කොරෝනා වෛරසය: සිංගප්පූරුවේ සංක්‍රමණික සේවකයන් 20,000ක් නිරෝධායනයට

Workers carrying pipes

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, නීරෝධයනයට යොමු කර ඇති වැඩි දෙනෙකු ඉන්දියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියානු රටවලින් පැමිණි පුද්ගලයන්ය

සිංගප්පූරුවේ කොරෝනාවෛරස් ආසාදිතයන් ගණන නැවත ඉහළ යාමත් සමග විදේශ ශ්‍රමිකයින් 20,000 කට දින 14 ක් ඔවුන්ගේ නේවාසිකාගාරවල රැඳී සිටින ලෙස බලධාරීන් දන්වා තිබේ.

නේවාසිකාගාර දෙකක් හුදකලා කර ඇති අතර, ඉන් එකක සේවකයන් 13,000 ක් සහ රෝගීන් 63 ක් ද, අනෙක් නේවාසිකාගාරයේ සේවකයන් 6,800ක් සහ ආසාදිතයන් 28 ක් ද සිටිති.

ඔවුන් බොහෝ දෙනෙකු ඉදිකිරීම් කටයුතු සඳහා දකුණු ආසියානු රටවලින් පැමිණි පුද්ගලයන්ය.

සේවකයන්ට වැටුප් ලැබෙන අතර, දිනකට ආහාර වේල් තුනක් ලැබේ. නමුත් සමහරු එහි පවතින තදබදය සහ අපිරිසිදු තත්ත්වයන් ගැන පැමිණිලි කර තිබේ.

වෛරසයට ඉක්මන් ප්‍රතිචාර දැක්වීම ගැන සිංගප්පූරුව ප්‍රශංසාවට ලක් වුවද රටවැසියන් අතර රෝගය පැතිර යාම ඉහළ යමින් තිබේ. ඒ අනුව, අඟහරුවාදා (අප්‍රේල් 7) සිට සිංගප්පූරුව "වසා දැමීමට" (lockdown) නියමිතය.

රජය ප්‍රකාශ කර ඇත්තේ කුමක්ද?

ස්ථාන දෙකක් මුද්‍රා (සීල්) තබා ඇත. එනම්, පුන්ගෝල් එස් 11 නේවාසිකාගාරය සහ සාපේක්ෂ වශයෙන් ඊට කුඩා වෙස්ට්ලයිට් ටෝ ගුවාන් නේවාසිකාගාරයයි.

නේවාසිකාගාරවල රෝගීන් ගණන ඉහළ යමින් පවතින අතර, මෙලෙස හුදකලා කිරීමෙන් "සේවකයන්ට ආරක්ෂාකාරීව තබා ගැනීමටත්, පුළුල් ප්‍රජාව අතර දැඩි ලෙස පැතිරීම වළක්වා ගැනීමටත්"හේතු වන බව එරට රජය කියා සිටියි.

Presentational grey line
Presentational grey line

සේවකයන්ට ඔවුන්ගේ කුටි අතහැර යාම තහනම් කර ඇති අතර, ඔවුන්ගේ කාමරයේ හෝ මහලේ ජීවත් නොවන පුද්ගලයින් සමග සබඳතා නොපවත්වන ලෙස දන්වා ඇත.

කාමරයක සිටින පුද්ගලයින්ගේ සංඛ්‍යාව නේවාසිකාගාරය අනුව වෙනස් වේ. නමුත්, 2015 දී බීබීසී කණ්ඩායමක් නව සංකීර්ණයකට ගිය අතර, එහි එක් කාමරයකට පුද්ගලයන් 12 දෙනෙකු සිටිනු දක්නට ලැබිණි.

කොන්දේසි මොනවාද?

Singapore's skyline

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිංගප්පූරුව තුළ පුද්ගලයන් මිලියන 5.7 ක් පමණ දිවි ගෙවන අතර, ඉන් මිලියන 1.4ක් විදෙස් ශ්‍රමිකයන්ය

සේවකයන්ට ඔවුන්ගේ වැටුප් ලැබෙනු ඇති අතර, එම වැටුප් ආවරණය කිරීම සඳහා ඔවුන්ගේ සේවා යෝජකයන්ට දිනකට සිංගප්පූරු ඩොලර් 100 ක් (ඇමරිකානු ඩොලර් 67) ඉල්ලා සිටීමට අයිතියක් ඇත.

ඔවුන්ට දිනකට ආහාර වේල් තුනක්, මුහුණු ආවරණ, සනීපාරක්ෂක දියර සහ උෂ්ණත්වමාන ලැබෙනු ඇත. දිනකට දෙවරක් ශරීර උෂ්ණත්වය වාර්තා කළ යුතු අතර "සංකීර්ණය තුළ සෞඛ්‍ය සේවා" පිහිටුවා ඇත.

එහෙත් පුන්ගෝල් නේවාසිකාගාරයේ සේවකයන් සය දෙනෙකු 'ස්ට්‍රේට්ස් ටයිම්ස්' පුවත්පතට පැවසුවේ ඔවුන්ගේ මධ්‍යස්ථානයේ දැනටමත් කැරපොත්තන් සිටින අතර, පිරී ඉතිරී ගිය වැසිකිළි සහ ආහාර සඳහා පෝලිම් ඇති බවය.

විදෙස් ශ්‍රමිකයන්ගේ නේවාසිකාගාර පෞද්ගලික හිමිකාරීත්වයක් යටතේ පවත්වාගෙන යනු ලබන නමුත්, පදිංචිකරුවන් 1,000 කට වඩා සිටී නම් බලපත්‍රයක් ලබා ගත යුතුය. සිංගප්පූරුවේ එවැනි ස්ථාන 40 ක් පමණ තිබේ.

සිංගප්පූරුවේ කොරෝනාවෛරස් සම්බන්ධයෙන් පවතින තත්ත්වය කුමක්ද?

සිංගප්පූරුව තුළ රෝගීන් 1,300 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 6 ක් වාර්තා වී තිබේ.

මුල් අවස්ථාවේ දී වැඩි ආසාදිතයන් ප්‍රමාණයක් විදේශිකයන් හෝ විදෙස් රටකින් පැමිණි පුද්ගලයන් වූ නමුත්, මේ වන විටදේශීය වශයෙන් වෛරසය පැතිරෙන වේගය ඉහළ යමින් පවතී. ඉරිදා (අප්‍රේල් 5) නව ආසාදිතයන් 120 ක් වාර්තා වූ අතර, එය දිනක් ඇතුළත සිංගප්පුරුවේ වාර්තා වූ වැඩිම ගණනය.

වෙනත් රටවල දක්නට ලැබෙන වසා දැමීම්වලට (lockdowns) සමාන ක්‍රමයක් එරට රජය සිකුරාදා දින ප්‍රකාශයට පත් කළේය.

පාසල් සහ අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර මෙම සතියේ වසා දැමීමට සැලසුම් කර ඇති අතර, පුද්ගලයන්ට නිවසේ රැඳී සිටින ලෙස දිරිමත් කර ඇත.

සිංගප්පූරුවේ විදේශීය ශ්‍රමිකයින් කොපමණ සිටීද?

මේ නාගරික රාජ්‍යයේ පුද්ගලයන් මිලියන 5.7 ක් පමණ දිවි ගෙවන අතර, ඉන් මිලියන 1.4ක් විදෙස් ශ්‍රමිකයන්ය. (2019 ජුනි මස දත්ත අනුව).

විදේශීය ශ්‍රමිකයින්ගෙන් 284,000 ක් "ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා බලපත්‍ර" යටතේ සිටිති.

ඉන්දියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය ඇතුළු ස්ථාන 12 ක සේවකයන් වෙනුවෙන් අදාළ බලපත්‍ර ඉල්ලුම් කිරීමට සේවා යෝජකයින්ට හැකිය.

කොරෝනාවෛරසය ගැන තවත් පුවත්: