ඇෆ්ගනිස්ථානයේ කාන්තා රෝහලකට එල්ලවූ ප්‍රහාරයෙන් ළදරුවන් සහ මව්වරුන් මරුට

රෝහලට එල්ල වූ ප්‍රහාරය

ඡායාරූප මූලාශ්‍රය, REUTERS

ඇෆ්නිගනිස්ථානයේ, කාබුල් අගනුවර කාන්තා රෝහලකට එල්ල කෙරුණු සන්නද්ධ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ ගණන 24 දක්වා ඉහළ ගොස් තිබේ.

මිය ගිය අය අතර ළදරුවන්, මව්වරුන් සහ හෙදියන් සිටින අතර තවත් 16 දෙනෙකුට තුවාල සිදුවී ඇතැයි ඇෆ්ගන් සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය.

අඟහරුවාදා (මැයි 12) සිදු වූ මෙම ප්‍රහාරය බොහෝ පාර්ශවයන් හෙළා දැක තිබුණු අතර එම ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවෙකු භාරගෙන නොමැත.

"මහා යුද අපරාධයක්"

ඇම්නෙස්ටි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය කියා සිටියේ "අද ඇෆ්ගනිස්ථානයේ මහා යුද අපරාධයක්" සිදුවී ඇති අතර "සාමාන්‍ය ජනතාව දිගටම මුහුණ දෙන භීෂණය දෙස" ලෝකය දෙනෙත් යොමු කළ යුතු බවය.

"අලුත උපන් ළදරුවන්ට පහර දෙන්නේ කවුද? අලුතින් දරුවන් බිහිකළ මව්වරුන්ට පහර දෙන්නේ කව්ද? කාටද මේ වගේ දේවල් කරන්න පුළුවන්?" එක්සත් ජාතීන්ගේ ඇෆ්ගනිස්ථානු දූත මෙහෙයේ ප්‍රධානි ඩෙබ්රා ලියෝන්ස් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රශ්න කළාය.

මවුවරු

ඡායාරූප මූලාශ්‍රය, REUTERS

එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කියා සිටියේ, "අහිංසකයන් ඉලක්ක කර සිදු වන ඕනෑම ප්‍රහාරයකට සමාවක් නැහැ. නමුත් ළදරුවන්ට සහ දරු ප්‍රසූත කරන කාන්තාවන්ට පහර දීම අතිශය දුෂ්ඨ ක්‍රියාවක්," යනුවෙනි.

අවමංගල්‍ය උත්සවයකට බෝම්බ

මේ අතරතුර ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයේ පැවැත්වුණු අවමංගල්‍ය උත්සවයකට ද බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබුණි. ඊට ගොදුරු වී අවම වශයෙන් 26 දෙනෙකුවත් මිය ගිය බව වාර්තා විය.

තාලිබාන් සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව හමුදා මෙහෙයුම් නැවත ආරම්භ කරන ලෙස ඇෆ්ගන් ජනාධිපති අෂ්රෆ් ඝානි නියෝග කර තිබේ.

ප්‍රචණ්ඩ ක්‍රියා නවතා දමන ලෙස කර ඇති ඉල්ලීම් සන්නද්ධ කණ්ඩායම් විසින් නොතකා හරිණු ලැබ ඇති බවට ජනාධිපතිවරයා චෝදනා කළේය.

ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයේ පැවැත්වුණු අවමංගල්‍ය උත්සවයකට ද බෝම්බ ප්‍රහාරයක්

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ඇෆ්ගනිස්ථානයේ නැගෙනහිර ප්‍රදේශයේ පැවැත්වුණු අවමංගල්‍ය උත්සවයකට ද බෝම්බ ප්‍රහාරයක්

නන්ගර්හාර් ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙකුගේ අවමංගල්‍ය උත්සවයට එල්ල කෙරුණු ප්‍රහාරය පිටුපස තමන් සිටින බව ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට (IS) අයත් කණ්ඩායමක් පැවසීය.

නමුත් කාන්තා රෝහලට එල්ලවූ ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්දැයි තවමත් පැහැදිලි නැත. එම ප්‍රහාරයට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව තාලිබාන් ව්‍යාපාරය පවසයි.

මිය ගිය මව්වරුන්ගේ ළදරුවන්

මිය ගිය මව්වරුන්ගේ ළදරුවන් භාර ගැනීම සඳහා ඥාතීන් රෝහල් භුමිය තුළ රැඳී සිටින බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි.

අඟහරුවාදා දිනය තුළ ඇෆ්ගනිස්ථානයේ සිදු වූ සියලුම ප්‍රහාරවලින් 100 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව ද එම පුවත් පත වාර්තා කළේය.

කාන්තා රෝහලට ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඇෆ්ගන් වේලාවෙන් පෙ.ව. 10ට පමණය. එම අවස්ථාවේ කාර්යමණ්ඩලයේ 140 ක් පමණ රෝහල තුළ සිටි බව වෛද්‍යවරයෙක් පැවසීය.

එම රෝහලේ එක් කොටසක් පවත්වා ගෙන යනු ලබන්නේ 'දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංවිධානය' විසිනි. එම අංශයේ කාර්ය මණ්ඩලයෙන් වැඩිදෙනා විදේශිකයෝ වෙති.

ඇෆ්ගන් යුද්ධය

ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගැනීමේ එකඟතාවයට පැමිණ ඒ සඳහා තාලිබාන් ව්‍යාපාරය සහ එක්සත් ජනපදය අතර ගිවිසුම් අත්සන් කිරීම පසුගිය පෙබරවාරියේදී සිදු විය.

ඉන් පසුව ඇෆ්ඝන් රජය සහ තලිබාන් ව්‍යාපාරය අතර ආරම්භ වූ සාම සාකච්ඡා බිඳ වැටුණේ සිරකරුවන් හුවමාරුකර ගැනීමේ ප්‍රශ්නයක් මුල් කර ගෙනය. එතැන් පටන් ඇෆ්ගනිස්ථානය තුළ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අඩුවක් නොවීය.

ඉහත කී ගිවිසුම් අත්සන් කෙරුණේ, වසර 18කට අධික කාලයක් තිස්සේ පවතින යුද්ධයට තිත තැබීම අරමුණු කොට ගෙනය.

මෙම යුද්ධය ආරම්භ වූයේ එක්සත් ජනපදයට සැප්තැම්බර් 11 ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයට ගොස් තාලිබාන් පාලනය පෙරලා දැමීමෙන් පසුවය.

ඇෆ්ගන් යුද්ධය නිසා මිනිස් ජීවිත දස දහස් ගණනක් අහිමි වූ අතර ඉන් වැඩි දෙනා සාමාන්‍ය වැසියන් ය.

තවත් විශාල පිරිසක් තුවාල ලැබූ අතර විශාල පිරිසක් අවතැන් වූහ.

කියවන්න: