කොරෝනා වෛරසය: ට්‍රම්ප් පාවිච්චි කළ මැලේරියා බෙහෙතට තිබූ අවසරය අහිමි වෙයි

President Donald Trump

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ඖෂධය කිසිදු අතුරු ආබාධයකින් තොරව මීට පෙර තමා විසින් ද භාවිත කරනු ලැබූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය

මැලේරියා රෝගීන්ට ලබාදෙන 'හයිඩ්‍රොක්සික්ලෝරොකුයින්' (hydroxychloroquine) ඖෂධය හදිසි අවස්ථාවන්හිදී කොරෝනාවෛරස් ආසාදිතයන්ට ද ලබාදීම සඳහා දුන් අවසරය එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලය විසින් ඉවත් කර ගනු ලැබ තිබේ.

ඔවුන් (FDA) පවසන්නේ එම මැලේරියා ඖෂධය ලබාදීමෙන් කිසිදු වෛරස විරෝධී තත්ත්වයක් සිරුර තුළ ඇති වන බවට විශ්වාස කිරීමට තරම් හේතු සාධක නවතම සායනික පරීක්ෂණවලින් තහවුරු වී නොමැති බවය.

කොවිඩ්-19 රෝගීන් සඳහා ප්‍රතිකාරයක් වශයෙන් මෙම මැලේරියා ඖෂධය භාවිත කිරීම ප්‍රවර්ධනය කරමින් මෑතකදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ අදහස් දක්වා තිබුණි.

එම ඖෂධය කොවිඩ්-19 රෝගීන් සඳහා හදිසි අවස්ථාවන් හිදී භාවිතා කිරීමට එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබුණේ පසුගිය මාර්තු මාසයේදීය.

නමුත් ඉරිදා (ජුනි 15) එම මණ්ඩලය නිවේදනය කර සිටියේ මාරාන්තික කොරෝනා වෛරසයට ගොදුරුවූවන්ට මැලේරියා ඖෂධය ලබා දීමෙන් සාර්ථක ප්‍රතිඵල නොලැබෙන බව රසායනික අධ්‍යයනවලින් පෙනී ගිය බවය.

The drug hydroxychloroquine

ඡායාරූප මූලාශ්‍රය, Reuters

නමුත් මෙම ඖෂධය කිසිදු අතුරු ආබාධයකින් තොරව මීට පෙර තමා විසින් ද භාවිතා කරනු ලැබූ බව, ඉහත නිවේදනයට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

"මම ඒ බෙහෙත පාවිච්චි කළා. ඊට පස්සේ මට සනීපයක් දැනුන... මටනම් ඒ ගැන කිසිම වරදක් කියන්න බැහැ. මම ඒ බෙහෙත සති දෙකක් පාවිච්චි කළා. මේ මම ඉන්නේ..." ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වාර්තාකරුවන් අමතමින් සදුදා පැවසීය.

74 හැවිරිදි ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ එම ඖෂධය භාවිතා කිරීමෙන් ජීවිතය රැක ගත් බව තවත් බොහෝ දෙනා තමන්ට පැවසූ බවය.

පසුගිය මැයි මාසයේදී ධවල මන්දිරයේ සේවකයන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු වීමෙන් අනතුරුව තමන් මැලේරියා ඖෂධය භාවිතා කිරීමට පටන් ගත් බව ජනාධිපති ට්‍රම්ප් හෙළිදරව් කළේය.

ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමඟ අන්තර්ජාලය ඔස්සේ බොහෝ රාවයන් පැතිර යන්නට පටන් ගත් අතර එම ඖෂධයේ ඇති අතුරු ආබාධ පිළිබඳව විශේෂඥයන් මත පළ කරන්නට පටන් ගත් හෙයින් එය විවාදයට තුඩු දුන්නේය.

මෙම මැලේරියා ඖෂධය කොරෝනා වෛරස් ආසාදිතයන්ට ලබාදීමෙන් රෝගියා ගේ මරණ අවදානම ඉහළ යන බවත් ඇතැම් රෝගීන්ට හෘදයාබාධ ඇතිවීමේ අවදානමක් පවතින බවත් සඳහන් කරමින් 'The Lancet' වෛද්‍ය සඟරාවේ අධ්‍යයන වාර්තාවක් පළ වීමෙන් පසු ලොව පුරා සිදුකෙරෙන අත්හදාබැලීම් තාවකාලිකව අත්හිටුවන ලදී.

එහි ප්‍රතිඵලයක් වශයෙන් එම ඖෂධ සම්බන්ධයෙන් සිදු කෙරෙන සායනික අත්හදා බැලීම් නවතා දැමීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ද පියවර ගත්තේය.

කෙසේනමුත් 'The Lancet' සඟරාව දෙවනුව මෙම අධ්‍යයන වාර්තාව පිළිබඳව සොයා බැලීමේදී එහි බරපතළ අඩුලුහුඬුකම් පවතින බව හෙළිදරව් වීමෙන් අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් මැලේරියා ඖෂධය පිළිබඳව සායනික අත්හදා බැලීම ආරම්භ කළේය.