කොරෝනා වෛරසය: "මගේ පුතු මැරූ සිරකරුට කෝවිඩ් මරණයක් එපා"- මවකගෙන් අපරාධකරුවෙකුට සමාවක්!

Alejo Hunau was murdered in his apartment in 2004

ඡායාරූප මූලාශ්‍රය, ALEJO HUNAU

සිය පුතු මරා දමන ලද ඝාතකයා ඇදුම රෝගියෙකු වන හෙයින් කොරෝනාවෛරස් වසංගතය හමුවේ දරුණු ජීවිත අන්තරායකට මුහුණ දී සිටින ඔහු ජීවිත දානයක් වශයෙන් දැනට රඳවා සිටින සිරගෙයින් මුදා හරින ලෙස ඉල්ලා සිටි මවක ගැන ආජන්ටිනාවෙන් වාර්තා වෙයි.

එම ඉල්ලීම කරන කාන්තාව එම සිරකරු මුදාහරින ලෙසා ඉල්ලා තිබෙන්නේ ආජන්ටිනා බලධාරීන් වෙත යොමු කරන ලද ලිපියක් මගිනි.

එහෙත් පසුගිය පෙබරවාරි මාසයේදී සිල්වියා ඔන්ටිවේරා (Silvia Ontivero) නම් එම කාන්තාව සිය පුතුට මරණය කැඳවූ එම සිරකරු සම්බන්ධයෙන් අනුගමනය කර ඇත්තේ දැඩි පිළිවෙතකි. සිරකරු සිය බන්ධනාගාර ජීවිතයට තාවකාලික විරාමයක් (parole) ඉල්ලා සිටි එම අවස්ථාවේ ඇය මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ගොස් සිය පුතු මරා දැමූ සිරකරුට එවැනි විරාමයක්වත් නොදෙන මෙන් ඉල්ලා සිටියාය.

එහෙත් පැතිර යමින් පවතින කොරෝනාවෛරසය හමුවේ එම කාරණය පිළිබඳව යළිත් සිතා බැලීමට තමා යොමු වූ බව ඇය පවසන්නීය.

'වෛරයක් තිබුණා-මරණයක් පැතුවේ නැහැ'

"මම ඔහුට වෛර කළා. මට ඔහු ගැන තිබුණේ විශාල තරහක්, කෝපයක්. ඒත් මම කවදාවත් ඔහුට මරණය ප්‍රාර්ථනා කෙරුවේ නැහැ," සිරකරුවාගේ ජීවිතය ආරක්ෂා කෙරෙන මට්ටමේ ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස බලධාරීන් වෙත යොමුකරන ලද විවෘත ලිපියෙහි සිල්වියා ඔන්ටිවේරා සඳහන් කරන්නීය.

Prisoners rioted at Villa Devoto prison in Buenos Aires this week after its first Covid-19 case was diagnosed

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

හැකියාවක් ඇති පරිදි රැඳවියන් නිවාස සිර අඩස්සියයේ තැබීමට අවසර ලැබෙන සිරකරු ආරක්ෂණ සැලැස්මකට ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් (Alberto Fernández) පසුගිය සතියේ සිය අනුමැතිය දුන්නේය.

රැඳවියන්ගෙන් පිරී ඉතිරී පවතින, එසේ ම අයහපත් සනීපාරක්ෂක පහසුකම් සහිත බන්ධනාගාර තුළ කොරෝනාවෛරසය ඉක්මනින් පැතිරයාමේ අනතුරක් පැවතීම හේතුවෙන් පසුගිය සති කීපය තුළ ආජන්ටිනාව පුරා සිරගෙවල්වලින් සිරකරු කැරලි ගැසීම් වාර්තා විය.

සිරකරුවන් නිවාස සිර අඩස්සියේ තැබීමට අවසර ලැබෙන ඉහත කී ජනාධිපති නියෝගය රට තුළ මතභේදාත්මක පරිසරයක් නිර්මාණය කරන ලද බවක් ද වාර්තා වෙයි.

එම ක්‍රියාමාර්ගය 'යුක්තිය මග හැරීමක්' වන බවට ඇතැමෙකු බිය පළකරන අතරවාරයේ තවත් පිරිසක් කියා සිටියේ සිරකරුවන් මුදාහරිනු ලැබීම තවත් පුළුල් මට්ටමින් සිදුකළ යුතු බවය.

සිල්වියා ඔන්ටිවේරාගේ පුත්, අලෙජෝ හුනාවූ (Alejo Hunau) 'මෙන්ඩෝෂා' නගරයේදී මරා දමන ලද්දේ 2004 වසරේදීය.

චූදිත ඩියාගෝ ආර්ඩුයිනෝ (Diego Arduino) එම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් වරදකර කරන ලදුව දහසය (16) වසරක සිර දඬුවමකට යටත් කරනු ලැබිණි.

පසුගිය සතියේ සිකුරාදා පැවති විභාගයකදී ප්‍රකාශයක් කළ විනිසුරු මරියානා ගාර්ඩේ(Mariana Gardey), අලෙජෝ හුනාවූ 'මෙන්ඩෝෂා' පළාතේ බරපතළ අනතුරුදායක සෞඛ්‍ය තත්ත්වයක පසුවෙතැයි සැලකෙන 400ක් පමණ සිරකරුවන් අතර එක් තැනැත්තෙකු පමණක් යයි සඳහන් කළාය.

කොරෝනාවෛරසය
කොරෝනාවෛරසය

මේ අතර පුවත්පතකට සපයන ලද විවෘත ලිපියක් මගින් අදහස් දැක්වූ සිල්වියා ඔන්ටිවේරා "තමා එම කාරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සහ ගැඹුරින් සිතා බැලීමෙන් අනතුරුව තම පුතු ඝාතනය කළ සිරකරු නිවාස සිර අඩස්සියේ තැබීමේ අදහසට සහයෝගය දීමට තීරණය කළ," බව කියා සිටියාය.

"අපි දැන් කතා කරමින් සිටින්නේ වෙනත් දෙයක් ගැන. වසංගතයක් ගැන. සිරගෙවල් මිනිසුන්ගෙන් පිරිලා. එම සිරගෙවල්වල ඉන්න මිනිස්සුන්ගේ බිය සහ හැඟීම් මට තේරුම් ගන්න පුළුවන්," සිල්වියා සිය ලිපිය මගින් කියා සිටින්නීය.

TN පුවත් සේවයට අදහස් දැක්වූ ඇය මෙසේ සඳහන් කළාය.

"මේ වසංගතය තුළ 'ඩියාගෝ' සිරගෙයි තබා සිටීම ඔහුට මරණීය දණ්ඩනය දීමක් වෙන්න ඉඩකඩ තියෙනව. මම මගේ ජීවිත කාලය පුරා ම මරණීය දණ්ඩනයට විරුද්ධයි."

සිල්වියාත් 1976 -1983 අතර කාලයෙහි ආර්ජන්ටිනාවේ යුද්ධ හමුදා ආඥාදායකත්වය පැවති සමයෙහි නිවාස සිර අඩස්සියේ තබා සිටි දේශපාලන සිරකාරියකි.

තමා එලෙස සිරභාරයේ සිටි කාලය තමා ගැන සිතා බැලීමට කාලය ලබා දුන් බව සිහිපත් කළ සිල්වියා, තම පුතා මරා දැමූ 'ඩියාගෝ 'ත් යහපත් මිනිසෙකු බවට පත්වීමට අවශ්‍ය ප්‍රමාණවත් කාලය සහතික කිරීම සිය උවමනාව වූ බවත් මින් පෙර ප්‍රකාශ කර තිබිණි.

'ඩියාගෝ ' කල්තබා සිරගෙයින් මුදාහරිනු ලැබීමට තමා එරෙහි වුණේ, ඔහු යහපත් මිනිසෙකු කිරීමේ අදහසින් බවත් ඇය සඳහන් කර ඇත.

සිල්වියාගේ ඝාතනයට ලක්වූ පුත් 'අලෙජෝ' මාධ්‍යවේදියෙකි. එසේ ම ඔහු 'මෙන්ඩෝෂා' ප්‍රාදේශීය ආණ්ඩුවේ උපදේශකයෙකු ද විය.

ඔහු සිය තට්ටු නිවාසයේ සිටියදී මරා දමනු ලැබ තිබුණේ වයින් බෝතලයකින් පහර දීමෙනි.

සිරගෙවල් රැසක කැරලි ගැසීම්

පසුගිය සතියේ සඳුදා පෙරූ රටේ 'ලීමා' අගනුවර බන්ධනාගරයකත් සිරකරු කැරලි ගැසීමක් සිදුවිය.

එම ගැටුමේදී සිරකරුවන් නව දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවත් වාර්තා විය.

එය Covid-19 ආසාදිත සිරකරුවන් දෙදෙනෙකු මරණයට පත්වීමෙන් පසු, සිරකරුවන් කණ්ඩායමක් ''සිරගෙය බිඳ පළායාමට ගත් සාමූහික ප්‍රයත්නයක්'' ලෙස බන්ධනාගාර නිලධාරීන් විසින් විග්‍රහ කර තිබිණි.

කොරෝනාවෛරස් වසංගතය සැලකිල්ලට ගත් කොලොම්බියාව සහ චිලී දේශය සිරකරුවන් දහස් ගණනින් මුදාහැර ඇත. ඊට සමාන වූ ක්‍රියාමාර්ගයක් ගැනීමට අවසර ලැබෙන විධිවිධාන සඳහා මෙක්සිකෝ සෙනේට් සභාවෙන් ද පසුගිය සතියේ අනුමැතිය ලැබිණි.

එහෙත් එල් සැල්වදෝරය ගනු ලැබ තිබෙන්නේ දැඩි ක්‍රියාමාර්ගයකි. සැල්වදෝර් බලධාරීන් කියා සිටින්නේ, වරදකරුවන්ව සිරභාරයේ සිටින අපරාධකරුවන් නිදහස් කළොත්, ඔවුන් වසංගතය ව්‍යාප්ත කිරීමට එය අවස්ථාවක් කර ගැනීමට ඉඩ ඇති බවය.

මේ අතර පසුගිය සතියේ බදාදා, ආර්ජන්ටිනාව තුළ තවත් ව්‍යාකූල තත්ත්වයක් මතු විය.

ඊට හේතුව, මානව වර්ගයාට එරෙහිව අපරාධ සිදුකරන ලද බවට අධිකරණය විසින් වරදකරුවකු කරන ලද හිටපු වෛද්‍යවරයෙකු වූ කාර්ලෝස් කැප්ඩෙවිලා (Carlos Capdevila) නිවාස සිර අඩස්සියේ තබන්නන් අතර සිටීමය.

වෛද්‍ය කාර්ලෝස් කැප්ඩෙවිලා, ආර්ජන්ටිනාවේ යුද්ධ හමුදා ආඥාදායක පාලන අවධියේ පවත්වාගෙන ගිය අපකීර්තිමත් 'එස්මා' (Esma) රැඳවුම් කඳවුරේ කටයුතු කළ තැනැත්තෙකි.

බන්ධනාගාරගත කරනු ලැබ දැනට හැත්තෑ වෙනි (70) වියේ පසුවෙන එම සිරකරු ''අධි රුධිර පීඩනය, පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකාවකින් සහ අවයව අක්‍රියකාරිත්වය වැනි බරපතළ ආබාධවලින් පීඩා විඳින බව විනිසුරුවෙක් ප්‍රකාශ කළේය.

කියවන්න: