කොරෝනා වෛරසය: වෙන්ටිලේටර් වෙනුවට ශ්වසන අපහසුතා පාලනය කරන්න බෙහෙතක්?

Two pills in the palm of someone's hand

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Ibuprofen නමැති ඖෂධය කොරෝනාවෛරසයට ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකි ද යන්න තහවුරු කර ගැනීම සඳහා අත්හදා බැලීම් සිදුකිරීමට විද්‍යාඥයින් පිරිසක් සූදානම් වෙති.

ලන්ඩන් නුවර Guy's, St Thomas' රෝහල සහ King's College යන විද්‍යායතනවල කණ්ඩායමක් විශ්වාස කරන්නේ, වේදනා නාශකයක් ලෙස භාවිත කරන අදාළ ඖෂධය ශ්වසන අපහසුතාවන්ට ප්‍රතිකාර වශයෙන් ලබා දිය හැකි බවටය.

මෙම වියදම් අඩු ඖෂධය භාවිත කිරීමෙන් වෙන්ටිලේටර් භාවිතය නතර කළ හැකි වනු ඇති බව ඔවුන්ගේ අපේක්ෂාවය.

මෙහිදී අත්හදා බැලීම සඳහා රෝගීන්ගෙන් අඩකට සාමාන්‍ය ප්‍රතිකාරවලට අමතරව ibuprofen ඖෂධය ලබා දෙනු ඇත.

මෙම අත්හදා බැලීමේදී සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ මිල දී ගැනීමට ඇති ibuprofen වෙනුවට විශේෂ මාත්‍රාවක් භාවිත කිරීමට නියමිතය. ඇතැම් පුද්ගලයෝ මේ වන විටත් ආර්තරයිටිස් වැනි රෝග වෙනුවෙන් මෙම ලිපිඩ අඩංගු ඖෂධය භාවිත කරති.

කියවන්න:

මේ වන විට සත්ත්වයින් ආශ්‍රිතව සිදු කර ඇති අධ්‍යයනයන් අනුව ශ්වසන අපහසුතාවන්ට මෙම ඖෂධය ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකි බවට යෝජනා වී තිබේ. ශ්වසන අපහසුතා යනු බරපතළ කොරෝනාවෛරස් රෝගී තත්ත්වයකදී ඇති වන තත්ත්වයකි.

මෙම අත්හදා බැලීම සිදු කරන King's College විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මිතුල් මේතා පැවසුවේ, "ඉහත ලැබී ඇති සාක්ෂි සත්‍ය වශයෙන් ම අපේක්ෂිත මට්ටමට ගැලපෙන්නේ ද යන්න සොයා බැලීමට අපට අවශ්‍යයි," යනුවෙනි.

කොරෝනාවෛරස් වසංගතය ආරම්භ වූ මුල් අවධියේදී ඇතැමුන් පැවසුවේ, විශේෂයෙන්ම සුලු රෝග ලක්ෂණ සහිත රෝගීන්ට ibuprofen යහපත් නොවිය හැකි බවය.

මෙම අදහස වඩාත් ඉස්මතු වූයේ, ibuprofen වැනි වේදනා නාශක භාවිතයෙන් ආසාදිත තත්ත්වය උග්‍ර විය හැකි බවට ප්‍රංශයේ සෞඛ්‍ය අමාත්‍ය ඔලිවර් වෙරන් ප්‍රකාශ කිරීමෙන් පසුවය. ඔහු උපදෙස් දුන්නේ, ibuprofen වෙනුවට පැරසිටමෝල් භාවිත කරන ලෙසය.

කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ මානව වෛද්‍ය කොමිසම සිදුකළ අධ්‍යයනයකින් එම අදහස ප්‍රතික්ෂේප කෙරුණු අතර, එම කොමිසම පැවසුවේ, ibuprofen සහ පැරසිටමෝල් යන දෙවර්ගය ම ශරීර උෂ්ණත්වය පහළ දැමීමට සමත් වන බවය.

බ්‍රිතාන්‍යයේ NHS ජාතික සෞඛ්‍ය සේවාව නිර්දේශ කරනුයේ, ibuprofen ඖෂධයට සාපේක්ෂව පැරසිටමෝල් ඖෂධයේ අතුරු ආබාධ අඩු හෙයින් පළමුවෙන් පැරසිටමෝල් භාවිතය සුදුසු බවය. උදාහරණයක් ලෙස උදරයේ තුවාළ සහිත පුද්ගලයින් ibuprofen භාවිත නොකළ යුතු බව ද එම නිර්දේශ අතර වේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, කැඳ පානය, දුම් ඇල්ලීම
Coronavirus Sri Lanka
Coronavirus Sri Lanka