ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවේ වාරාවසාන කරයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වාරාවසාන කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
ජනාධිපති අත්සනින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයක් අනුව, 2019 දෙසැම්බර් 02 දින මධ්‍යම රාත්‍රියේ පටන් වත්මන් පාර්ලිමේන්තුවේ මෙම සැසිවාරය අවසන් කෙරේ.
ජනාධිපතිවරයා විසින් එම තීන්දුව ගන්නා ලද්දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (01) වගන්තිය මගින් ඔහුට පැවරී ඇති බලතල අනුව බවත් එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.
ජනාධිපතිවරයා කලින් කළ ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැකි බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (01) වගන්තිය මගින් ප්‍රකාශ වෙයි.
පාර්ලිමේන්තුවේ වාරය අවසන් කරන්නා වූ ප්‍රකාශනය මගින් එහි ඊළඟ වාරය පටන් ගැනීම සඳහා දිනයක් නියම කළ යුතු බවත් ඒ දිනය වාරය අවසන් කරන්නා වූ ප්‍රකාශන දිනයේ සිට මාස දෙකක් නොඉක්මන දිනයක් විය යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙන්වා දෙයි.
ඒ අනුව, මීළඟ පාර්ලිමේන්තුව 2020 ජනවාරි මාසයේ 03 වෙනි දින උදේ දහයට යළි කැඳවීම සිදු කෙරෙනු ඇත.
ජනාධිපතිවරයා විසින් වාරාවසාන නොකළේ නම්, පාර්ලිමේන්තුව අඟහරුවාදා (දෙසැම්බර් 03) රැස්වීමට නියමිතව තිබිණ.
මීට පැය කිහිපයකට ඉහතදී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මන්ත්‍රීවරයා පවසා තිබුණේ, පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට ජනාධිපතිවරයාට නීත්‍යානුකූලව බලය තිබුණ ද එමගින් කෝප් කමිටුව ඇතුළු කමිටු විසුරුවා හැරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ බොහෝ කටයුතු අඩාල වන බවය.
එබැවින් පාර්ලිමේන්තුව වාරාවසාන කොට යළි විවෘත කිරීම ජනතා මුදල් නාස්තියක් බව මන්ත්‍රීවරයා ගේ අදහසය.
කියවන්න: