උතුරු කොරියාවේ මීළඟ නායකත්වය කිම් ජොන්ග් අන්ගේ සොයුරියට ද?

ඡායාරූප මූලාශ්‍රය, PATRICK SEMANSKY - POOL /GETTY IMAGES
උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් අන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පැතිර යන රාවය සහ කටකතා කෙසේ වෙතත් ඔහුගේ ඇවෑමෙන් කෙටි කාලීනව හෝ දීර්ඝ කාලීනව රට පාලනය කරනු ලබන්නේ කවුරුන් විසින් ද යන ප්‍රශ්නය නිරන්තරයෙන් පවතී.
ඒ සඳහා සිටින තරගකරුවන් කවුරුන් ද? රටේ ඉතිහාසය තුළ සිදු වී ඇති දේ අනුව ඔවුනට වාසිදායක තත්ත්වයක් වේ ද? මේ පිළිබඳව සොයා බැලීම සඳහා බීබීසීය විශ්ලේෂකයන් කිහිප දෙනෙකුට කතා කළේය.
1948 දී උතුරු කොරියාවේ ප්‍රාරම්භක නායකයා වූයේ කිම් ඉල් සුන්ග්ය. එවක් පටන් රටේ නායකත්වය පැවරුණේ කිම් පවුලේ පිරිමි සාමාජිකයෙකුටය.
කිම් පවුල පිළිබඳව පවතින කතාන්තර උතුරු කොරියානු සමාජයේ අස්සක් මුල්ලක් නෑර කිඳා බැස ඇති ජනප්‍රවාද බවට පත් වී තිබේ.
කිම් පවුලේ ශ්‍රේෂ්ඨත්වය දනවන සම්ප්‍රචාරණ එරට දරුවන් දකින්නේ අසන්නේ ඔවුන් අකුරු කරන්නටත් පෙර සිටය.
"අපේ නායක කිම් ජොන්ග් අන් මට දකින්න ඕනා.." යන ගීතය එරට පෙර පාසල් දරුවෝ ගයති.

ඡායාරූප මූලාශ්‍රය, Image copyrightBRENDAN SMIALOWSKI
එවන් පසුබිමක, මෙම දැවැන්ත දේශපාලනික චරිතයෙන් තොර උතුරු කොරියාවක් ගැන අප සිතන්නේ කෙසේ ද? එරට ප්‍රභූන් පෙළ ගැසෙන්නේ කෙසේ ද? සමස්ත සමාජය සංවිධානය වන්නේ කෙසේ ද?
සරල ම පිළිතුර වන්නේ; අපි නොදනිමු. තවදුරටත් එය රසවත් වන්නේ ඔවුන් ද නොදන්නා බැවිනි. එදා මෙදා තුර ඔවුන් විසින් එවැන්නක් සිදු කරනු ලැබ නැත.
කිම් ජොන්ග් අන් රටේ නායකත්වය සඳහා සූදානම් කරද්දී ඊට සුජාතභාවයක් ලබා දීම සඳහා ඔවුහු "පෙක්ටු ලෙය" යන යෙදුම පවා භාවිත කළහ.
පෙක්ටු (Paektu) නමින් හැඳින්වෙන්නේ උතුරු කොරියානු පුරාණ දේව කතා හා සබැඳුණු, පූජනීය කඳු මුදුනකි.
උතුරු කොරියාවේ පියා ලෙස සැලකෙන කිම් ඉල් සුන්ග් සිය ගරිල්ලා යුද්ධය දියත් කළ සහ කිම් ජොන්ග් ඉල් උපත ලද ස්ථානය ලෙස ද මෙම කඳු මුදුන ගෞරවාදරයට පාත්‍ර වේ.
රට වෙනුවෙන් ගන්නා තීරණවල වැදගත් බව අවධාරණය කිරීම සඳහා තවමත් කිම් ජොන්ග් අන් එම ස්ථානයට යන්නේය.
උතුරු කොරියානු සංකල්පය තුළ 'කිම්' කෙනෙකු නිරන්තරයෙන් සිටී.
එසේ නම්, එවැනි උරුමක්කාරයෙකුගෙන් තොර උතුරු කොරියාවක් කෙබඳු විය හැකි ද?
කිම් ජොන්ග් අන් 36 හැවිරිදිය. ඔහුට දාව දරුවන් සිටින බවට විශ්වාස කෙරේ. නමුත් ඔවුහු රටේ නායකත්වය දැරීමට තරම් නිසි වයසක පසු නොවෙති.
වත්මන් නායක කිම් ජොන්ග් අන්, තිදරු පියෙකු බවත් වැඩිමලාගේ වයස අවුරුදු දහයක් සහ බාලයාගේ වයස අවුරුදු තුනක් වන බවත් පැවසේ.
ඔහු රටේ නායකත්වයට පත් වූයේ තරුණ වියේදී මය. එවකට ඔහුගේ වයස අවුරුදු 27ක් වූ බව විශ්වාස කෙරිණි.
නායකයෙකු තෝරා ගන්නා අවස්ථාවක යම් ආකාරයක නායකත්ව කණ්ඩායමක් මතු වන බවක් පෙනෙන්නට තිබේ. මෙය වියට්නාමයේ මෙන් රටේ ප්‍රාරම්භක නායකයාගේ ඉගැන්වීම්වලට සහ නීති මාලාවට දැඩි සේ අවනත, එමෙන් ම ඒවා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා කැප වූ කණ්ඩායමක් විය හැක.
ප්‍රධාන තානාන්තර දරන්නන් කවුරුන් දැයි නිරීක්ෂකයන්ට සොයා ගත හැකිය. ප්‍රධාන ආයතනවලින් නිකුත් කෙරෙන තොරතුරු හෝ පුවත් ඔවුනට නිරීක්ෂණය කළ හැකිය. නමුත් රටේ ප්‍රභූන් අතර වර්ධනය වන බෙදීම් ගැන දන ගැනීමට නොහැකිය. ආයතනික වශයෙන් වර්ධනය කර ගත් බලයට වඩා පෞද්ගලික සබඳතා මත බලය වැඩි වශයෙන් තහවුරු කර ගෙන ඇත්තේ කවුරුන් ද යන වග පිටතට නොපෙනේ.
ඇතැම් විට ප්‍රධාන ආයතනයක ඉහළ ම තනතුර දරන්නාට වඩා දෙවෙනියා සැබෑ ලෙස බලය තහවුරු කර ගත් පුද්ගලයා වනු ඇත.
එවැනි තත්ත්වයක් යටතේ මීළඟ නායකයා පිළිබඳව අනාවැකි කීම අතිශය දුෂ්කර කාර්යයකි.
වත්මන් නායකත්වය වියැකී ගියහොත් දේශපාලනික වශයෙන් මතු විය හැකි කිම්ලා තිදෙනෙක් සිටිති. පවුලේ නීතිරීති මාලාව හමුවේ මේ තිදෙනාට ම සීමා පැනවී තිබේ.
ඉන් පළමු වැන්නී කිම් ජොන්ග් අන්ගේ බාල සොයුරිය වන කිම් යෝ ජොන්ග් ය. සිය පියාණන්ගේ සිත් දිනා ගත් දැරිය ලෙස සැලකෙන ඇය තුළ කුඩා කල පටන් ම දේශපාලනයට ඇති කැමැත්ත සහ දැනුවත්භාවය පිළිබඳව පියා විසින් ම සඳහන් කරනු ලැබ තිබේ.
ජනාධිපති ට්‍රම්ප් සහ කිම් අතර සිංගප්පුරුවේදී පැවති සාකච්ඡාවේදී ගිවිසුම අත්සන් කිරීම සඳහා තම සොහොයුරු කිම් අතට පෑන ලබා දෙනු ලැබුණේ ඇය විසිනි.
හැනොයි නුවර පැවති ඊළඟ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවේදී පවා ඇය නායක කිම් සමග සමීපව සිටියාය.
නමුත් රටේ ඉහළ ම තීරණ ගන්නා සභාවේ ඇය නොමැත. රාජ්‍ය කටයුතු පිළිබඳ කොමිසමේ ද නොමැත. නමුත් රටේ නායකයාගේ පක්ෂයේ ප්‍රධාන අංශයක ඉහළ තනතුරු දරන්නියකි.
කෙසේ නමුත්, පීතෘමූලික සංකල්පය මුල් බැසගෙන ඇති සමාජයක කාන්තාවක ලෙස රටේ නායකත්වය කරා පැමිණීම ඉතා අසීරු වනු ඇත.
උතුරු කොරියාව අතිශයින් ම පුරුෂ මූලික රාජ්‍යයකි. ස්ත්‍රී පුරුෂ භාවය මත තීරණය වන, පහසුවෙන් නොනැමෙනසුලු අපේක්ෂා සහිත සමාජයකි.
එවන් පසුබිමක, රටේ උත්තරීතර නායකයා වශයෙන් මෙන් ම ත්‍රිවිධ හමුදාව මෙහෙයවන්නා වශයෙන් පවතින වගකීම් සහ කාන්තාවක වශයෙන් අපේක්ෂිත වගකීම් නොපෑහේ.
රටේ මීළඟ නායකත්වය සඳහා සිටින දෙවැන්නා ලෙස සැලකිය හැක්කේ කිම් ජොන්ග් චුල්ය. ඔහු කිම් ජොන්ග් අන්ගේ වැඩිමල් සොයුරාය.
නමුත් දේශපාලනයට හෝ බලයට වැඩි කැමැත්තක් ඇති බවක් ඔහුගෙන් කිසි දා පළවී නොමැත. (ඔහු ඊට වඩා එරික් ක්ලැප්ටන් නම් ගායකයාට කැමති බව සඳහන්ය.)
ඔහු කිම් පවුලට ප්‍රධාන සමීපතයා විය හැකි බව සැබවි. යම් පදනමක ප්‍රධානියා වශයෙන් ප්‍රධාන දේශනය කියවීම සඳහා යොදා ගත හැකි බව ද සැබවි.
රටේ මීළඟ නායකත්වය සඳහා සිටින තුන් වන සහ අවසාන පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ කිම් පියොන්ග් ඉල්ය. ඔහු කිම් ජොන්ග් අන්ගේ ඥාති සොහොයුරෙකි.
ඔහු 1979 පටන් තානාපති පදවි දරමින් යුරෝපයේ ජීවත් වූ අතර උතුරු කොරියාවට නැවත පැමිණියේ පසුගිය වසරේදීය.
එම නිසා රටේ නායකත්වය ලබා ගැනීමට තරම් ප්‍රභූ ජාලය තුළ සමීප සබඳතා ගොඩ නැගී ඇති බවක් සිතීම අසීරුය.
වත්මන් නායක කිම් ජොන්ග් අන්ගේ කාලය තුළ දේශපාලනික වශයෙන් ඉදිරියෙන් කැපී පෙනුණු වෙනත් පුද්ගලයන් කිහිප දෙනෙක් ද සිටිති.
නමුත් ඔවුන් අතරින් වැඩි බලයක් ගොඩ නගා ගත හැකි පුද්ගලයා කවුරුන් දැයි තවමත් පැහැදිලි නැත.
උතුරු කොරියානු යුද හමුදාවේ ජෙනරාල්වරු දෙදෙනෙකු ද කැපී පෙනිණි. ඇතැම් විට මීළඟ නායකයා තෝරා ගන්නා තුරු යම් කාල පරතරයක් වෙතොත් එහිදී අන්තර්වාර නායකත්වයක් සඳහා ඉන් කවරෙකු හෝ යොදා ගැනීමට ඉඩක් තිබේ.
මේ අනුව බලන කල උතුරු කොරියාවේ මීළඟ නායකත්වය සඳහා අංග සම්පූර්ණ තරගකරුවෙකු නොමැති බවක් පෙනෙන්නට තිබේ.
වත්මන් නායකයාගේ සහෝදරියට පවතින ප්‍රධානතම අභියෝග වන්නේ ස්ත්‍රී පුරුෂ භාවය මත රඳා පවතින වෙනස්කම් ජය ගැනීම සහ පුරුෂ මූලික රාජ්‍ය උරුමය සහිත සම්ප්‍රදාය බිඳ දැමීම ය.
කිම් පවුලෙන් පිටස්තරයන්ට "පෙක්ටු ලේ" නොමැත.
අවසානයේ මේ සියලු දෙනාට ම රාජ්‍යයේ එක්සත්භාවය ගැන අන් සියල්ලට වඩා සිතන්නට සිදුවනු ඇත.








