ඩයනා : ජන හදවත්වල රැජින සමුගෙන වසර විස්සක්
ඩයනා කුමරිය දිවියෙන් සමු ගෙන අදට වසර විස්සකි.
"පොදු ජනතාවගේ කුමරිය" ලෙස කිරුළු පළන් ඇය 1997 වසරේ අගෝස්තු 31 වෙනිදා මෙලොව හැර ගියේ ප්‍රංශයේ දී සිදු වූ මාරක රිය අනතුරකිනි.
ඇය මිය යන විට 36 වෙනි වියේ පසු වූවාය.
ඩයනා කුමරිගේ පුතුන් වන විලියම් කුමරු සහ හැරී කුමරු බදාදා (අගෝස්තු 30) ලන්ඩනයේ පිහිටි කෙන්සින්ටන් මාලිගය ඉදිරිපිට ඇය වෙනුවෙන් තබා ගිය පුෂ්පෝපහාර නිරීක්ෂණය කළහ.
වසර විස්සකට පෙර සිදු වූ ඩයනා කුමරියගේ වියෝව ලොව පුරා ජනතාව කම්පනයට පත් කළ අතර ඇය අදටත් ජනතාව අතර මතකයේ රැඳුන චරිතයකි.
විවාහය සහ වෙන්වීම

ඡායාරූප මූලාශ්‍රය, PA
1981 වසරේ දී ඇය ඔටුන්න හිමි චාල්ස් කුමරු හා විවාහ වූ අතර ලොව පුරා කෝටි 75 ජනතාව එම විවාහ මංගල්‍ය රූපවාහිනිය ඔස්සේ නැරඹූහ.
1995 වසරේ ඩයනා කුමරිය චාල්ස් කුමරුගේ වෙන්වීමෙන් පසු ඇය බීබීසී වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාව රූපවාහිනී ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයකි.
රාජකීය සම්ප්රදාය බිඳ දමමින් ඇය එහිදී සිය ජීවිතයේ අතිශය පෞද්ගලික කරුණු හෙළි කළාය.
සමාජ මෙහෙවර

ඡායාරූප මූලාශ්‍රය, JEFF J MITCHELL/ Getty Images
එමෙන්ම HIV ආසාදිත පුද්ගලයන් වෙනුවෙන් සහ බිම් බෝම්බ ඉවත් කිරීම වෙනුවෙන් ඇය සමාජ මෙහෙවරක යෙදුනාය.
එසේම ඇය නිතර කැමරා කාචයේ ඉලක්කයක් බවට පත්විණි.
ඩයනා කුමරියටම අනන්‍ය වූ කොණ්ඩා මෝස්තරය සහ ඇයගේ ඇඳුම් පැළඳුම් ඒවාටම අනන්‍ය වූ සංස්කෘතික සංකේත බවට පත් විය.
ඔටුන්න හිමි කුමරෙකු හා අතිනත ගැනීමට පෙර ඩයනා ස්පෙන්සර් නම් වූ ඇය මරණින් මතු ජන හදවත් තුළ කිරුළු පැලඳුවාය.










