කොරෝනා වෛරසය: 'සීමා ඉවත් කිරීමෙන් වෛරසය නැවතත් ඇවිළී යා හැකියි' - ලෝක සෞඛ්‍ය සංවිධානය

කොරෝනාවෛරසයට එරෙහි වර්තමාන සටන ගැන තෘප්තිමත්ව එහි බරපතළකම මග හැරීමෙන් මෙම රෝගය "දීර්ඝ කාලයක් අප සමග සිටිනු" ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ප්‍රධානියා අනතුරු අඟවා තිබේ.

අප්‍රිකාව, නැගෙනහිර යුරෝපය, මධ්‍යම ඇමරිකාව සහ දකුණු ඇමරිකානු රටවල කෝවිඩ් -19 රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යන ප්‍රවණතාවක් ඇතැයි ද ආචාර්ය ටෙඩ්‍රොස් අද්නොම් ගෙබ්‍රෙයිසස් අනතුරු ඇඟවීය.

දැනට ක්‍රියාත්මක වන සීමා ඉවත් කිරීමෙන් ආසාදනය "නැවත ඇවිලී" යා හැකි බව ඔහු පැවසීය.

වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථාවරය ආරක්ෂා කරමින් ආචාර්ය ටෙඩ්‍රොස් අදහස් පළ කළේය.

ඔහු පවසන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක සෞඛ්‍ය සංවිධානය කෝවිඩ් -19 වෛරසය ගැන කල් වේලා ඇතුව ලෝකයට අනතුරු ඇඟවූයේ යැයි තමන් විශ්වාස කරන බවය.

"ආපසු හැරී බලන විට මම සිතන්නේ අපි මේ හදිසි අවස්ථාව ගැන නියම වේලාවට ප්‍රකාශයට පත් කළා කියලා. එයට ප්‍රතිචාර දැක්වීමට ලෝකයට ප්‍රමාණවත් කාලයක් තිබුණා," යැයි ඔහු ජිනීවාහි දිනපතා පැවැත්වෙන සාකච්ඡාවකදී පැවසීය.

ජනවාරි 30 වන දින කෝවිඩ් -19 වෛරසය මහජන සෞඛ්‍ය සම්බන්ධ ජාත්‍යන්තර හදිසි තත්වයක් ලෙසින් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළ අතර, මාර්තු 11 වන දින එය ගෝලීය වසංගතයක් බවට පත්ව ඇතැයි ප්‍රකාශ කළේය.

ලොව පුරා බොහෝ ආණ්ඩු ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩපිළිවෙළ ගැන සිය ප්‍රශංසාව පළ කර ඇතත්, එක්සත් ජනපදයේ දේශපාලඥයන් කීප දෙනෙකු ඇතුළු සමහර රටවල් සිය අප්‍රසාදය පළ කරමින් ආචාර්ය ටෙඩ්‍රොස්ට සිය පදවියෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබිණි.

ඉල්ලා අස්වන ලෙස සිදුකළ ඉල්ලීම් පිළිබඳ වාර්තාකරුවන් ප්‍රශ්න කළ විට විශේෂඥ වෛද්‍ය ටෙඩ්‍රොස් පැවසුවේ, ජීවිත බේරා ගැනීම වෙනුවෙන් ඔහු "දිවා රෑ නොබලා" ක්‍රියාත්මක වන බවය.

එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව, මේ වන විට ලොව පුරා කොවිඩ් -19 රෝගීන් මිලියන 2.6 කට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින අතර සහ මරණ 181,000 කට වඩා වාර්තා වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ කුමක් ද?

ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින් වෛද්‍ය ටෙඩ්‍රොස් පැවසුවේ බටහිර යුරෝපයේ රටවල වසංගත තත්ත්වය ස්ථායී හෝ අවම වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබුණ ද වෙනත් බොහෝ රටවල මෙම රෝගය පැතිරීම ආරම්භ වෙමින් පවතින බවය.

"වසංගතය මුල් අවධියේදී පීඩාවට පත් වූ සමහර රටවල දැන් නැවතත් මෙය පැතිරී යන බව දක්නට තිබෙනවා," ඔහු පැවසීය.

"කිසි ම වැරැද්දක් සිදු වෙන්න දෙන්න එපා. අපට බොහෝ දුර යා යුතුව තිබෙනවා. මේ වෛරසය අප සමග බොහෝ කාලයක් පවතියි."

ඔහු තවදුරටත් පැවසුවේ, "බොහෝ රටවල නිවසේ රැඳී සිටීමට ලබා දුන් නියෝග සහ දූරස්ථබව පවත්වාගෙන යාම වැනි ක්‍රියාමාර්ග නිසා මෙය පැතිරීම සාර්ථකව යටපත් කර ඇති බවට කිසිදු සැකයක් නැහැ. නමුත් මේ වෛරසය අතිශයින් ම භයානකයි," යනුවෙනි.

"මුලින් ලැබුණු සාක්ෂිවලින් පෙනී යන්නේ ලෝක ජනගහනයෙන් බහුතරයක් අවදානමට ලක්ව සිටින බවයි. එයින් අදහස් වන්නේ වසංගතයක් නැවතත් පහසුවෙන් ඇවිලී යා හැකි බවයි."

"අප දැන් මුහුණ දෙන ලොකු ම අනතුරුවලින් එකක් වන්නේ වෛරසය පාලනය කළ බවට තෘප්තිමත් වී එහි බරපතළකම නොසලකා හැරීමයි."

ඔහු සමග අදහස් දක්වමින් විධායක අධ්‍යක්ෂ ආචාර්ය මයික් රයන් පැවසුවේ ක්‍රීඩා තරග වැනි විශාල උත්සව නැවත ආරම්භ කිරීම සඳහා මහජනතාව සහ රජයයන් අතර "නව සමාජ ගිවිසුමක්" තිබිය යුතු බවය. මෙහි "අවදානම ශුන්‍ය නොවන බව" මහජනතාවට පිළිගැනීමට සිදුවන බව ද ඔහු පැවසීය.

කෝවිඩ් 19 වෛරසය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ දිනපතා සාකච්ඡාවේදී එක්සත් රාජධානි රජයේ ප්‍රධාන වෛද්‍ය උපදේශකවරයා අනතුරු අඟවමින් පැවසුවේ, අවම වශයෙන් අවුරුද්දේ ඉතිරි කාලය තුළ එක්සත් රාජධානියේ වැසියන්ට සමාජීය වශයෙන් යම් සීමාවලට යටත්ව දිවි ගෙවීමට සිදුවනු ඇති බවය. මහාචාර්ය ක්‍රිස් විටී තවදුරටත් පැවසුවේ ජීවිතය හදිසියේ ම යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කිරීම "මුළුමනින් ම යථාර්ථවාදී නොවන" බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මුහුණ දී ඇති විවේචන මොනවා ද?

පසුගිය වසර අවසානයේදී කොරෝනාවෛරසය චීනයෙන් මතුවීමත් සමග එය පැතිරී යාම වැළැක්වීම වැරදි ලෙස කළමනාකරණය කිරීමත්, එය වසන් කිරීමත් යන හේතු මත ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබා දෙන අරමුදල් නවතා දමන බව පසුගිය සතියේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේය.

වසංගත පාලනය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිචාරය පරීක්ෂාවට ලක්වූ පළමු අවස්ථාව මෙය නොවේ.

වසංගතය සම්බන්ධයෙන් තායිවානයේ ප්‍රතිචාරය ගැන සාකච්ඡා කිරීම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රතික්ෂේප කිරීමත් සමග මාර්තු මාසයේදී චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයට අනවශ්‍ය ලෙස බලපෑම් සිදු කළ බවට චෝදනා එල්ල විය.

මුහුණු ආවරණ පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් මහජනතාව ව්‍යාකූලත්වයට පත් කරන බව ද සමහර සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

අඟහරුවාදා දින (අප්‍රේල් 21) එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ චීනය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය නැවතත් විවේචනය කරමින් අදහස් පළ කළේය.

"නව කොරෝනාවෛරසය පැතිරී යාම ගැන චීන කොමියුනිස්ට් පක්ෂය නිසි වෙලාවට ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා නොකළ බව අපි තරයේ විශ්වාස කරනවා," ඔහු වාර්තාකරුවන්ට පැවසීය.

"මෙම වසංගතය අතරතුර ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියාමන හස්තය පැහැදිලිව ම අසාර්ථක වෙලා තිබෙනවා. විනිවිදභාවය සහ නිවැරදි ආකාරයෙන් ක්‍රියාත්මක වීම ජීවිත බේරා ගැනීම සඳහා ඉතා වැදගත් වෙනවා," ඔහු තවදුරටත් පැවසීය.