බ්‍රිතාන්‍ය රාජකීය මංගල්‍යය: මේගන්ගේ පියා සහභාගීවීම අවිනිශ්චිතයි

ඡායාරූප මූලාශ්‍රය, DAILY MAIL/SOLO
බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල් අතර මැයි 19 වෙනි සෙනසුරාදා පැවැත්වීමට නියමිත රාජකීය විවාහ උත්සවයට මේගන්ගේ පියා තෝමස් මාකල් පැමිණීම තවමත් තහවුරු කර නොමැත.
මෙක්සිකෝවේ ජීවත් වන මේගන්ගේ පියා ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පුවත් පළ කරන වෙබ්අඩවියක් වන TMZ වෙත පවසා ඇත්තේ ඔහු සිය දියණිය සහ හැරී කුමරුගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගී නොවීමට තීරණය කර ඇති බවය.
"මේගන් මාකල්ට මෙය ඉතා පෞද්ගලික අවස්ථාවක්" බව කෙන්සිංටන් මාලිගයෙන් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වේ.
තමන් කිසිවක් නොදන්නා ලෙස අඟවමින් සැලසුම්සහගතව පැපරාසි ඡායාරූප ශිල්පියෙකුගේ ඡායාරූප වලට පෙනී සිටීමට තෝමස් මාකල් කටයුතු කර තිබූ බව ඉරිදා 'මේල්' පුවත්පත වාර්තා කර තිබිණි.
ඔහුගේ මෙම ක්‍රියාව මාධ්‍ය හරහා ලෝකයට අනාවරණය විය. පුළුල් ලෙස බෙදා හැරුණු එම ඡායාරූපවල ඔහු මංගල උත්සවයට සහභාගී වීම සදහා ඇඳුමක් මැසීමට මිනුම් දෙන ආකාරය මෙන්ම සිය දියණිය ගැන පළ වූ පුවත්පත් වාර්තා කියවන ආකාරයත් දැක්විණි.
මංගල උත්සවයට සහභාගී වීමෙන් සිය දියණිය අපහසුතාවට පත් කිරීමට නොහැකි යැයි ඔහු පැවසූ බව වාර්තා වී ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
73 හැවිරිදි තෝමස් මාකල් සතියකට පෙර හෘදයාබාධයකට ලක් වූ බව TMZ වෙබ් අඩවිය වාර්තා කර තිබිණි. නමුත් මෙය ඔහුගේ පවුලේ සාමාජිකයින් හෝ කෙන්සිංටන් මාලිගයෙන් තහවුරු කර නොමැත.
"මංගල උත්සවයකට දින කීපයකට පෙර ඇති වී තිබෙන මෙම තත්වය මේගන් මාකල්ට ඉතා සංවේදී පෞද්ගලික කාරණයක්" යැයි කෙන්සිංටන් මාලිගාවේ ප්‍රකාශකයෙකු පැවසීය.
වින්ඩ්සර් මාලිගාවේ පැවැත්වෙන සිය දියණියගේ මංගල උත්සවයට පෙර තෝමස් මාකල් මෙම සතියේ දී හැරී කුමරු, එලිසබත් රැජිණ සහ එඩින්බරෝ ආදිපාදවරයා ප්‍රථම වරට මුණගැසීමට නියමිතව තිබිණි.
මේ තොරතුරුද කියවන්න:
තෝමස් මාකල් ඉතා ලජ්ජාශීලී, සන්සුන් පුද්ගලයෙක් ලෙස හැඳින්වෙන අතර, තිස්හය හැවිරිදි මේගන් ඔහුගේ තත්වය පිළිබඳ ඉතා කණගාටුවෙන් පසුවන බව බීබීසී රාජකීය පුවත් වාර්තාකරු නිකලස් විචෙල් පවසයි.
"තවමත් මේගන් මාකල්ගේ ප්‍රාර්ථනාව සෙනසුරාදා පැවැත්වෙන මංගල උත්සවයට තම පියා සහභාගී වී ඇයට සහය ලබා දීමයි," නිකලස් තවදුරටත් පැවසීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තෝමස් මාකල් වෙත එල්ල වී ඇති දැඩි පීඩනය හේතුවෙන් ඔහුගේ මානසික තත්වය පිළිබද අවධානයෙන් පසුවීමට හැරී කුමරු සහ මේගන් කටයුතු කරමින් සිටී.
රාජකීය මංගල්‍යයට ලැබෙන දැඩි මාධ්‍ය අවධානයත්, සිතාමතා හෝ රැවටීමකින් සිදු වූ පෙර කී ඡායාරූප වංචාවත් හේතුවෙන් තෝමස් මාකල් දැඩි පීඩනයකට ලක් වී ඇත.
මෙම මස මුල දී පළ වුණ තෝමස් මාකල් මංගල උත්සවයට සූදානම් වන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළ මතභේදයට තුඩු දී ඇත.
මේ අතර, එම ඡායාරූප පෙළ ලබා ගැනීමට සිය පියාට උපදෙස් ලබා දුන් බව මේගන්ගේ පියාගේ පළමු විවාහයේ දියණියක් වන සමන්තා මාකල් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණි.
"මාධ්‍ය ඉතා අසාධාරණ විදියට ඔහු නරක කෙනෙකු ලෙස පෙන්වා සිටිනවා. ඒක නිසා ධනාත්මක දෙයක් අඩංගු ඡායාරූප පෙළක් ගැනීම ඔහුගේ තත්වයට සහ රජ පවුලේ තත්වයට හොඳ බව මම පැවසුවා" යැයි සමන්තාගේ ට්විටර් පණිවිඩයේ සඳහන් විය.
'මේගන් මාකල්'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේගන් මාකල්, 1981 අගෝස්තු මස 4 වෙනි දින නෙදර්ලන්ත-අයර්ලන්ත සම්භවයක් ඇති තෝමස් වෙයින් මාකල් සහ අප්‍රිකානු-ඇමරිකානු සම්භවයක් ඇති ඩොරියා රැග්ලන්ඩ් ට දාව කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදී උපත ලැබුවාය.
නමුත් මේගන්ට වයස අවුරුදු හය සම්පූර්ණ වන විට ඇයගේ දෙමව්පියන් දික්කසාද වී ඇත.
තෝමස් මාකල්ට පෙර විවාහයෙන් දරුවන් දෙදෙනක් සිටින අතර, වසර දෙකකට පෙර ඔහුට මුහුණ පෑමට සිදු වූ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් බංකොලොත්භාවයට පත් විය.
තවත් තොරතුරු:
නිළියක පමණක් නොව දක්ෂ නිරූපිකාවක ලෙස ද කටයුතු කළ මේගන් ජනප්‍රියත්වයට පත් වූයේ 2011 වසරේ සිට තිරගත වන 'සූට්ස්' නමැති ඇමෙරිකානු රූපවාහිනී මාලානාටකය හරහාය.
මානව හිතවාදී කටයුතු වල නියැලෙන, ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ උපාධිධාරිනියක් වන ඇය පසුගිය වසරේ දී කැනඩාවේ 'වර්ල්ඞ් විෂන්' (World Vision) රාජ්‍ය නොවන ආයතනයේ තානාපතිවරියක ලෙස ද කටුයුතු කර තිබේ.
චිත්‍රපට නිෂ්පාදකවරයෙකු සහ නළුවෙකු වූ ට්‍රෙවර් එන්ගල්සන් සහ මේගන් 2011 වසරේදී විවාහ වූවත් එම විවාහය පැවතියේ 2013 වසර තෙක් පමණි.

ඡායාරූප මූලාශ්‍රය, AFP/GETTY IMAGES
විලියම් කුමරුගේ බිරිය කේට් මිඞ්ල්ටන් මෙන්ම මේගන් මාකල් ද රජ පවුලක සාමාජිකාවක නොවන අතර ඇයට රාජකීය ලේ උරුමයක් නැත. එබැවින් විවාහයෙන් පසුව ඇය හැඳින්වීමට නියමිතව තිබෙන්නේ කුමාරිකාවක ලෙස නොව ආදිපාදවරියක් (Duchess) ලෙසය.
මිශ්‍ර ජාතික උරුමයක් සමග මෙලොව එළිය දුටු මේගන් වරක් සඳහන් කළේ, "මම මිශ්‍ර ජාතිකයෙක් වීමෙන් මගේ අනන්‍යතාව හෙළි කිරීමේදී අඳුරු පැතිකඩක් නිර්මාණය වී තිබෙනවා. මේ හේතුවෙන්, මගේ පාදය වැට දෙපසම තබා ගන්න සිදු වෙලා. නමුත් මම එය ඉතා අගය කිරීමට පුරුදු වී තිබෙනවා. මම කවුද, කොහෙන්ද පැවත එන්නේ කියල සහ බලවත්, පෞරුෂයක් හිමි මිශ්‍ර ජාතික කාන්තාවක් කියල මට විවෘතව කියන්න පුළුවන්."








