කොරෝනා වෛරසය: ඇෆ්ගනිස්ථානු ජනාධිපති මන්දිරයේ 'සේවකයන් හතළිහක් ආසාදිතයි'

ජනාධිපති අෂ්රෆ් ඝානි ට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට කිසිදු ඉඟියක් පළ වී නොමැත

ඡායාරූප මූලාශ්‍රය, REUTERS

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති අෂ්රෆ් ඝානි ට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට කිසිදු ඉඟියක් පළ වී නොමැත

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති මන්දිරයේ සේවක මණ්ඩලයෙන් සැලකිය යුතු පිරිසකට නව කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

ජනාධිපති මන්දිරයේ සේවකයන් විසි දෙනෙකුට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට මුල දී වාර්තා වී තිබුණු නමුත් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත ඊයේ (අප්‍රේල් 19) වාර්තාකර තිබුණේ එම සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් ඇති බවය.

ඇෆ්ගනිස්ථානු රජය මේ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කර නැති අතර ජනාධිපති අෂ්රෆ් ඝානි ට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බවට කිසිදු ඉඟියක් පළ වී නොමැත.

මේ වනවිට හැත්තෑ වියැති ජනාධිපති ඝානි ට වැළඳුනු පිළිකාවක් හේතුවෙන් අනූව දශකයේ දී සිය උදරයෙන් කොටසක් ඉවත් කර ඇති බව වාර්තා වී තිබුණි.

"ජනාධිපති මන්දිරයේ විසි ගණනකට කොවිඩ්-19 ආසාදනය වෙලා. කොහොම වුනත්, හදිසි බිය වීමක් ඇතිවීම වලක්වා ගැනීම සඳහා ඒ තොරතුරු ප්‍රසිද්ධ කළේ නැහැ." රජයේ නිලධාරියෙක් සෙනසුරාදා (අප්‍රේල් 18) AFP පුවත් සේවයට පැවසීය.

ජනාධිපති අෂ්රෆ් ඝානි අන්තර්ජාල වීඩියෝ පහසුකම් යොදා ගනිමින් කැබිනට් රැස්වීමක් පවත්වන ආකාරය, ජනාධිපති මන්දිරය විසින් බ්‍රහස්පතින්දා නිකුත් කරනු ලැබූ ට්විටර් පණිවිඩයක ඇතුළත් විය.

නමුත් ඉන් පසුව එම ට්විටර් ගිණුමේ පළ වූ ඡායරූපවල දැක්වෙන්නේ ජනාධිපති ඝානි ඉරාන නිලධාරීන් පිරිසක් මුහුණට මුහුණ හමුවී ඇති ආකාරයයි. එහිදී එකිනෙකා අතර දුරස්ථභාවය රඳවාගෙන තිබුණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

පසුගිය සෙනසුරාදා (අප්‍රේල් 18) නිකුත් කර තිබූ නිල වාර්තාවලට අනුව නව කොරෝනාවෛරසය අසාදිත වුවන් 933ක් ඇෆ්ගනිස්තානය තුළ සිටින බවට තහවුරු වී ඇති අතර 33 දෙනෙකු මරණයට පත් වී තිබේ.

මෙම සංඛ්‍යා පහළ මට්ටමක පවතින බව පෙනෙන්නට තිබෙන නමුත් කොරෝනාවෛරසය ආසාදනය වී ඇත්දැයි සොයා බැලෙන පරීක්ෂාව සඳහා එරට පවතින පහසුකම් සීමිත වන අතර වසර ගණනාවක් තිස්සේ ඇෆ්ගනිස්ථානයේ පවතින ගැටුම් හේතුවෙන් එරට සෞඛ්‍ය සේවා පීඩාවට පත් වී තිබේ.

ඉරානයේ සහ පකිස්ථානයේ සිටි ඇෆ්ගන් ජාතිකයන් විශාල පිරිසක් දේශ සීමාව හරහා නැවත රට තුළට පැමිණියහ

ඡායාරූප මූලාශ්‍රය, HAMED SARAFARZAI

ඡායාරූප ශීර්ෂ වැකිය, ඉරානයේ සහ පකිස්ථානයේ සිටි ඇෆ්ගන් ජාතිකයන් විශාල පිරිසක් දේශ සීමාව හරහා නැවත රට තුළට පැමිණියහ

එමෙන්ම, පසුගිය මාර්තු මාසය තුළ කොරෝනාවෛරස වසංගතය දරුණු ලෙස පැතිර ගිය ඉරානයේ සිට ඇෆ්ඝන් ජාතිකයන් 150,000කට අධික පිරිසක් සහ පකිස්ථානයේ සිට තවත් දසදහස් ගණනක පිරිසක් ඇෆ්ගනිස්ථානයට පැමිණීමෙන් පසුව කොරෝනාවෛරසය පැතිරෙන්නට ඇති බවට ද බිය පළවී තිබේ.

ඇෆ්ගනිස්තානය තුළ දශක හතරක් පුරා ගැටුම් පවතින අතර වසර කිහිපයක් යන තෙක් කිසිදු විසඳුමකට ළඟා වීමට නොහැකිව පවතී.

BBC
ඡායාරූප ශීර්ෂ වැකිය, BBC

පසුගිය වසරේ අග භාගයේදී 'Armed Conflict Location & Event Data Project' ව්‍යාපෘතිය විසින් ඇෆ්ගනිස්තානය හඳුන්වනු ලැබුවේ ගැටුම් ආශ්‍රිත මරණ සම්බන්ධයෙන් ලොව වඩාත් භයානක භූමිය වශයෙනි.

2019 ජුනි මසදී 'Global Peace Index' වාර්තාව මගින් ඇෆ්ගනිස්තානය ලොව අවම සාමකාමී ස්ථානය ලෙස නම් කරනු ලැබිණි.