ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
කොරෝනා වෛරසය: බ්‍රිතාන්‍ය අගමැති, තවත් එක් රෝගියෙක් පමණයි - බොරිස්ට ප්‍රතිකාර කළ හෙදිය
කෝවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කෙරුණු බ්‍රිතාන්‍යයේ අගමැති බොරිස් ජොන්සන් සුවය ලැබුවේ දැඩි සත්කාර ලැබීමෙන් අනතුරුවය. සෙසු රෝගීන් මෙන්ම ඔහු ද ප්‍රතිකාර ලැබුවේ බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයට අයත් රජයේ රෝහලකදීය.
බොරිස් ජොන්සන් කියන්නේ “අපේ උපරිමය ලබා දීමට උත්සාහ කළ තවත් එක් රෝගියෙක් පමණයි.”
එසේ පවසන්නේ බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ දිවි බේරා ගැනීමට උපකාර කළ බ්‍රිතාන්‍යට සංක්‍රමණය වූ නවසීලන්ත ජාතික හෙදියකි.
කොරෝනාවෛරසයෙන් පීඩා විඳිමින් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර “දෙකෙන් එකක් විය හැකිව තිබූ මොහොතක” සිය සයන අසල රැඳී උපස්ථාන කිරීම සම්බන්ධයෙන් ජෙනී මැක්ගී, අගමැති බොරිස්ගේ ඇගයීමට ලක් විය.
රාත්‍රිය පුරා රෝගීන්ගේ දිවි ආරක්ෂා කර තබා ගැනීමේ වගකීම සිය රැකියාවේ කොටසක් බව හෙදිය පවසයි.
පවුලේ සාමාජිකයන්ගේ මුහුණු නොදැක මියැදෙමින් සිටින රෝගීන්ගේ දෑත් තරයේ අල්ලා ගැනීමත් හෙද හෙදියන්ගේ දෛනික රාජකාරියේ කොටසක් වී ඇති බවත් ඇය සඳහන් කළාය.
‘ටෙලිවිෂන් නිව්සීලන්ඩ්’ වෙත අදහස් දක්වමින් ජෙනී මැක්ගී කියා සිටියේ නෑදෑයෙක්, හිත මිත්‍රයෙක් ළඟ නැතිව රෝගීන් මරණයට පත්වීම “බලා සිටිය නොහැකි සිත් වේදනාවක්” බවය. එය සිය රැකියාවේ “ ශෝචනීයම කොටස” බව පවසන ඇය, හෙදියන් පහන් සිතින් ඔවුන් සනසාලීමටත් ඔවුන්ගේ “දෑත් අල්ලා ගැනීමටත්” ඉදිරිපත් වන බව කියා සිටී.
අගමැති බොරිස්ට විශේෂ සැලකිලි, සත්කාර නොලැබුණු බව අවධාරණය කරන ජෙනී මැක්ගී, ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුළු කිරීමේ දැඩි අවශ්‍යතාවක් පැවති බව සඳහන් කරයි.
“දැඩි සත්කාර එකකය වෙත එන රෝගීන් දෙස අපේ දැඩි අවධානය යොමු කරනවා. එය ඔවුන් තැති ගන්වන අවස්ථාවක්. ඉතින් අපි ඒක සැහැල්ලුවට ගන්නේ නැහැ,” යනුවෙන් ඇය පැවසීය.
“චකිතයකින්” තොරව අගමැතිවරයාට ප්‍රතිකාර කළ බව පවසන හෙදිය “එය රැකියාවේ තවත් එක් දිනක් පමණයි” යනුවෙන් කියා සිටියාය.
අගමැති බොරිස් තමාට ප්‍රතිකාර කළ බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයේ (NHS) කාර්යමණ්ඩලයට වීඩියෝ පණිවුඩයක් මගින් සිය ස්තූතිය පළ කළේය. ඒ සමග නවසීලන්තයේ ‘සවුත් අයිලන්ඩ්’ හි ඉන්වර්කාගිල් ප්‍රදේශයෙන් පැමිණි ජෙනී මැක්ගී, “නවසීලන්තයේ ජෙනී” බවට පත් විය.
අගමැතිවරයාගේ ඇගයීම “නොසිතූ ලෙස පැමිණි දෙයක්” යනුවෙන් විග්‍රහ කළ ජෙනී පළමුව එය සිය යහළුවන් විසින් කරන ලද “විහිළුවක්” යයි සිතා ඇත.
පසුව තමා විසින් “වීරවරියක” ලෙස සලකනු ලබන නවසීලන්තයේ අගමැතිනිය ජසින්ඩා ආඩ්න් ද තමා වෙත තමා ස්තූතිය පළ කර පණිවුඩයක් එවූ බව ඇය සඳහන් කළාය.
“අගමැතිනිය මා ගැන ආඩම්බර වන බව කීවා. රටටත් ආඩම්බරයක් බව කීවා. එය හදවතට දැනෙන දෙයක්. මට එය කිසිදාක අමතක වෙන්නේ නැහැ” යනුවෙන් ඇය පැවසීය.
කොරෝනාවෛරසය නිසා ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහල වෙත ඇතුලත් කෙරුණු අගමැති බොරිස් අප්‍රේ 12 වෙනිදා ඉන් පිටවිය.
ඔහු දැඩි සත්කාර ඒකකයේ දින කිහිපයක් ප්‍රතිකාර ලැබූ අතර එහිදී ඔහුට ඔක්සිජන් ලබා දී තිබිණි.
සුවය ලබා රෝහලෙන් පිටවූ පසු වීඩියෝ පණිවුඩයක් ඔස්සේ ඔහු කියා සිටියේ “අහන්න කිසිවක් නැහැ, ජාතික සෞඛ්‍ය සේවය මගේ දිවි බේරුවා.” යනුවෙනි.
එහිදී ජෙනී සහ පෘතුගාලයේ සිට සංක්‍රමණය වූ තවත් හෙදියක් වන ලුයිස් පිටාමා වෙත ද ඔහු විශේෂයෙන් ස්තූති කළේය.
හෙදියන් දෙදෙනා පැය 48 ක් පුරා තම සයනය අසල හිඳිමින් නිරීක්ෂණයෙන් පසු වූ බැවින් තමාට ප්‍රමාණවත් ඔක්සිජන් ලැබුණු බව අගමැතිවරයා පැවසීය.
අගමැතිවරයා තමා සමග “කතාවට වැටුණු” බවත් “මා පැමිණියේ කොහි සිටද සහ මගේ ජීවිත කතාව” පිළිබඳ ඔහු උනන්දුවක් දැක්වූ බවත් ජෙනී වැඩිදුරටත් කියා සිටියාය.
කියවන්න: