කොරෝනා වෛරසය පරාජය කළ 111 වියැති කාන්තාව

දකුණු ඇමරිකාවේ චිලී රාජ්‍යයේ වෙසෙන හුවානා සුනීගාගේ වයස අවුරුදු 111 කි. ඇගේ ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිටියේ වැඩිහිටි නිවාසයක ය.

හුවානාගේ සොයුරිය මීට වසර හයකට පෙර මිය ගියාය. සන්තියාගෝ අගනුවර පිහිටි වැඩිහිටි නිවාසයකට ඇය ඇතුළු වුණේ ඉන් අනතුරුවය.

මේ වැඩිහිටි නිවාසය ද කොරෝනා වෛරසයට ගොදුරු විය.

එම වැඩිහිටි නිවාසයේ සිටි සියලු දෙනා වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට ලක් වීමෙන් අනතුරුව හුවානා ද ආසාදිතයෙකු බව තහවුරු විය.

මේ වන විට ලොව වටා මාධ්‍ය ඇය ගැන කතා කරන්නට පටන් ගෙන ඇත්තේ ඇයට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා නොව ඇය කොරෝනා වෛරසය පරාජය කළ නිසාය.

Covid 19 රෝගය වැළඳී සුවය ලැබූවන් අතර චිලී රාජ්‍යයේ සිටින වයස්ගත ම කාන්තාව හුවානා බව එරට බලධාරීහු නිල වශයෙන් ප්‍රකාශයට පත් කළහ.

කොරෝනාවෛරස වසංගතය පැතිර යාමට කලින් සිට ඇය ශ්වසන ආබාධවලින් පෙළුණාය. නමුත් කොරෝනාවෛරසයෙන් ඇයට දැඩි බලපෑමක් ඇති නොවිණි.

"හොඳ වෙලාවට එයාට අමාරු රෝග ලක්ෂණ මතු වුණේ නැහැ. වාර කිහිපයක් උණ හැදුණා," ඇය ජීවත් වන වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂවරිය වන මරියා පැස් සෝර්දෝ පැවසුවාය.

හුවානාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව එම වැඩිහිටි නිවාසයේ ම වෙනත් ස්ථානයකට ඇය ගෙන යන ලදී.

වසර හයක් තිස්සේ ජීවත් වූ, ඇයට හුරු පුරුදු පරිසරයෙන් ඉවත් කොට වෙනත් ස්ථානයකට රැගෙන යාම දුෂ්කර කාර්යයක් වූ බව වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂවරිය පැවසුවාය.

"එයාගේ වාසස්ථානය වෙනස් කිරීම තමයි අමාරු ම දේ වුණේ."

මේ වැඩිහිටි නිවාසය තුළ කොරෝනා වෛරසයට ගොදුරු වූයේ හුවානා පමණක් නොවේ. එහි වැඩිහිටි පදිංචිකරුවන් 18 දෙනෙකු සහ කාර්යමණ්ඩලයේ හත් දෙනෙකු එම වෛරසයට ගොදුරු වී ඇති බව වෛද්‍ය පරීක්ෂණයෙන් අනතුරුව තහවුරු විය.

හුවානා වෙන් කොට තැබීම සඳහා වෙනත් ස්ථානයකට රැගෙන යාමෙන් අනතුරුව ඇය රැක බලා ගනු ලැබුණේ එරට වැඩිහිටියන් සඳහා පවතින ජාතික සේවයේ සාමාජිකයන් විසිනි.

හුවානා දින 28 ක් එම ස්ථානයේ ගත කළාය.

ඇය චිලී රාජ්‍යයේ වැල්පෙරයිසෝ නමැති වෙරළබඩ ප්‍රදේශයේ ජීවත් වූ කාන්තාවකි.

කිසි දා විවාහ නොවූ ඇයට දරුදැරියන් ද නොසිටියාය. තමන්ගේ ම ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් ඇය ජීවත් වූවාය.

එළැඹෙන ජූලි මාසයේදී ඇය එකසිය දොළොස් වැනි වියට පා තබන්නීය.

මේ වන විට නිකුත් වී ඇති නිල වාර්තා අනුව කොරෝනා ආසාදිතයන් අසූ දෙදහසක් චිලි රාජ්‍යයේ සිටිති. එරට covid 19 රෝගයෙන් මියගිය ගණන අට සියයකට අධිකය.