ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නව කොරෝනාවෛරසයට සහ ඉන් හටගන්නා රෝගයට නිල නම් ලැබෙයි
නව කොරෝනාවෛරසය මගින් ඇති වන රෝගයේ නිල නාමය කොවිඩ්-19 (Covid-19) යනුවෙන් නම් කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
"රෝගයට නමක් අපට තියෙනවා දැන්. ඒ නම කොවිඩ්-19," ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඝේබ්‍රියසස් ජිනීවාහිදී මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
රෝගයට නිල නාමයක් හිමි වූයේ වෛරසය නිසා දහසකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වීමෙන් පසුවය. මේ වන විට තවත් පුද්ගලයින් දහස් ගණනකට වෛරසය ආසාදනය වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ලෝක ප්‍රජාවෙන් ඉල්ලා සිටියේ හැකි උපරිමයෙන් මෙම වෛරසයට එරෙහිව සටන් කරන ලෙසය.
කොරෝනාවෛරස් යනු වෛරස් වර්ග 7කින් යුත් වෛරස් කාණ්ඩයකි.
මේ අතර, වෛරස් වර්ගීකරණය සඳහා වන ජාත්‍යන්තර කමිටුව (International Committee on Taxonomy of Viruses) විසින් නව කොරෝනාවෛරසය SARS-CoV-2 ලෙස (Severe acute respiratory syndrome coronavirus 2) නම් කර තිබේ.
කිසිදු රටකට හෝ පුද්ගල කණ්ඩායමකට හානියක් නොවන පරිදි මෙම වෛරසය සඳහා නිල නාමයක් ලබා දෙන ලෙසට පර්යේෂකයින් ඉල්ලා තිබිණි.
"භූමි ප්‍රදේශයක්, සතෙක්, පුද්ගලයෙක්, කණ්ඩායමක් ඉලක්ක නොවන විදිහට පහසුවෙන් උච්චාරණය කරන්න පුළුවන් නමක් හොයන්න අපට සිද්ධ වුණා," ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පැවසීය.
මෙම රෝගය සඳහා ලබා දී ඇති නාමය සකසා ඇත්තේ, "corona", "virus" සහ "disease" යන වචන යොදා ගනිමිනි. ඊට අමතරව මෙම රෝගය 2019 වසරේ දී (දෙසැම්බර් 31) ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත වාර්තා වී ඇති හෙයින් 19 යන අංකය ද මේ සදහා යොදාගෙන තිබේ.
චීනයේ මේ වන විට මෙම වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 42,200 ඉක්මවා තිබේ. සිදුව ඇති මරණ සංඛ්‍යාව සාර්ස් වෛරසයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉක්මවා තිබේ.
සඳුදා (පෙබ:10) වන විට චීනයේ ජීවිතක්ෂයට පත් පුද්ගලයින් සංඛ්‍යාව 1016ක් ලෙස වාර්තා විය.