින් බෝඩ්) මතුපිට තිබී වෛරසය හමුවී ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
ඇතැම් ප්‍රාදේශීය බලධාරීන් සහ වෙළෙඳ මධ්‍යස්ථානයේ කළමනාකරු සේවයෙන් පහකරනු ලැබ තිබේ.
බීජිං බලධාරීන් කියා සිටියේ කුමන ප්‍රදේශයක ජීවත් වුවත් වෙළඳ මධ්‍යස්ථානයේ "අදාළ පුද්ගලයන්ට" නගරයෙන් බැහැර යාමට අනුමැතියක් නොමැති බවය.
සෑම දිනකම වෙළෙඳ මධ්‍යස්ථානය වෙත දස දහස් ගණනක් පැමිණෙති.
චීනයේ සෙසු පළාත්වල තත්ත්වය කුමක්ද?
පොදුවේ ගත් විට මෑත මාස කීපය තුළ චීනය වෛරසය පැතිර යාම සාර්ථකව පාලනය කර ඇත.
මාර්තු මස ආරම්භයේ ආසාදිතයන් සංඛ්‍යාව 80,000 ඉක්ම වීමෙන් පසු අලුතින් රෝගීන් වාර්තා වී ඇත්තේ 3,200 කට ආසන්න සංඛ්‍යාවක් පමණි.
උදාහරණයක් වශයෙන් අඟහරුවාදා (ජුනි 16) රට තුළදීම වෛරසය ආසාදනය වී තිබුණු සංඛ්‍යාව 32 කට සීමා වී තිබුණු බව වාර්තා විය. ඉන් 27 දෙනෙකු බීජිං ගනරයෙන් ද තවත් 4 දෙනෙකු අසල්වැසි හෙබෙයි පළාතෙන් ද වාර්තා වී තිබිණි.
කියවන්න:








