"යුද්ධයේ සුව නොවෙන තුවාලයක්" සුව කිරීමට ඩයනා කුමරිය ගිය මග යන හැරී කුමරු

හැරී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හැරී කුමරු සහ සසෙක්ස් ආර්යාව (බිළිඳු පුත් සිව්මස් හැවිරිදි ආර්චී සමඟ) දින දහයක කාලයක් දකුණු අප්‍රිකානු කලාපයේ

ඩයනා කුමරියගේ විසි දෙවැනි අනුස්මරණ සංවත්සරය එළඹෙමින් තිබියදී, සිය බිරිඳ සහ එකම දරුවාත් කැටුව දකුණු අප්‍රිකානු කලාපයේ සංචාරයක නිරත වෙමින් සිටින හැරී කුමරු ඇන්ගෝලාවට සැපත්වීමත් සමඟ, එරට බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා දිගින් දිගටම දරමින් ඇති ප්‍රයත්නය යළිත් ප්‍රධාන සිරස්තලයක් බවට පත් වී තිබේ.

සිය මව ඩයනා කුමරිය අප්‍රිකානු යුදබිමෙහි තබා ගිය පිය සටහන් ඔස්සේ හැරී කුමරු ද පියවර තබමින් සිටියි.

1997 වසරේ ඇන්ගෝලාවට සපැමිණි ඩයනා කුමරිය බිම් බෝම්බ ඉවත් කෙරෙමින් තිබුණ යුදබිම ඔස්සේ ගමන් ගත්තාය.

බිම් බෝම්බ අතුරා තිබුණ භූමියේ ඩයනා කුමරිය ඇවිද ගිය ආකාරය දැක්වෙන ඡායාරූප ලොව පුරා මහජන අවධානයට ලක් විය.

ඩයනා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බිම් බෝම්බ අතුරන ලද භූමියක ගමන් ගන්නා ඩයනා කුමරිය

ලෝකයේ රටවල් ගණනාවක බිම් බෝම්බ මගින් මිනිස් ජීවිත අදත් බිලිගනු ලබන්නේ දහස් ගණනිනි.

බිම් බෝම්බ තුරන් කර දැමීම අතින් ලෝකය තවමත් සිටින්නේ කොතැනද? ලබා ඇති ප්‍රගතිය කුමක්ද? යන්න තවමත් සාකච්ඡාවට ගැනෙමින් ඇති මාතෘකාවකි.

ඩයනා කුමරිය සිය සමාජ සත්කාරක සේවාව යොමු කරන ලද්දේ බොහෝ දෙනෙකුගේ ඇස නොගැටෙන මානයන් පාදක කර ගනිමිනි.

ඊට කදිම නිදසුන, කුමරිය විසින් 1987 දී පිහිටුවන ලද HIV/ඒඩ්ස් චිකිත්සාගාරයයි. එය එක්සත් රාජධානියේ ආරම්භ කරන ලද එවැනි පළමු චිකිත්සාගාරය විය.

එම ප්‍රයත්නය HIV වෛරසය සම්බන්ධයෙන් පැවති සමාජ ආකල්පයන්හි වෙනසකට මුල් විය.

1996 දී චාර්ල්ස් කුමරාගෙන් දික්කසාද වීමෙන් අනතුරුව, ඩයනා කුමරියගේ පළමු ප්‍රධාන කර්තව්‍යය වුණේ බිම් බෝම්බ අවදානම කෙරෙහි අවධානය නංවාලීමය.

ඒ වනවිට යුද්ධ සඳහා දශක කීපයක් තිස්සේ බිම් බෝම්බ පාවිච්චියට ගැනෙමින් තිබුණි.

haree

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, සිය මව ගිය මග යන හැරී කුමරු -ඇන්ගෝලාවේ බිම්බෝම්බ භූමියක

යුද සමයෙහි අතුරන ලදුව පුපුරා නොගිය බිම් බෝම්බ ඇති කලාපවලට නොසැලකිල්ලෙන් ඇතුල් වූ හෝ ඒවා අතපත ගෑ පුද්ගලයන්ගේ මරණයට මෙන්ම, තවත් බොහෝ දෙනෙකුගේ අත්පා විනාශ කෙරෙමින් ඔවුන් අංගවිකල තත්වයකට පත් කිරීමට එම දරුණු අවිය හේතු විය.

බිම් බෝම්බ කරන හානිය ඩයනා කුමරියත් සමඟ ඡායාරූප සඳහා එකට හිඳගත් තැනැත්තන්ගේ අත්පාවලට අත්ව ඇති ඉරණම මගින් ප්‍රදර්ශනය විය.

මවගේ එම ආදර්ශය අනුව යමින් ඇන්ගෝලාවට ගමන් ගත් හැරී කුමරු, බිම්බෝම්බ විග්‍රහ කරන්නේ "යුද්ධයේ සුව නොවෙන තුවාලයක්" යනුවෙනි.

මෙඝාන් කාන්තා අයිතිය වෙනුවෙන්

මේ අතර දකුණු අප්‍රිකානු සංචාරයේ දී හැරී කුමරාගේ බිරිඳ මේගන් (Meghan) සසෙක්ස් ආර්යාව, කලින් පැවති වර්ණභේදවාදී පාලනයට එරෙහි කාන්තා ව්‍යාපාරයේ පුරෝගාමීන් මුණ ගැසුනාය.

"මම මගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් ගැහැණු දරුවන්ගේ සහ කාන්තාවන්ගේ අයිතිය වෙනුවෙන් කටයුතු කරමිනුයි ඉන්නේ. මේ අවස්ථාව නියතවම ඔබගේම අත්දැකීම්වලට සවන් දීම සඳහා ලද ප්‍රබල අවස්ථාවක්," සසෙක්ස් ආර්යාව එම හමුවේ දී ප්‍රකාශ කළාය.

ඩයනා ,හැරී

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඩයනා කුමරිය බිම්බෝම්බ නිසා අත්පා අහිමි වූ අප්‍රිකානු දරුවන් සමඟ.පයක් අහිමි දරුවෙක් කුමරිය උකුළේ

පසුගිය බ්‍රහස්පතින්දා(සැප්තැම්බර් 27) සසෙක්ස් ආර්යාවගේ දකුණු අප්‍රිකානු හමුවීම් සිදු කෙරුණේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පාමින් දකුණු අප්‍රිකාවේ උද්ඝෝෂණ යළිත් ආරම්භ කෙරෙමින් තිබුණ පරිසරයකය.

පසුගිය වසරේ (2018) දකුණු අප්‍රිකාවේ පුරුෂයන් විසින් සිදුකරන ලද දහසක් පමණ ළමා ඝාතන සහ 2,700 ක් පමණ කාන්තා ඝාතන වාර්තා වී ඇත.

දිනපතා වාර්තා වෙන ස්ත්‍රී දූෂණ සංඛ්‍යාව යටත් පිරිසෙයින් සියයක් පමණ වෙති.

මෙම සංචාරයේ දී මේගන් (Meghan) සසෙක්ස් ආර්යාව, තැපැල් කාර්යාලයක් අසල දී පසුගිය මාසයේ දූෂණය කොට මරා දමන ලද දහනව හැවිරිදි දකුණු අප්‍රිකානු ශිෂ්‍යාවකට ශෝකය සහ උපහාරය පිදුම සඳහා එම අපරාධය සිදු කෙරුණ ස්ථානයට ගොස් එම ශිෂ්‍යාව වෙනුවෙන් රිබන් පටියක් ගැට ගැසුවාය.

එම ශිෂ්‍යාවගේ මව පෞද්ගලිකව හමු වූ සසෙක්ස් ආර්යාව ඇයට සිය කණගාටුව පළ කළාය.

මේගන් (Meghan) එම අවස්ථාව සිය නිල 'ඉන්ස්ටර්ග්‍රෑම්' ගිණුමෙහි විග්‍රහ කර තිබෙන්නේ "සහයෝගීතාවය ප්‍රදර්ශනය කිරීමක්" ලෙසය.

සසෙක්ස් ,මෙඝාන්

ඡායාරූප මූලාශ්‍රය, SUSSEXROYAL

ඡායාරූප ශීර්ෂ වැකිය, දූෂණය කර මරා දමන ලද ශිෂ්‍යාව වෙනුවෙන් රිබන් පටියක් ගැට ගසන සසෙක්ස් ආර්යාව

හැරී කුමරු සහ මේගන් (Meghan) සසෙක්ස් ආර්යාව ඔවුන්ගේ බිළිඳු පුත් සිව්මස් හැවිරිදි ආර්චී (Archie) සමඟ දින දහයක කාලයක් දකුණු අප්‍රිකානු කලාපයේ සංචාරයක නිරත වෙමින් සිටිති.

කියවන්න: