බ්‍රිතාන්‍ය: හැරී සහ මේගන් ජ්‍යෙෂ්ඨ රාජකාරිවලින් ඉවත් වීම රජ පවුලට "චිත්ත වේදනාවක්"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බ්‍රිතාන්‍ය රජ පවුල තුළ හැරී කුමරුගේ අනාගතය පිළිබඳ සාකච්ඡා පැවැත්වෙමින් තිබිය දී සහ සසෙක්ස් ආදිපාදවරිය මේගන් මාකල් සිය පුතු සමඟ කල් ගෙවීම පිණිස නැවතත් කැනඩාව බලා පිටත්ව ගොස් තිබේ.
හැරී කුමරු සහ මේගන් කුමරිය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ රාජකාරිවලින් ඉවත් වීමට ගත් තීරණය හේතුවෙන් බ්‍රිතාන්‍ය රාජකීය පවුල "චිත්ත වේදනාවට" පත් වී ඇති බව පැවසේ.
හැරී සහ මේගන් සිය පුතු ආචි සමඟ පසුගිය නත්තල් නිවාඩු සමය ගත කළේ කැනඩාවේය.
මේගන් මාකල් මෙසේ කැනඩාවට පිටත්ව ගොස් තිබෙන්නේ, හැරී සහ මේගන්ගේ තීරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළ හැකි ආකාරයේ විසඳුමක් ලබා දීමට කටයුතු කරන මෙන් රැජින, චාල්ස් කුමරු සහ විලියම් කුමරු සිය කාර්ය මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙන අතරවාරයේය.
මෙම තීරණයට එළඹීමට පෙර හැරී කුමරු සහ මේගන් රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකුගෙන් උපදෙස් ලබා නොගෙන ඇති බව හැඟී යයි.
ඔවුන්ගේ අනාගතය ගැන කතා බස් ඇති වුව ද එය තවමත් මුල් අවධියේ පවතින බැවින් බකිංහැම් මාලිගය "අන්ධ" වී සිටි බව බීබීසී රාජකීය පුවත් වාර්තාකරු ජොනී ඩයිමන් පැවසීය.
බකිංහැම් මාලිගය පවසන්නේ, විසඳා ගැනීම පිණිස "සංකීර්ණ ප්‍රශ්න" තිබෙන බවය.
"මාස ගණනක් සිතා බැලීමෙන් සහ අභ්‍යන්තර සාකච්ඡාවලින් පසු රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළා," යැයි හැරී කුමරු සහ මේගන් බදාදා (ජනවාරි 08) නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
"රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයෙන් ඉවත් වී මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමට ද" ඔවුන් අපේක්ෂා කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එක්සත් රාජධානියේ මෙන්ම උතුරු ඇමරිකාවේ ද විටින් විට දිවි ගෙවීමට සැලසුම් කර ඇති ඔවුන් දෙදෙනා, "රැජින වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම්, පොදුරාජ්‍ය මණ්ඩලයේ මෙන්ම අනුග්‍රාහකයන් වෙනුවෙන් ඇති රාජකාරි නොකඩවා සිදු කරනවා" යැයි පැවසූහ.
"මේ භූගෝලීය තුලනය නිසා රාජකීය පසුබිමක බිහිවුණ අපේ පුතාට එම සංස්කෘතිය අගය කිරීමට වගේම අපේ ජීවිතවල මීළඟ පරිච්ඡේදය ගැනත් අවධානය යොමු කරන්න ඉඩ සැලසෙනවා," යැයි ඔවුහු පැවසූහ.
ඔවුන්ගේ තීරණය කෙසේවෙතත් හැරී කුමරු තවමත් රජ පවුලේ ඔටුන්න හිමි හයවෙනියාය.
කේට් සහ විලියම් කුමරුට අයත් කේම්බ්‍රිජ් පුණ්‍යායතනයෙන් පසුගිය වසරේ ජුනි මස දී ඉවත් වීමෙන් පසු සසෙක්ස්හි රාජකීය පුණ්‍යායතනයක් ආරම්භ කිරීමට ඔවුන් සැලසුම් කරති.
එම පුණ්‍යායතනයට එක්සත් රාජධානිය පමණක් නොව අප්‍රිකාව මෙන්ම එක්සත් ජනපදය ද සම්බන්ධ කර පවත්වාගෙන යනු ඇති අතර, කාන්තාවන් සවිබල කිරීම එහි ප්‍රධාන අරමුණය.
මේ තොරතුරු ද කියවන්න:
ඔවුන් මූල්‍යමය වශයෙන් ස්වාධීන වන්නේ කෙසේ ද?
මින් පසු රාජකීය දීමනා ලබා නොගන්නා බව හැරී කුමරු සහ මේගන් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම තීරණයෙන් පසු ඔවුන් "මූල්‍යමය වශයෙන් ස්වාධීන රජ පවුලේ සාමාජිකයන්" ලෙස හඳුන්වනු ඇතැයි ඔවුහු පැවසූහ.

ඡායාරූප මූලාශ්‍රය, PA
රාජ්‍යත්වයට අයත් දේපොළවලින් ලබන ආදායම් සඳහා රැජින බදු නොගෙවන හෙයින් ඇය ඉටුකරනු ලබන නිල රාජකීය කාර්යභාරයන් වෙනුවෙන් කෙරෙන වියදම් මහජන මුදල් වෙයි.
2018 සහ 19 යන වසරවල බ්‍රිතාන්‍යය මහා භාණ්ඩාගාරයෙන් රාජකීය දීමනා ලෙස පවුම් මිලියන 82ක් නිකුත් කර තිබිණි.
හැරී සහ මේගන්ගේ රාජකාරිවලට එම රාජකීය දීමනාවලින් 5% ක් ලැබුණු අතර, ඉතිරි 95% ලැබී ඇත්තේ චාල්ස් කුමරුගේ ආදායමෙනි.
වර්තමාන නීතියට අනුව, "කිසිදු ආකාරයක ආදයමක් ඉපැයීම ඔවුන්ට තහනම්" නමුත්, නව භූමිකාවට අනුව තවත් ප්‍රධාන පෙළේ රාජකීයන් මෙන් පූර්ණකාලීන ලෙස රැකියාවේ නිරත වීමට අවස්ථාව සැලසේ.
නිල විදෙස් සංචාර සඳහා රාජකීය දීමනාවලින් මුදල් ලබා දෙන අතර, "සුදුසු අවස්ථාවල" අදාළ රටෙන් මුදල් දායක කරනු ඇත.
"ජාත්‍යන්තර වශයෙන් ආරක්ෂා කළ යුතු පුද්ගලයන්" ලෙස හඳුන්වන හැරී සහ මේගන්ට බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් පොලිසියෙන් සන්නද්ධ ආරක්ෂකයින් යෙදවිය යුතුය.
බ්‍රිතාන්‍යය බදු ගෙවන්නන්ගේ මුදලින් පවුම් මිලියන 2.4ක් වියදම් කරමින් අලුත්වැඩියා කළ වින්ඩ්සර් හි දෙවෙනි ශ්‍රේණියේ නිවසක් වන 'ෆ්‍රොග්මෝ' තවදුරටත් ඔවුන්ගේ නිල නිවස ලෙස භාවිතා කරනු ඇත. එක්සත් රාජධානිය තුළ "නිවස යැයි කියා හඳුන්වන්න ස්ථානයක් අවශ්‍යයි," ඔවුහු පැවසූහ.
දෙවෙනි නිවස ලෙස උතුරු ඇමරිකාව තෝරා ගත්තේ ඇයි?
ඇමරිකානු ජාතික කාන්තාවක් වන මේගන් කැලිෆෝනියාහි දිවි ගෙවන සිය මව සමඟ ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වයි.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
කෙසේනමුත්, හැරී සහ මේගන් බ්‍රිතාන්‍ය රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයෙන් ඉවත් වීමට ගත් තීරණය ප්‍රථමයෙන් හෙළි කළ 'ද සන්' පුවත්පතේ සඳහන් වන්නේ ඔවුන් දෙදෙනාගේ දෙවෙනි නිවස ලෙස කැනඩාව තෝරා ගැනීමට ඉඩ ඇති බවය.
ඔවුන් මාස අටක් වියැති සිය පුතා ආචි සමඟ කැනඩාවේ සති හයක නිවාඩුවක් කළහ.
නැවත එක්සත් රාජධානියට පැමිණි 35 හැවිදිරි හැරී සහ 38 හැවිදිරි මේගන් ලන්ඩන් නුවර පිහිටි කැනඩා තානාපති කාර්යාලයට ගොස් එරටින් ලැබුණු "අදහාගත නොහැකි" සත්කාරවලට ස්තුති කර තිබිණි.
ප්‍රසිද්ධ ඇමරිකානු නාට්‍ය මාලාවක් වන 'සූට්ස්'හි ප්‍රධාන නිළිය ලෙස රඟපෑ මේගන් මාකල් කැනඩාවේ වසර හතක දිවි ගෙවා ඇත.
සිය දෙවෙනි නිවාස ලෙස කැනඩාව තෝරා ගන්නා බව ඇය මින් පෙර පවසා තිබිණි.
කෙසේනමුත්, මෙම නිවේදනයත් සමඟ හැරී සහ මේගන්ගේ රාජකීය භූමිකාව පිළිබඳ බොහෝ ගැටලු මතු වී තිබේ.








