ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වන සතුන්ට ආශීර්වාදයක් විය හැකි කොරෝනාවෛරසය
- Author, නවින් සිං ඛාඩ්කා
- Role, පරිසර වාර්තාකරු, BBC ලෝක සේවය
ලොව පුරා දහස් ගණනකට ආසාදනය වූ නව කොරෝනා වෛරසය මිනිස් සිරුරට මුලින්ම ඇතුළු වන්නට ඇත්තේ චීනයේ වූහාන් පළාතේ ඇති මත්ස්‍ය හා මාංශ වෙළඳපොළකින් බවට විද්‍යාඥයෝ සැක කරති.
මෙම වෙළඳපොළ නීතිවිරෝධී සත්ව වෙළඳාම සිදුවෙමින් පැවතුණු ස්ථානයක් ලෙස සැලකේ. එම සතුන් අතර දුර්ලභ සර්පයන්, ඉත්තෑවන් සහ රැකූන් ආදී සත්ව වර්ග බොහොමයක් කූඩුකර තිබුණි.
මෙම සතුන් ආහාරය සඳහා හෝ පාරම්පරික ඖෂධ ක්‍රමවේද සඳහා හෝ සත්ව ජාවාරම් සඳහා අලෙවි වෙමින් පැවතුනි.
නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වන්නට පටන් ගැනීමත් සමඟ මෙම වෙළඳපොළ වසා දැමීමට චීන බලධාරීහු පියවර ගත්හ.
වන සතුන් හෝ එම මාංශ යොදා ගනිමින් නිෂ්පාදනය වූ ආහාර වර්ග වැඩිපුරම පරිභෝජනයට ගන්නා රට චීනයයි. එය නීතිගතව හෝ නීතිවිරෝධී ආකාරයෙන් සිදුවිය හැක.
තාවකාලික තහනම
ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් පවසන්නේ වෛරසය මුලින්ම පැමිණෙන්නට ඇත්තේ වවුලන්ගේ සිරුරෙන් බවය. නමුත් එය සෘජුව ම මිනිස් සිරුරට ආසාදනය වන්නට පෙර තවත් අතරමැදි සතෙකු සිටින්නට ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.
එම අතරමැදි සත්වයා කවරෙක්දැයි තවමත් තහවුරු වී නොමැත.
චීන ජාතිකයෝ සාම්ප්‍රදායිකව වන සත්ව මාංශ කෙරෙහි රුචියක් දක්වති. ඇතැම් මාංශ අනුභවය රස නහර පිනවීම සඳහා ම වන අතර පාරම්පරිකව පැවත එන වෙදකම වෙනුවෙන් ද ඇතැම් මාංශ අනුභව කරති.
චීනයේ ඇතැම් ආපන ශාලා 'වවුල් මාංශ සුප්' වැනි ආහාර ද අලෙවි කරයි. එම සුප් බඳුන මත, පිසින ලද සම්පුර්ණ වවුලා තබා ඇත. කොටියාගේ වෘෂණ කෝෂ සහිත සුප්, එමෙන්ම කලවැද්දාගේ දේහ කොටස් සහිත ආහාර ද ඇතැම් ආපනා ශාලා තුළ අලෙවි කෙරේ.
තෙලින් බදින ලද නාගයන්, තම්බන ලද වලස් පාද, කොටි අස්ථි යොදා ගනිමින් තනන ලද වයින් වර්ග ද ඉහළ පෙළේ ආපන ශාලාවල කෑම ලයිස්තුවේ පවතී.
පැල්පත් සහිත ප්‍රදේශවල පවතින මාංශ වෙළඳපොළ තුළ මීයන්, පූසන්, සර්පයන්, මෙන්ම පක්ෂීන් වර්ගද අලෙවි කෙරේ. ඇතැම් විට මෙම සත්වයන් වඳවී යාමේ තර්ජනයට ලක් වී සිටින සත්ව ගණයට අයත් වේ.
මෙවැනි ආහාර ගැනීම සාම්ප්‍රදායිකව සහ සංස්කෘතික වශයෙන් සැලකෙන්නේ තමන් ලද මහඟු අවස්ථාවක් ලෙසිනි.
ඇතැම් වන සත්ව මාංශ චීන වෛද්‍ය ක්‍රමය අනුව වර්ගීකරණය කර ඇත්තේ වඳ භාවයට, ආතරයිටීස්, රක්තවාතය වැනි රෝගවලට ප්‍රතිකර්ම ලෙසිනි.
චීන වෙදකමට රයිනෝසිරස් ගේ අඟ බහුල ලෙස යොදා ගැනීම නිසා හොඳ වෙළඳ පොලක් ඇතිවීම, එම සත්වයා වඳවී යාමේ තර්ජනයට ලක්වීමට ප්‍රධාන හේතුවක් විය.
මේ සියල්ල සිදුවන්නේ මිනිසාට ඇතිවන ආසාදනයන්ගෙන් 70%ක් ම සතුන්ගෙන් සංක්‍රමණය වූ ඒවා බවට ඇස්තමේන්තු කර තිබියදී ය.
නව කොරෝනා වෛරසය මිනිසාට වැළඳීමෙන් පසුව චීනයේ පවතින වන සත්ව වෙළඳාම දෙසට නැවතත් අවධානය යොමු වන්නට පටන් ගත්තේය.
චීන බලධාරීන් වන සතුන් වෙළඳාමට තාවකාලික තහනමක් පැනවීමට හේතු වූයේ ද මෙම නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියයි.
නමුත් මෙම තාවකාලික තහනම සදාකාලික තහනමක් බවට පත් කර ගැනීම සඳහා සත්ව ආරක්ෂණ සංවිධාන වෑයම් කරයි.
මෙම කොරෝනා වෛරසය නිසා වනසතුන් වෙළඳාමට තිත තැබීමට හැකියාවක් ලැබේවිද? වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින සතුන් ආරක්ෂාකර ගැනීමට එමගින් අවකාශයක් ලැබේවිද?
විශේෂඥයන් පවසන්නේ එය අතිශය බැරෑරුම් අභියෝගයක් වන නමුත් ජය ගත නොහැකි ඉලක්කයක් නොවනු ඇති බවය.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි මෑත කාලයේ වසංගතයක් බවට පත්වූ සාර්ස් සහ මර්ස් වෛරස ද මිනිසා කරා පැමිණ ඇත්තේ පිලිවෙලින් වවුලන්ගෙන් සහ ඔටුවන්ගෙනි.
"මින් පෙර මිනිස් ඇසුරේ නොසිටි වන සතුන් කරා මිනිසා ලංවෙලා තිබෙනවා. ඒ නිනා මින් පෙර හඳුනා නොගත් වෛරස සහ බැක්ටීරියාවන් එම සතුන් හරහා මිනිසා වෙත පැමිණ තිබෙනවා." ලෝක සෞඛ්‍ය සංවිධානයේ පෝෂණ හා ආහාර සුරක්ශාව පිලිබඳ විශේෂඥ වෛද්‍ය බෙන් එම්බාරෙක් බීබීසීයට පැවසීය.
ලොව පුරා නීතිවිරෝධී වන සත්ව ජාවාරම ඩොලර් බිලියන 20ක් පමණ වටිනාකමකින් යුත් බවට ඇස්තමේන්තු කර තිබේ.
දුර්ලභ වන සතුන් ආහාරයට හෝ ඖෂධ සඳහා යොදා ගැනීමේ පවතින අනතුරුදායක බවත් එම සතුන් ආරක්ෂා කර ගැනීම පිළිබඳවත් නැවත සිතන්නට අවස්තාවක් නව වසංගත තත්වය නිසා පෑදී ඇති බව සොබාදහම වෙනුවෙන් කටයුතු කරන WWF ආයතනය නිවේදනය කර තිබේ.
කෙසේ නමුත් චීන ආණ්ඩුව පැහැදිලිවම පවසා ඇත්තේ වන සත්ව වෙළඳාමට පනවා ඇත්තේ තාවකාලික තහනමක් පමණක් බවය.
සාර්ස් වෛරසය පැතිර යන කාල වකවානුව තුල ද චීනය මෙවැනිම තාවකාලික තහනමක් පැනවීය.
නමුත් ටික කලක් ගත වී යත්ම එම තහනම යටපත් වී වන සතුන් වෙළඳාම යළි හිස එසැවූ බව පරිසරවේදීහු පෙන්වා දෙති.
පාලනයකින් තොරව සිදු කෙරෙන වන සත්ව වෙළඳාමක් තම රට තුල පවතින බවට නැගෙන චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි.
කියවන්න:
"ආහාරය සඳහා හෝ ඖෂධ සඳහා යොදා ගැනීමට වන සතුන් ළඟ තබා ගැනීම හෝ බෝ කිරීම හෝ දඩයම් කිරීම නිත්‍ය වශයෙන් ම තහනම් කරවා ගැනීම සඳහා මේක හොඳ අවස්තාවක් කර ගැනීමට අප උත්සාහ කරනවා." ලන්ඩනයේ පවතින පරිසර පර්යේෂණ ඒජන්සියේ ඩෙබී බෑන්ක්ස් පවසන්නීය. මෙම ආයතනය විසින් චීනයේ වන සත්ව වෙළඳපොළ පිළිබඳව පර්යේෂණ කිහිපයක් ම සිදු කරනු ලැබ තිබේ.
කුරුළු උණ වැනි වසංගත නිසා සතුන් වර්ග කිහිපයක් ම ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබුණු බව විශේෂඥයෝ පවසති.
වසර ගණනාවක් තිස්සේ කරන ලද වෑයම නිසා ඇත්දළ ආනයනය තහනම් කිරීමට චීනය එකඟ වීම හේතුවෙන් අලින් වඳවී යාමේ අනතුරින් ගලවා ගැනීමට හැකි වූ බව ද ඔවුහු පවතී.
කෙසේ නමුත් මෙවැනි තහනම් නියෝග චීනයේ පමණක් පැනවීමෙන් පලක් නොවන බවත් එය ගෝලීය වශයෙන් ක්‍රියාත්මක විය යුතු බවත් විශේෂඥයෝ පෙන්වා දෙති.
එය එසේ වී නමුදු, ලොව විශාලතම වන සත්ව වෙළඳාම පවතින චීනය මෙම ගමනට නායකත්වය දිය යුතු බව පරිසරවේදීන්ගේ අදහසයි.